චිත්‍රපටයකට ගීත අත්‍යවශ්‍ය ම නෑ | Page 2 | සිළුමිණ

චිත්‍රපටයකට ගීත අත්‍යවශ්‍ය ම නෑ

මිලින්ද තෙන්න­කෝන්

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ කවිතා ටැලන්ට් තරගාවලියෙන් වසර 2012 දී නිර්මාණශීලී වාදන අංශයෙන් ප්‍රථමස්ථානය දිනාගන්නා මිලින්ද තෙන්නකෝන් මේ දිනවල තිරගත වන 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් සංගීත කලාවේ සිය ප්‍රතිභාන්විත ශක්‍යතා පළ කරන තුරුණු සංගීත අධ්‍යක්ෂවරයෙකි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංගීතය හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ උපාධිය හදාරන ඔහු ප්‍රාසංගික කලා විශේෂවේදී උපාධිධරයකු වන අතර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. මෙවර තුරුණු මඬල සංලාපය මිලින්ද තෙන්නකෝන් සමඟ ය.

චිත්‍රපටයක රූප මාධ්‍යයට හා වචන මාධ්‍යයට කළ හැකි සීමාව අවසන් වන තැනින් චිත්‍රපට සංගීතය බිහිවෙනවා යයි මා පැවසුවොත්?

ඇතැම් විට රූප මාධ්‍යයෙන් හා වචන මාධ්‍යයෙන් නොකියන ම තැන් වගේ ම ඒ මාධ්‍යයන් ගෙන් කියැවෙන තැන්වල අදහස තීව්‍ර කර ප්‍රේක්ෂකයාගේ භාවයන් උද්දීප්ත කිරීමටත් තමයි චිත්‍රපටයක සංගීතය යොදාගන්නේ. එහිදී පසුබිම් සංගීතය හා පෙරබිම් සංගීතය කියලා කොටස් දෙකක් තියනවා.අපේ රටේ නම් මේ දෙක ම එකක් විදියට අරගෙනයි සංගීත නිර්මාණය කරන්නේ. මොකද අපේ චිත්‍රපට සංගීතය ගීතය මූලික කරගත් බවක් පෙනෙන්න තියනවා. ඒ වගේ ම පෙරබිම් සංගීතය හෝ පසුබිම් සංගීතය කියලා හඳුනාගෙන නෙවෙයි එය භාවිතා කරන්නේත්.

උදාහරණයක් විදියට යම් දර්ශන තලයක් තුළ කඩ මණ්ඩියක් තිබෙනවා. එහි රූප රාමු අතර පසුබිමෙන් යම්කිසි ප්‍රසිද්ධ ගීතයක් ඇහෙනවා. මේවා රූපගත කිරීම්වලදී පටිගත කරන්නෙ නෑ. ඒවා සංස්කරණයේදී හිතාමතාමයි යොදන්නේ. පෙරබිම් සංගීතය කියන්නේ එවැනි දේටයි. අපේ රටේ පෙරබිම් සංගීතය සියුම්ව හා නිවැරදිව භාවිතා වෙනවා අඩුයි. පෙරබිම් සංගීතයක් අපට ඕන ඕන විදියට යොදන්න බැහැ. බටහිර සිනමාව අධ්‍යයනය කර බැලුවොත් එහි පෙරබිම් සංගීතය කියන්නේ එක්තරා විදියක සංකේත සමූහයක්. යම් තැනක යොදන පෙරබිම් සංගීතයක් එහි සිදුවන තවත් සිද්ධි සමූහයක් හා බැඳෙනවා. සංගීතඥයා පෙරබිම් සංගීතයක් යොදන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර එහි යම් යම් සිද්ධි කේන්ද්‍ර කරගෙනයි. එසේ නොවන අවස්ථාවලදී තමයි සිනමාවේ ගැඹුර අඩු බවක් පෙනෙන්න ගන්නේ. පසුබිම් සංගීතය තුළ අපි සුදු හෝ කළු හෝ වෙනත් ඕනෑම ආකාරයක චරිත හඳුන්වා දීමක් කරනවා. එකම දර්ශන තලයක් තුළ මේ චරිතයන්ගේ හැසිරීම පිළිබඳව ඒ එක එකකට අනන්‍ය වූ තේමාවන් මඟින් තමයි මේ චරිත ස්වභාවයන් හඳුන්වා දෙන්නේ. එය පහසු කාර්යයක් නෙවෙයි.

මුල් යුගයේ සිංහල සිනමාව ගීතය බහුලව යොදාගන්නවා. චිත්‍රපට සංගීතය යනු චිත්‍රපට ගීතයයි සැලකූ අවදිය මේ වනවිට වෙනස්වී තිබෙනවා. එසේනම් චිත්‍රපට සංගීතයේ වර්තමාන දිශානතිය කුමක්ද?

ඇත්තෙන් ම ලංකාවේ චිත්‍රපට සංගීතය ගීතය පදනම් කරගත් සංගීතයක් ලෙසයි ව්‍යවහාර වුණේ. ඒත් චිත්‍රපටයකට ගීතය අත්‍යවශ්‍ය ම නෑ. අපේ සිනමාවේ ඇතැම් ගීත ඇතුළත් කර තිබෙන්නේ බලෙන්. චිත්‍රපට සංගීතයේදී ඇතැම් නිශ්ශබ්දතාවයන් පවා සංගීතයක් ලෙස ගතහැකියි. ඒ නිසා චිත්‍රපටය තුළ සංගීතය වුණත් අවශ්‍ය තැනට පමණක් යෙදිය යුතුයි. චිත්‍රපටයක සංගීතය කියන්නේ වෙන දෙයක් නෙවෙයි, රූප හා දෙබස් සමඟ මුසුවූ නාදයයි. උදාහරණයක් විදියට නළුවකු කෝප්පයක් මේසයක් උඩින් තබනවා. එවිට එයින් ශබ්දයක් නිකුත් වෙනවා. අපි සංස්කරණයේදී එය නැවත පටිගත කර අදාළ තැනට සම්බන්ධ කරනවා.එවිට ඒ රූප රාමුව සම්පූර්ණ වෙනවා. ඒ ශබ්දය නැති වුණොත් ප්‍රේක්ෂකයාට එය දැනෙනවා. චිත්‍රපටයේ සංගීත නිර්මාණයත් ඒ වගෙයි. අවශ්‍ය තැනට ඒ රූප රාමු මඟින් ම සංගීතය ඉල්ලා සිටිනවා. ඉන් එහාට සංගීතය යොදන්න ගියොත් මුළු නිර්මාණය ම දුර්වල වෙනවා.

ඔබ පවසන්නේ චිත්‍රපටයෙන් ගීතය ඉවත් වීම චිත්‍රපට සංගීතයට බලපෑමක් නොවන වග ද?

චිත්‍රපටයකින් ගීතය ඉවත් වෙනවා කියන්නේ සංගීතය ඉවත් වෙනවා කියන කාරණය නෙවෙයි. ගීතයක් අවශ්‍යද කියල තිර රචකයා තිර රචනයේදීමයි තීරණය කරන්නේ. මා සංගීතවත් කළ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ එක් තැනක රජු මාළිගයෙන් පැන ගොස් සටන් සංවිධානය කරනවා. එතෙක් ආ ගමන් මගෙහි වෙනසක් සිදු වන්නේ ඒ අවස්ථාවේයි. ඒ නිසා එතෙක් ගලා ආ රූප රාමුවලින් මේ සටන් සංවිධානය කරන තැනට එද්දි රූප රාමුවල ලොකු වෙනසක් වෙනවා. තිර රචකයා එහිදී දක්ෂ ලෙස ඒ දර්ශන තල අතර පරතරය අඩුවන පරිදි ගීතයක් යොදා ගන්නවා. මා විශ්වාස කරනවා ඒ චිත්‍රපටයේ ගලා යාමට ගීතය ලොකු රුකුලක් කියලා. එහෙත් ගීත පදනම් කරගෙන චිත්‍රපට සංගීතය මනින්න බෑ.

ඔබ සංගීත අධ්‍යක්ෂණය කරන ආලෝකෝ උදපාදි චිත්‍රපටය ඓතිහාසික කතා පුවතක්. එවැනි ඓතිහාසික කතාවක පාරිසරික හා සංකල්පමය භාවයන් උද්දීපනය කිරීමට සංගීත නිර්මාණය කිරීම අභියෝගයක් නොවේද?

මහා කාව්‍යමය සිනමාවක සංගීත නිර්මාණය කරනවා කියන්නේ පර්යේෂණ නිබන්ධනයක් කරනවා වගේ වැඩක්. සංගීතයෙන් ප්‍රේක්ෂකයා ඒ යුගයට ගෙන යා යුතුයි. මේ සඳහා මා මාස හතරක පමණ කාලයක් පර්යේෂණ කළා. එල්ලාවල මේධානන්ද හිමි, දේවාලේගම මේධානන්ද හිමි වැනි විද්වතුන් හමුවී තොරතුරු ලබා ගත්තා.

සංගීතයෙන් ඒ යුගය නිරූපණය කිරීමේදී නාද පරාසයන් වගේ ම සංගීත භාණ්ඩ තෝරා ගැනීමේදීත් පරිස්සම් විය යතුයි. මේ කාර්යයේදී ඔබ විවිධත්වයෙන් යුතු සංගීත භාණ්ඩ තෝරා ගත් බවක් දක්නට ලැබෙනවා.

වසර දෙදහස් එකසියයකට කලින් ඒ යුගයේ බොහෝවිට භාවිත වුණේ අවනද්ධ භාණ්ඩයි. මා විශේෂයෙන් ජිතේන්ද්‍ර විද්‍යාපති නිර්මාණය කළ කාලබෙරය මූලික කරගෙනයි අවනද්ධ භාණ්ඩ හැසිරවීම කරන්නේ. ඊට අමතරව ලංකාවේ සියලු බෙර වර්ගත් භාවිත කරනවා. අපි උපක්‍රමශීලීව ඒ යුගය නිරූපණයට පරෙස්සම් විය යුතුයි.

වර්තමානයේ භාවිත නව වාද්‍ය භාණ්ඩ භාවිත කිරීමෙන් ඒ යුගය නිරූපණය කිරීමට බාධාවක් යැයි ඔබ හිතනවාද?

නැහැ. වැදගත් වන්නේ වාද්‍ය භාණඩ නොවෙයි. අප ඒ මඟින් නිපදවා ගන්නා නාදයයි. මගේ මේ පර්යේෂණය තුළ වයලීනය මා භාවිත කරන්නේ එහි සත්‍ය නාදය නොඑන පරිදියි. රෙදි පටියක ආධාරයෙන් මා එහි හඬ වෙනස් කරනවා. ඒ වගේ ම චෙලෝව භාවිත කරන්නේත් සාමාන්‍යයෙන් චෙලෝව වයන ආකාරයට නෙවෙයි. ඇතැම් තැනක චෙගෝවෙන් අවනද්ධ නාදයත් ලබා ගත්තා. ගිටාරය වුණත් යොදාගත්තේ වෙනස් ක්‍රමවලටයි. නැත්නම් ප්‍රේක්ෂකයාව ඒ යුගයට ගෙන යන්න බැරි වෙනවා. මේ නිර්මාණය තුළ මා නාද පර්යේෂණයක් කළා.

ඒ වගේ ම නවීන තාක්ෂණය නිසා තමයි මට මේ අභියෝගය ජය ගන්න හැකියාව ලැබුණේ. මා විශ්වවිද්‍යාලයේදී තාක්ෂණය පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ නිසා මට පටිගත කළ නාදයන්ට එහා ගිය සංගීතයක් නිපදවන්න හැකි වුණා. තාක්ෂණය නොමැතිව මේ නිර්මාණ කළ නොහැකි නමුත් තාක්ෂණය නිසා නිර්මාණශීලී බවට හානි නොකර ගන්නත් පරෙස්සම් විය යුතුයි.

Comments