සංගීතයට නැවුම් බවක් එක් කළ සංගීතඥයා | Page 2 | සිළුමිණ

සංගීතයට නැවුම් බවක් එක් කළ සංගීතඥයා

50 දශකයේ මුල් භාගයේ පේරාදෙණිය ඊරියගම ගමේ එක්තරා නිවසක විවාහ මංගල සාදයකි. එහිදී අතිනතගත් දෙපළ නිසා මගේත් වික්ටර් රත්නායකයන්ගේත් ඥාති සම්බන්ධයට මුල පිරුණි. ඒ එදා අතිනත ගත්තේ මගේ මවගේ පොඩි අයියා සහ වික්ටර් රත්නායකයන් ගේ ලොකු අක්කා ය. ඒ මා ඉපදීමට වසර ගණනාවකට පෙරයි. කාලයාගේ ඇවෑමෙන් මගේ මවත්, පියාත් විවාපත් වූ දින දී සර්පිනාව වයමින් ඉතාම මිහිරිව ගී ගැයූ හිරිමල් යෞවන වයසේ පසුවූ තරුණ ගැටයකු මගේ පියාගේ සිත් ගත්තේ ය. මේ සිත්ගත් තරුණයා පසු කලෙක තම ශිෂ්‍යරත්නයක් බවට පත් කරගැනීමට මාගේ පියාණන් කටයුතු කළේ ය.

ඉන්පසුව හේ මාගේ පියාණන්ගේ සෙවණේ වසර ගණනාවක් ඉතා ශූර ලෙස ශිල්ප හදාරා කාගේත් සිත්ගත් ගායකයකු මෙන් ම වයලීන වාදකයකු බවට පත්විය. මේ සියල්ල අතරින් කිසිවිටෙකත් අමතක නොකළ යුතු දෙය නම් එතුමාගේ මේ ජීවිත ගමනේ මෙතැනට එන්නට පෙර ඔහුට විඳින්නට සිදුවූ කරදර, බාධක, දුක් කම්ක‍ටුලු අසීමිත බව ය.‍ මේ සියලු දේ තුළින් පිළිිබිඹු වූයේ ඉදිරි අනාගතයේ ශ්‍රී ලංකා මාතාවට තවත් දක්ෂ ප්‍රවීණ සංගීත ශිල්පියකු දායාද වන බවයි. 60 දශකයේ මුල් භාගයේ රජයේ සංගීත විද්‍යාලයට යාමට වරම් ලැබූ වික්ටර් රත්නායකයන් එහි උපාධිය ලබා ගුරු වෘත්තියට පිවිසීය. ලංකාවේ පාසල් කීපයක සංගීත ආචාර්යවරයකු ලෙස සේවය කළ වික්ටර් රත්නායකයන් හට ගුරු සේවයෙන් සමුගන්නට සිදු වූයේ ද වෘත්තීමය ගායන ශිල්පියකු වශයෙන් තම ඉදිරි ගමන යාමට ගත් තීරණය නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට ගීත මෙන් ම සාමාන්‍ය සරල ගීත ද හින්දි අනුකරණ බවට පත්ව ප්‍රචලිතව තිබ‍ූ යුගයක අභියෝගාත්මකව එය වෙනත් මගකට යොමු කිරීමට වික්ටර් රත්නායකයන්ගේ ගීත ශෛලිය සමත් වූයේ එහි වූ නවමු බව නිසාවෙනි. සම්පූර්ණයෙන් ම වෙනස් ආරක් ගත් ගේය පද රචනා යොදා ගනිමින් අප දේශීය සංගීතයට ප්‍රධාන තැනක් දෙමින් හින්දුස්ථානි සංගීතය සහ බටහිර සංගීතයේ ආරක් එකට මුසු කරගනිමින් රබාන, උඩැක්කිය, තම්මැට්ටම වැනි දේශීය භාණ්ඩ තම නිර්මාණ සඳහා මුසු කර ගනිමින් ඉතා සාර්ථකවූත් පරිපූර්ණවූත් ගීත බොහොමයක් ලංකා මාතාවට දායාද කළේ ය. තවත් විශේෂ ව‍ූ කරුණක් නම් වික්ටර් රත්නායකයන්ගේ සුමිහිරි සංගීත සංයෝජනයයි. එය ඉතාමත් සුවිශේෂී වූ පිළිවෙළින් යුතුව සිදු කිරීම එදා සංගීත ක්ෂේත්‍රයට මෙය ගෙන දුන්නේ නැවුම් බවකි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ගීතයට ආදරය කරන ප්‍රේක්ෂක සමූහයා මේ ගීත ඉතා ආදරයෙන් වැලඳ ගත්තේ ය.

එදා මෙදා තුර ඉතා හරවත් ගේය පද රචනා යොදා ගනිමින් එයට ම ගැළපෙන ඉතා මිහිරි ව‍ූ ගී තනු තුළින් වික්ටර් රත්නායකයන් තම නිර්මාණ කුසලතාවන් තහවුරු කළේ ය. 70 - 80 දශක තුළදී ආධුනිකත්වයේ සිටි ශිල්පීන් ශිල්පිනියන් බොහෝ ගණනකට තම හරවත් නිර්මාණ තුළින් ආලෝකයක් ගෙන දුන් වික්ටර් රත්නායකයන් අදටත් තම නිර්මාණ කටයුතු වල නියැළෙමින් ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන්ට දේශන පවත්වමින් ශ්‍ර‍ී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කරන්නා ව‍ූ අමිල සේවය අප අතිශය අගය කළ යුතු ය.

මින් ඉදිරියට ද අපහට ඔබගේ සුභාවිත ගීත ශ්‍රවණය කිරීමට ඉඩ හසර ලබා දෙමින් තවත් චිරාත් කාලයක්, නිර්මාණකරණයේ යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

Comments