මා ඉපැයූ ධනය සතුටයි... | Page 2 | සිළුමිණ

මා ඉපැයූ ධනය සතුටයි...

ආචාර්ය වික්ටර් රත්නායක

ආචාර්ය වික්ටර් රත්නායක 18දා සිය 75 වන ජන්ම දිනය සමරනුයේ විසල් රසික ප්‍රජාවක් මැද බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගය ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් විදග්ධ සංගීතයට පිෙදන උපහාරයක් ම ෙව්.

වික්ටර් රත්නායක නම් ගාන්ධර්වයාණෝ උතුරු හා දකුණු ඉන්දීය අනුකාරක ගීත රැල්ලට යට ව තිබූ රසික වින්දනය ස්වතන්ත්‍ර විදග්ධ ආස්ථානයක රඳවා තැබීමට දුන් දායකත්වය විශිෂ්ට ය. වයලීන වාදකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන වික්ටර්ට වයලීනයෙන් ලද ශික්ෂණය පසු කලෙක නිවැරැදි ස්වරයන්හි පිහිටා ගායනයෙහි යෙදෙන්නට විපුල අත්වැලක් විය.‍

කිසි විටෙකත් අපස්වරයක් නොගැයෙන මේ සුගායනීය ගායකයාගේ වසර 75ක අබිමන් ගමන් මඟ පසක් කරනුයේ කුමක් ද? පූර්ව ජන්ම වාසනා ගුණයත් ඒ හා බැඳුණු ව්‍යුත්පත්තියේ හා සතතාභ්‍යාසයේ නෛසර්ගික ගුණයත් ඔහු රසිකයන් පිනවූ ආත්මීය විලාසයත් හැර අන් කවරක් ද?

වික්ටර් සිය සංගීත භාවිතාව ඇතුළත ගායනය, මධුර තනු රචනය හා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය යන ත්‍රිවිධ ක්ෂේත්‍රයෙහි ම නිපුණ වූවෙකි. එහෙත් සැමදා සිදු වන්නාක් මෙන් වික්ටර්ට ද නිසි ඇගැයුමක් අප විචාරකයන් ලබා දුන්නේ නැත. වික්ටර් නමැති ගායකයා රට ම හැඳිනුව ද වික්ටර් නමැති සංගීතඥයාට නිසි අගැයුම නොලැබුණේ ඒ නිසා ය. එබැවින් වික්ටර් රටට ණය නැත. එහෙත් අපි වික්ටර්ට ණය ගැති ‍වන්නෙමු.

• ගායනයේදී ශික්ෂණය, සාධනාව කෙරෙහි ඔබ බෙහෙවින් සැලකිලිමත් වෙනවා, වගේ ම එය ඔබට විසල් ඇගැයුමකුත් ලබා දෙනවා‍. එමඟින් රසිකයාට ලැබෙන්නේ භාවමය වින්දනයක්. ඒත් වත්මන් ගායක ගායිකාවන් අතරේ එවන් ශික්ෂණයක්, සාධනාවක් දකින්නට නැහැ.

මේක මේ වගේ සංවාදයකින් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නොවෙයි.‍ පුළුල් කතිකාවක් විවෘත සමාජයේ ඇති විය යුතුව තිබෙනවා. අද මට පේන තෙක් මානයක නැහැ අපේ කමට ඔබින ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සභ්‍යත්වය තේරුම් ගන්න තරුණ පිරිසක්. වැඩිහිටියන්ට ගරු කිරීම අද සමාජයෙන් තුරන් වේගෙන යනවා. ජාත්‍යන්තර අධ්‍යාපනය ලංකාවේ ස්ථාපිත වුණාට පස්සේ සමහර අම්මලා දරුවන්ට කියනවා Don’t Speak in sinhalese පුතා කියලා. මගේ පුතා සිංහල කතා කරන්න ඕනෑ නැහැ. ඉංග්‍රීසි කතා කළා නම් ඇති කියලයි මේ අම්මලා හිතන්නේ. මුග්ධ තත්ත්වයකට අද මවුපියෝ පත්වෙලා තියෙනවා. මේක ළමයින්ගේ චර්යාවලට දැඩි සේ බලපානවා‍.

තරුණ නිර්මාණශීලී පිරිසක් අද නැහැ. එහෙම ඉන්නවා නම් ප්‍රීතියි ප්‍රීතියි චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවී... කියන ගීතය අරගෙන ඒකට රැප් සංගීතයක් යොදන්නේ නැහැනේ. කිසිම නිර්මාණශීලී හැකියාවක් තියෙන කෙනෙක් කරන වැඩ නොවෙයිනේ මේවා. අද ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය කියවපු ළමයෙක් ඉන්නවද? දැන් කියන්නේ ඒවා වැඩක් නෑ කියලනේ. අද කියන්නේ ඉතිහාසයත් වැඩක් නෑ කියලා. ඉතිහාසයක් නැති කෙනාට යහපත් වර්තමානයක් තියෙන්න බැහැනේ. ඒ කියන්නේ අනාගතයකුත් නෑ.

අපේ පාසල් පාඨමාලා සැකසුම් හා සැලසුම් දිහා බැලුවාම එහි කලා විෂයයන් අනිවාර්ය නැහැ. සාහිත්‍ය, කලාව, කවිය ගීතය අපේ විෂය මාලාවෙන් බැහැර වෙලා තියෙන්නේ. කුමරතුඟුවන් කියන්නේ ‘බස’ නැසුනොත් රැස නැසේ’ කියලනේ. රටක මවුබස නැතිවුණොත් ඒ ජාතිය නැති වෙනවා.

පරණ දේවල් අරගෙන අත්හදා බලන තරුණ පිරිසක් අද නැහැ. අද තරුණ පිරිස අතර අත්හදා බැලීම්, පර්යේෂණ නැහැ.

• 60 දශකයේදී ඔබ ගුවන් විදුලියේ නව අත්හදා බැලීම් කරනවා. හින්දුස්ථානි තනු විසින් අනුකාරකවාදී සංගීතයක් මුළුමනින් ම වගේ බිහිකොට තිබුණු යුගයක එදා භාවිත සංගීත භාණ්ඩවලින් ඔබ්බට ගොස් යම් පර්යේෂණාත්මක අත්හදා බැලීමක ඔබ නිරත වෙනවා.

තොටුපළ අයිනේ... ගීතය අහන සමහරු කියනවා භාරතීය බටීයාලී කියලා ගීත ක්‍රමයක් තියෙනවා ය, ඒකෙ ලක්ෂණ මෙහි අඩංගු වෙනවාය කියලා. වෙන්න පුළුවන්. බටීයාලී ගීත කියන්නෙත් ඔරුකාරයෝ, පාරුකාරයෝ කියන ගායනයක්. මෙහේ තියෙන්නෙත් මේ පාරු කවියම තමයි. මේ පාරු කවි ඇසුරු කරගෙන තමයි ඒ ගීතය නිර්මාණය කළේ. හබල බිඳිලා පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටී... කියන කොට අපි දියඹකට යන්නම ඕනනේ. ජලය තියෙන තැනක පාරුවක් පදින ලක්ෂණ තියෙන්න ම ඕන.

ආදරයේ උල්පත වූ අම්මා... කියන ගීතය උත්තරීතර මවු සෙනෙහස ගැන ගැයෙන කොට අපිට දොයි දොයි දොයි දොයිය පුතා... බයි බයි බයි බයිය පුතා කියන කවියෙන් එහාට හිතන්නට බැහැනේ. මවගේ කිරි උරමින් අපි ලබලා තියෙන්නේ ශාරීරික පෝෂණය විතරක් නොවෙයි මානසික පෝෂණයත් ලබනවානේ‍. ඒ දේ කිසියම් නිර්මාණාත්මක ගුණයකින් යුතුව රසික ජනතාවට දෙන්න අපට පුළුවන් නම් එය නැවත ඉපදීමක්. අපි පෙර කුසල බලයෙන් ගේන දේවල් තියෙනවා. ඒක වඩාත් ඔප්පු වෙන්නේ අමරදේවතුමා වගේ කෙනෙක් වික්‍රමසිංහයන් වැනි කෙනෙක් දිහා බැලුවහමයි. මේ දෙන්නම උපාධියක් සමත්වෙලා නැහැ. කොහොමත් එහෙම කුසල බලයක් නැතිව කලාකාරයෙක් බිහිවෙන්නේ නැහැ. මේ ආත්මයේ විතරක් ප්‍රගුණ කරලා මදි. ජනප්‍රිය වෙනවාය කියන එකත් හොඳ නිර්මාණකරණයේ යෙදෙන්නකු වීමත් කියන්නේ කරුණු දෙකක්. ප්‍රසිද්ධ වීම හා ජනප්‍රිය වීමත් දෙකක්. අද ‘තරු’ ප්‍රසිද්ධයි. අද මිනී මරන කෙනාත් ප්‍රසිද්ධ චරිතයක්. ජනප්‍රිය වීම කියන්නේ මිනිසුන්ගේ හදවතේ පිළිගැනීම ලද කෙනා.

• ආනන්ද සමරකෝනුත්, සුනිල් සාන්තයන් හා අමරදේවයන්ගෙන් පසුව ගායක සංගීතවේදියකු වශයෙන් ක්ෂේත්‍රයට එන්නේ ඔබ.

මම ප්‍රවිෂ්ටය ගන්න කාලේ, ඒ කියන්නේ 60 දශකයේ මුල් කාලේ ශ්‍රී ලංකාවේ සුභාවිත ගීතය පෝෂණය කිරීම සඳහා කවුද මොනවද කරලා තියෙන්නේ කියලා අපි සොයා බැලුවා. එතකොට හමුවන්නේ සුනිල් සාන්තයන්, අමරදේවයන්, සූරිය ශංකර් මොල්ලිගොඩ, ආනන්ද සමරකෝන් වගේ සංගීතය හොඳින් හදාරලා අපේකම රැක ගැනීම සඳහා නිර්මාණ කිරීමට පෙලඹිලා සිටිය නිර්මාණකරුවන්. සංගීතයේ ගායනය හා වාදනය කියන අංශ දෙකේමත් මේ අය කුසලතාව දැක්වූවා.‍ අමරදේවයන් ඉතා හොඳ වයලීන් වාදකයෙක්. සුනිල් සාන්තයන් හොඳ සිතාර් වාදකයෙක්. ආනන්ද සමරකෝනුන් ලංකාවේ ජාතික ගීය නිර්මාණය කරන්න තරම් ඉතාම දක්ෂ ගේය පද රචකයෙක්. ගී තනු නිර්මාපකයෙක්. ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජයභූමි... කියන චිත්‍රපට ගීතය හදලා ලතා මංගේෂ්කාර් කියන මහා ශිල්පිනිය ලවා ඒ ගීය ගයවන්න ගිය වෙලාවේ ලතා මංගේෂ්කාර් ආනන්ද සමරකෝනුන්ගේ කකුල් දෙක අල්ලා වැඳලා තියෙනවා.

ගිනස් පොතට වාර්තා තබපු ලතා මංගේෂ්කාර් වැනි ලෝක පූජිත ගායිකාවක් අපේ සමරකෝනුන්ගේ දෙපා වැඳලා තමයි ගීතය ගයන්ට පටන් අරන් තියෙන්නේ. මේවායෙන් දැනෙන්නේ කුමක්ද? අපි කොයිතරම් ආඩම්බර ජාතියක් ද කියන එක. අපි නිර්මාණකරණයට ප්‍රවිෂ්ටය ගන්න කොට අපි බැලුවා අපේ ප්‍රවීණයෝ මොනවද කරලා තියෙන්නේ කියලා‍. ඒ අය ගිය අඩි පාරේ අපි යන්න උත්සාහ කළා. සුනිල් සාන්තයන් කතෝලික ආගමේ නිසා බොහෝවිට පල්ලිවල එන කන්තාරු ගීවල රිද්මය හා නාද රටා භාවිත කළා. අමරදේවතුමාගේ ගීතවල කතෝලිකත්වයක් හෝ පල්ලියේ ගැයෙන ගීවල හඬක් ඇහෙන්නේ නැහැ. අපි බහු සංස්කෘතික රටකනේ ජීවත් වෙන්නේ. සිංහල, ද්‍රවිඩ, කතෝලික, මුස්ලිම් ආදී මිශ්‍රණයක් අපට තියෙන්නේ. කොහොම වුණත් ලාංකේය පොළොවේ පය ගහලා ජීවත්වන මිනිසුන්ට විඳින්න පුළුවන් දෙයක් තමයි මේ අය කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ තාරුණ්‍යයේ දකින කිසිම කෙනෙක් ගැන මට තක්සේරුවක් දෙන්නට බැහැ. අපේ රටට උචිත දෙයක් කරාවි කියලා.

• ඔබ ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය නොලැබුවත් රාගධාරී සංගීතය භාවිත කරනවා. ඒ වගේ ම ජන සංගීත විධික්‍රමත්, බටහිර සංගීත විධික්‍රමත් භාවිත කරනවා. මේ විධික්‍රම තුන ම භාවිතය ඔබේ නිර්මාණකරණයට නව එළියක් එක් කළා.

බටහිර සංගීතයේ අපට නිතර රැව්දෙන වාදන භාණ්ඩය ගිටාරය, තොටුපළ අයිනේ... ගීතයේ දී මම වඩාත් භාවිත කළේ අපේ ජන සම්ප්‍රදායේ එන පාරු කවිවල නාද රටා. නමුත් ගීතය ආරම්භයේ සිට අවසානය දක්වාම රිද්මයානුකූල ස්වර පෙළක් වාදනය වෙනවා. ඒක කරන්නේ ගිටාරයෙන්. ඒ වුණාට මට මෙතෙක් කවුරුවත් කියලා නෑ ගිටාරය හොඳට වාදනය වෙනවා කියලා. ඒ සින්දුවේ තියෙන බටහිර සංගීත ආභාසය කාටවත් දැනෙන්නේ නැහැ. එයට හේතුව ස්වර රිද්ම රටාව ගොඩනඟලා තියෙන්නේ අති ප්‍රබල ජන ගී ඇසුරෙනුයි. අපේකම අබිබවා යන්නට නොදී තමයි ගිටාරය වාදනය කරන්නේ. පමණ දැනගෙන යොදා ගන්න පුළුවන් නම් මේ හැම සංගීත රටාවකින් ම අපට ගන්න දෙයක් තියෙනවා. ෆ්‍රෙඩී සිල්වාගේ කුණ්ඩුමනී ගීතය ගන්න. එහි තිබෙන්නේ කර්ණාටක සංගීතය, ලංකාවේ ද්‍රවිඩ ජනතාව වගේ ම සිංහල ජනතාවත් ඒ සින්දුව විඳිනවා‍. සරුංගලේ චිත්‍රපටයේ ගීතත් එහෙමයි.

• සුනිල් ආරියරත්නයන්ගේ සරුංගලේ චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් ඔබ කළ අත්හදාබැලීම් සඳහා නිසි ඇගැයුමක් ලැබුණේ නැහැ. එහිදී ඔබ ද්‍රවිඩ ජනවහරේ එන නාද රටා හා දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය සම්මිශ්‍රණය කරනවා.

මෙතෙක් නිසි ඇගැයීමක් නම් ඒ වෙනුවෙන් කෙරිලා නැහැ‍. මගේ කාර්යය මම ඉතා හොඳින් ඉටු කළා. එපමණයි.

• ඔබ වෙනත් ගායකයන්ට නිර්මාණය කළ මධුර ගී තනු අසීමිතයි. එය එක්තරා විදියක දානයක්.

මම මගේ තනු නිර්මාණය කරගෙන මගේ කටහඬින් ගීත ගයමින් කිසියම් තැනක් ලබාගෙන තිබෙනවා නම් මට ඒ හා සමානම නිර්මාණ කරන්න පුළුවන් වුණා, වෙනත් ගායක ගායිකාවන් බහුතරයකට ඔවුන්ගේ ස්ථාවරත්ව ගොඩනඟා ගැනීමට. ඒක මට විශාල සතුටක්. ළිඳකින් වතුර ගන්න ගන්න තමයි තව තව උල්පත්වලින් ඒ ළිඳට වතුර උනන්න පටන් ගන්නේ. අබේවර්ධන බාලසූරිය, නෙරංජලා සරෝජිනී, ශ්‍රීමතී තිලකරත්න, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් එදිරිසිංහ වගේ අයට ඒ වගේ බුද්ධිමය හා සෞන්දර්යමය දානමය පින්කමක් කරන්න ලැබීම මගේ ජීවිතයට සතුටක්. මම කවදාවත් තනු නිර්මාණය කළේ සල්ලි වෙනුවෙන් නොවෙයි.

අද තරුණ පරපුරේ තරු ගායිකාවක් තවත් ඒ පරපු‍රේම දෙතුන්දෙනෙක් එක්ක එකතු වෙලා සින්දුවක් නිර්මාණය කරලා තියෙනවා. ඇය නිකම්ම නිකම් පද ගොඩකට ගේය පද රචකයාට රුපියල් ලක්ෂයක් ගෙවලා තියෙනවා.‍ තනුවට ලක්ෂ 3 ක් ගෙවලා තියෙනවා. අන්තිමට ඒක සින්දුවක්ද? නෑ නිකම්ම නිකන් පද ටිකක් රැස් කරලා ඒ ළමයා පණුවෙක් වගේ නට නට ඒක වචන ටික කියනවා විතරයි. කිසිම වාද්‍ය භාණ්ඩයක් නෑ. පරිගණක නාද රටා විතරයි. මේ ළමයට ඒක සින්දුවක් නෙවෙයි කියලවත් තේරෙන්නේ නෑ. අද ඒ වගේ සංස්කෘතියක් තියෙන්නේ. සල්ලි තියෙනවා නම් එක රැයින් ගායකයෙක් ගායිකාවක් වෙන්න පුළුවන්.

• වත්මන් පරම්පරාව ගැන කතා කරන කොට මෙහෙම ගැටලුවක් පැන නඟිනවා. ඔබ වැනි විශිෂ්ටයන් බිහි වීමට විශිෂ්ට ගුරු පරම්පරාවක් බලපෑම් කළා. එහෙත් වත්මන් පරපුරට එවැනි ගුරුපදේශ දිය හැකි විශිෂ්ට ගුරු පරපුරක් සිටිනවාද? මේ නිර්මාණ බංෙකාලොත් බවට එයත් බලපෑම් කරනවා නේද?

අපේ කාලේ අපි ගුරුවරුන්ට බොහොම අවනත වෙලා, කීකරු වෙලා ඉගෙන ගත්ත අය. අද කාමරේකට දාලා පුටුවකට හිර කරලා ගුරුවරයා බැඳලා එයාට තළන කාලෙකට ඇවිත් තියෙනවා. සදාචාරාත්මක බව අපෙන් කොයිතරම් දුරස්වෙලා තියෙනවද කියන එක මේකට බලපානවානේ. ගුරුන් පිදීම, ගුරුන්ට භක්ති ප්‍රණාම දැක්වීම මේ වගේ දේවල් අද පරම්පරාවේ අය කරනවද? මේ කොදෙව්ව ඇතුළේ අපට කොයිතරම් ආරක්ෂා කරගත යුතු සංස්කෘතියක් තිබුණාද? හැමදාම සංස්කෘතිය එකතැන පල් වෙන්න ‍ඕන කියලා මම කියන්නේ නැහැ. රටක ජාතික ලක්ෂණ කියන එක විනාශ නොවී තියෙන්න ඕන. මේ පිරිහීම නිසා තමයි විදග්ධ නිර්මාණකරුවන් තරුණ පරම්පරාවෙන් බිහිවෙන්නේ නැත්තේ. ගුරුවරුන්ගේ වරදක් කියලා මට කියන්න අමාරුයි. ගුරුවරයෙක් විදියට මම වසර ගණනාවක් සේවය කළා.

සංගීතය කියන්නේ බෙහෙවින් අභ්‍යාස කළ යුතු විෂයයක්. අපට මුලින් ම අභ්‍යාස කරන්න දෙන්නේ යමන් රාගය. අපි මේ රාගය මාස 6 ක් වත් පුහුණු වෙනවා. පුහුණුවේ පරතරයක් දකින්න බැහැ. ඒකට තමයි සතතාභ්‍යාසය කියලා කියන්නේ. අද ළමයි මෙහෙම පුහුණු වෙයිද? වැඩිම වුණොත් එක රාගයක් පැයක් දෙකක් පුරුදු වේවි. කලාව එහෙම කරන්න බැහැ. ඉවසීම හා සංයමය උපරිමයෙන් තිබිය යුතුයි. පුහුණු වෙන්න වෙන්න ගුරුවරයා උගන්නපු දෙයින් ඔබ්බට යමක් අපිට ඉබේම ඉගෙන ගන්න ලැබෙනවා. එයින් ස්වාධීන පෞරුෂයක් ගොඩනැ‍ඟෙනවා. අද පරපුර එහෙම කැපවීම කරන පිරිසක් නොවෙයි‍.

අද සින්දුවක් ප්‍රචාරය කරගන්න ඕන කරන්නෙත් මුදල් විතරයි. අහවල් සංගත තැටියේ මොන මොන ගීත ද ඔයාට ‘හිට්’ කරන්න ඕන කියලා තමයි අද මේ එෆ්.එම්.වල ඉන්න ළමයි අහන්නේ. ඒකට පාවිච්චි කරන්නේ ‘හිට්’ කියන වචනය. ඉතින් සින්දු ගාන අනුව ගෙවිය යුතු මුදල තීරණය වෙනවා. මේක තමයි අද තත්ත්වය. ගීතය මේ තරම් හෑල්ලු වීම ඛේදවාචකයක්.

• මේ වසර 75 දෙස හැරී බලද්දී පැමිණි මඟ පිළිබඳ දැනෙන හැඟීම කවරාකාරද?

කෙටියෙන් ම කිව්වොත් මම හරිම සතුටින් ඉන්න කලාකරුවෙක්. මම මගේ නිර්මාණ විතරක් කරගෙන, මගේ දිස්නය, ජනප්‍රියත්වය, කීර්තිය, ප්‍රසිද්ධිය විතරක් ලබා ගෙන ජීවත් වුණානම් මේ තරම් සතුටක් නොදැනෙන්න තිබුණා. තව කී දෙනකුට මම නිර්මාණ කරලා තියෙනවද? මගේ නිර්මාණ දායකත්වය නිර්ලෝභීව අනෙක් නිර්මාණකරුවන්ටත් දානය කිරීමයි, මගේ සතුටේ හේතුව. සමහර ගීත තනුව දාලා වෙන ශිල්පීන් ලවා ගායනා කරවද්දි ඒ සින්දු ලියපු අය කියනවා 'ඒ ගීතය වික්ටර් ගායනා කළා නම් වඩා හොඳයි' කියලා. ඒත් මට කවදාවත් එහෙම හිතුණේ නැහැ.මේ කරුණු නිසා තමයි මම කියන්නේ, මම සතුටින් ඉන්න කලාකරුවෙක් කියලා.

අනෙක් කාරණය මට විශාල ගෞරවයක් ලබා ගන්න පුළුවන් වුණා, රුක්මණී දේවි වැනි ඉතාම අපූර්වත්වයකින් රඟපාපු සිනමාවේදිනියක් සමඟ යුග ගීයක් ගායනා කිරීමට හැකිවීමෙන්; එහි තනුව මගේ වීමෙන්. ජෝතිපාල, එම්.එස්. පෙරේ‍රා, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල ‍වගේ සංගීතවේදීන්-වේදිනියන් සමඟ වැඩ කිරීමට ලැබීම ඉතා සතුටක්. මම කියන්නෙ නෑ මම නිසා ඔවුන් බැබළුණා කියලා, මම ඒ තනුව ඔහු හෝ ඇය ලවා ගායනා කරවීමට ලැබීම මගේ භාග්‍යයක් කියලයි මට සිතෙන්නේ. සංතුට්ඨී පරමං ධනං...සතුට තමයි වැදගත්ම.

සේයාරූ - රංජිත් අසංක

Comments