වසරේ පළමු සහ එකම ඡායා චන්ද්‍රග්‍රහණය ලබන සෙනසුරාදා ! | සිළුමිණ

වසරේ පළමු සහ එකම ඡායා චන්ද්‍රග්‍රහණය ලබන සෙනසුරාදා !

 ජල විපත් සහ ජ්‍යෙෂ්ඨ කාන්තාවන් පිළිබඳ දුක්මුසු පුවත් පැතිරෙයි

කෙනෙකුට තම පියවි ඇසින් දැකිය හැකි දැවැන්තම සජිවී ත්‍රිමාණ සිත්තම ලබන පෙබරවාරි 11 දා හිමිදිරි පාන්දර සිටම අහසේ නිර්මාණය වේ. කළු සුදු අළු රිදී සහ තැඹිලි රන්වන් වර්ණ රටා රූප රාමුවෙන් රූප රාමුවට මාරුවෙමින් මවන යෝධ සෙවණැලි චිත්‍ර වරින්වර සඳ මතුපිට දිස්වෙයි. එය කෙතරම් අසිරිමත්දැයි වචනයෙන් විස්තර කළ නොහැකි හෙයින් එදින පාන්දරින් අවදිව අහස දෙස බලන්නැයි අපි ඔබට ඇරියුම් කරමු. එවිට ඔබ දකින්නේ 2017 වර්ෂයේ හට ගන්නා පළමු සහ එකම ජායා චන්ද්‍රග්‍රහණය යි.

බටහිර ජ්‍යොතිෂ ගණිතය අනුව සිංහ රාශියේ අංශක 22 දී සහ පෙරදිග ජ්‍යොතිෂ ගණිතය අනුව කටක රාශියේ අංශක 28 දී මේ ජායා චන්ද්‍රග්‍රහණය උච්ච අවස්ථාවට පත්වෙයි. එකී ගණිත ක්‍රම දෙකම මොහොතකට අමතක කරන අපි ටොලමියානු මූලධර්ම අනුව මේ ජායා චන්ද්‍රග්‍රහණය විමසමු. ඔබ කොළඹ සිට අහස නිරීක්ෂණය කරන්නේ නම් මේ ජායා චන්ද්‍රග්‍රහණයේ මුල්ම අවස්ථාව පෙබරවාරි 11 දා පාන්දර 04.04 ට ආරම්භ වෙයි. එහි මධ්‍ය හෙවත් උච්ච අවස්ථාව පෙරවරු 06.13 ට සිදුවන අතර ජායා චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් අවසන් වන්නේ පෙරවරු 08.23 ටය. ඒ අනුව පැය හතරකුත් මිනිත්තු 19 ක කාලයක් එය පවතින බැව් පෙනේ. මෙහිදී සිදුවන්නේ පෘථිවියේ ජායාවට 4 % කින් සඳු සමීප වූ විගසම රවි සඳු සහ පෘථිවිය අතර හට ගන්නා ජ්‍යාමිතික කෝණය අනුව ආලෝකය සහ එහි ජායාව අතර අපූරු පිහිටීමක් හට ගැනීමයි. තව ලෙසකට කිවහොත් ආලෝකය සහ එය නිසාම හට ගන්නා පරාවර්තන ප්‍රතිබිම්බ මගින් පෙරළා ආලෝකය යටපත් කිරීමක් මෙහිදී සිදුවෙයි . මේ දර්ශනය අමෙරිකාව අප්‍රිකාව යුරෝපය සහ ආසියාවේ ප්‍රදේශ ගණනාවකට දිස්වන අතර ඒ රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද අයත් වෙයි.

සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදුවීම පෙරදිග විශ්වාසය අනුව අසුබ නිමිත්තකැයි සැළකෙයි. පුදුමයකට මෙන් දැන් දැන් අපරදිග රටවලට ද එය බෝ වෙමින් තිබේ. එහෙත් ටොලමියානු විග්‍රහය අනුව සෑම සූර්‍ය හෝ චන්ද්‍ර ග්‍රහණයක් ම පොදුවේ අසුබ වන්නේ නැත. විශේෂයෙන්ම ජායා චන්ද්‍රග්‍රහණයක් යනු ඍජු බලපෑම් අවම සහ වක්‍ර බලපෑම් බහුල වන සංසිද්ධියකි. මෙහි සමස්ථ බලපෑම් කාල පරිච්ඡේදය කෙටි සහ දිගුකාලීන වශයෙන් කොටස් දෙකකි. එහි මුල් අදියර මාස 4 ක් සහ දින 19 ක් ලෙස ක්‍රියාත්මක වෙයි. දැන් එහි සුබ අසුබ විමසා බලමු.

ජල බලයෙන් යුත් කටක රාශිය මෙහි ග්‍රහණ භූමිය වන අතර එය වායු බලැති ශ්‍රි ලංකා කේන්දරයෙන් 06 වැන්න වෙයි. ග්‍රහණයේ උච්ච අවස්ථාව බුධ සහ ශනි සංයෝගයක් වන අතර පෙරළා එමගින් පඨවි සහ වායු ක්ෂූද්‍ර සූක්ෂ්ම අවස්ථාවක් පෙන්වයි. පඨවි බලැති මකරයේ තැන්පත් රවි වෙතින් කුජ සහ ශනි සංයෝගයක් නිර්මාණය කරන අතර එමගින් පෙරළා ගිනි සහ වායු ක්ෂූද්‍ර සූක්ෂම අවස්ථාවක් පෙන්වයි. ග්‍රහණය සිදුවන අස්ලිස නැකතේ 4 වැනි පාදය විසින් ක්ෂූද්‍ර සූක්ෂ්ම ජල බලයම උපරිමයෙන් නියෝජනය කරයි.

මෙය කාටත් වැටහෙන බසින් පරිවර්තනය කළ විට එන අරුත මෙයයි. පෙබරවාරි 11 දා සිට ඉදිරියට එන මාස 04 කුත් දින 19 ක කාලය අතරතුරදී ජලය ආශ්‍රිත මහ පරිමාණ විපතක් නිවේදනය කරයි. ජලය ආශ්‍රිත පීඩාවන් සහ රෝග පැතිර යෑමක් ලෙස ද එය තේරුම්ගත යුතුය. සමාජ දේශපාලන ක්ෂේත්‍රය ආශ්‍රිතව ගත් කළ කිසිදා එකට එක්වේ යැයි අපේක්ෂා නොකළ බලවේග එකම පෙරමුණක හිඳ අවස්ථාවාදී කුමන්ත්‍රණ සහ රහස් සැලසුම් ක්‍රියාවට නංවනු ඇත. මෙය දිය යටින් ගින්දර ගෙන යෑමකි. දෙවනුව කටකය යනු රාජ්‍ය බලය නිවේදනය කරන 10 වැන්නෙන් 09 වැන්න වෙයි. එකී ත්‍රිකෝණස්ථානය ම ග්‍රහණ භූමිය බවට පත්වීම ද සුවිශේෂ වෙයි. දේශපාලන කරළියේ හට ගන්නා සීතල යුද්ධ එමගින් නිවේදනය කෙරේ.

පොදුවේ ගත් කළ රටක් ලෝකයක් දිනූ ජ්‍යෙෂ්ඨ කාන්තාවන් පිළිබඳව ශෝචනීය පුවත් අසන්නට ලැබේ. සමස්තයක් ලෙස ඉදිරි මාස කිහිපය මැදිවිය ඉක්මවූ කාන්තාවන් කෙරෙහි අහිතකර කාල පරිච්ඡේදයකි. දේශපාලනයේ නිරත හෝ උසස් නිලතල දරන ජ්‍යෙෂ්ඨ කාන්තාවන් දැඩි පීඩාවකට ගොදුරුවන අවදානමක් ද පෙන්නුම් කරයි. මේ ජායා චන්ද්‍රග්‍රහණයෙන් හරියටම දින 15 කට පසුව එනම් පෙබරවාරි 26 දා වලයාකාර සූර්‍ය ග්‍රහණයක් ද හටගනී. මේ සිද්ධි දෙකම ලෝකයේ කාලගුණ රටාවට දැඩි තර්ජනයකි.

ලබන සෙනසුරාදා සිදුවන ජායා චන්ද්‍රග්‍රහණයේ විවිධ අවස්ථා කොළඹට පෙනෙන ආකාරය

Comments