මැරියොට් හෝටලයේ වෙළෙන්දිය | Page 2 | සිළුමිණ

මැරියොට් හෝටලයේ වෙළෙන්දිය

අයුබ් මුස්ලිම් ජාතිකයෙකි. මම බොදුනුවෙක්මි. රාමසාන් සුපුන් සඳත් පුන් පොහෝ දා සුපුන් සඳත් එක් දිනක පෑයුවේය. වැඩ ඇරී පැමිණ සැහැල්ලු සිතින් මගේ ඇඟ සෝදා ගත් විට මගේ වෙහෙස නිවුණු බව දැනුණි. රාත්‍රී ආහාර වේලක් ගැනීමට අයුබ් සමඟ මැරියොට් හෝටලයට යා යුතු යැයි මට සිතුණි. මගේ ජංගම දුරකථනයෙන් මම අයුබ් ඇමතීමි.

“මචං අයුබ් මම ලලිත්”

“ඇයි මේ වේලාවේ කථා කළේ?”

“අපි මැරියොට් හෝටලයට ගිහිල්ලා එකට කෑම වේලක් කමු හැබැයි. අද ඔයා ගානේ නෙවෙයි. මගේ ගානේ.”

“ඔයා වගේ දුප්පත් වැටුපක් ලබන කෙනෙක්ගෙන් මම කොහොමද කෑම වේලක් ඉල්ලන්නෙ.”

“ඒ හින්ද නෙවෙයි රාමසාන් හඳයි, පුන් පොහොය හඳයි එකට යෙදුණම මට හිතුණා අපි දෙදෙනා අතරෙ වෙනසක් නැහැයි කියලා”

“එහෙම නම් අපි කෑම බෙදා ගනිමු” මම දෙහිවල පීටර් පටුමඟට පැමිණ අයුබ්ට අතපත්තු මාවතේ ඔහුගේ නි‍ෙවසේ සිට මැරියොට් හෝටලයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියෙමි. රාත්‍රී තනියම පැමිණි මම ද අයුබ් ද ගාලු පාරට යාබද එම හෝටලය ඉදිරිපිට දී හමු වුණෙමු.

ඔහු මට ද මම ඔහුට ද එක විට අත දිගු කළෙමු.

මමත් අයුබුත් එකිනෙකාට ඉදිරිපිටින් මේසයක අසුන් ගනිමු. සේවකයෙක් කෑම වට්ටෝරුව ගෙන අප අසලට පැමිණ එය අප ඉදිරියෙන් තැබීය. අයුබ් නූඩ්ල්ස් බිත්තර සහ බැදපු මාළු සමඟ සිසිල් බීම බෝතලය බැගින් ඇණවුම් කළේය. ඇණවුම ලැබෙන තෙක් බලා සිටින විට සිහින් නළලකින් හෙබි පළල් උස් අඩි සපත්තු පැලඳ, තොල් රතු කළ කම්මුල් පාට කළ රුවැති යුවතියක් අප ඉදිරියේ පෙනී සිටියේය.

Do you speak English or Sinhala ඇය අපෙන් විමසීය. මම Both යැයි පිළිතුරු දුනිමි.

“මොන භාෂාවෙන් කථා කරන්න ද වැඩියෙන් කැමති”

“සිංහලෙන්”

“ගන්න කැමති ද?”

“මොනාද විකුණන්නේ”

“ඒකවත් තේරෙන්නෙ නැද්ද?”

“ඔයා විකුණන්නේ මොනවද කියල කියන්න ගන්න පුළුවන්නම් අපි ගන්නම්”

“ඒගොල්ලන්ට වගේම අපිටත් බඩගින්න තියෙනවා”

“රස්සාවක් කරන්නෙ නැද්ද? හැබැයි හොඳට ඇඳලා පැලඳලා ඉන්නවා”

“රස්සාවක් නැහැ. මේ වෙළෙඳාම තමයි කරන්නේ”

“අපිට අනුමාන කරන්න බැහැ පැහැදිලිව කියන්න”

“අපටත් යමක් දෙන්න අපෙනුත් යමක් ගන්න”

“ඔයාගෙන් අපට යමක් ගන්න අවශ්‍යතාවක් නැහැ. ඕන නම් අපිත් එක්ක වාඩිවෙලා කථා කරන ගමන් ඔයා අපිත් එක්ක කෑම වේලක් කන්න”

“අපි නිකන් දෙන දේවල් ගන්න හොඳ නැහැ කියල විශ්වාස කරනවා. ඒකයි අපෙනුත් යමක් ගන්න කියලා කිව්වේ.”

“හරි අපි බලමු. මෙතනින් වාඩි වෙන්න”

ඇය අප මේසයේ පුටුවක වාඩි වුණාය.

“අපි කන්න හදන්නෙ නූඩ්ල්ස් ටිකක් එක්ක බිත්තරයකුයි බැදපු මාළු කෑල්ලකුයි. සිසිල් බීම බෝතලයකුත් ගේනව. ඔයා කැමැති ද?”

“කැමැතියි”

මොකක්ද නම

“චලනි”

“කොහේද ඉස්කෝලේ ගියේ”

“අනේ ඒක අහන්න එපා”

“මේක රස්සාවට යන ඉන්ටර්විව් එකක් නොවෙයිනේ”

මේ වන විට වේටර් අප අසුන්වලට අදාළ කෑම බෙදා තිබිණි. චලනි අප සමඟ වාඩි වූවාය. අයුබ් චලනිට ද ආහාර බෙදා දුනි. චලනිගේ එක් ඇසක කඳුළු බින්දුවක් එකතු වී තිබිණි. එය මගේ හද පෑරීය.

“චලනි මේ අයුබ් එයා දෙමළ පත්තරේක මාධ්‍යවේදියෙක්, මම ලලිත් සිංහල පත්තරේක මාධ්‍යවේදියෙක්.”

“ඒක අපේ ගනුදෙනුවට අදාළ නැහැ” ඇය ප්‍රකාශ කළේය.

“මේක දෙනුවක් විතරයි ගනුවක් නැහැ. “ඔයා කෑම ටික කන්න” අයුබ් ප්‍රකාශ කළේ ය. ඇය සෙමෙන් ආහාර වේල භුක්ති වින්දාය.

මේ අමුත්තියගේ පැමිණීම මගේ සහ අයුබ්ගේ නිදහස් සංවාදයට බාධාවක් විය. අයුබ් මට ‘It’s a merit” යැයි පැවසුවේය.

අපට අසලින් වූ මේසයක තරුණයෙක් ආහාර බුදුමින් ඔහුගේ I Pod යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් සිටියේය. මගේ ඇස් ඒ දෙස යොමු විය. ඔහු නරඹමින් සිටියේ සමාජ වෙබ් අඩවියකි. මගේ කුතුහලය ඇවිස්සිණි. ව්‍යායාමය සඳහා වේගයෙන් ඇවිදින පුද්ගලයකු දෙස බලමින් “මේ අවිදින්නේ කාපු ඒවා දිරව ගන්න බැරි කෙනෙක්” “මේ ඉන්නෙ කන්න දෙයක් නැති අයයි” ඔහුගේ I Pod යෙන් ඇසුණි.

අප තිදෙනාම එක විට ආහාර වේල ගන්නා විට ඇය ඇස් උස් කොට අප දෙස බැලුවාය.

“මම ඕගොල්ලන්ගෙන් දෙයක් ගත්ත. මගෙන් දෙයක් ඕගොල්ලන්ට එපාද”

“කෑම වේලක් කියන්නේ සුළු දෙයක්”

“නමුත් හැමෝටම නෙවෙයි”

“මගෙන් යමක් එපා ද?” අයුබ් සහ මම ඇගේ අනුකම්පා සහගත මුහුණ දෙස බලා සිටියෙමු.

“යමක් දෙන්නෙ නැතුව යමක් ගන්නෙ නැහැ කියල මම හිතනවා” ඇය පැවසුවාය.

“ඕගොල්ලෝ සද්දන්ත පිරිමි නෙවෙයි ද?මගෙන් යමක් ගන්න” ඇය පැවසුවාය.

මම මගේ වම් කොපුල ඇයට පෑවෙමි. ඇය ඇගේ දකුණු කොපුල මට පෑවාය.

“කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි මට ඒ වේදනාව දුන්නේ ඇයි?”

චලනි ප්‍රශ්න කළාය.

“චලනි අපට පරක්කු වෙනවා” යැයි කියූ අයුබ් ඉදිරියට පය තැබුවේය.

මම අයුබ් ඇමතීමි.

“මේ අත්දැකීම මට කෙටි කතාවකට හරි වටිනවා”

“මොකක්ද කෙටි කතාවේ නම”? අයුබ් ඇසීය.

“The Vender at the mariot Hotel”

Comments