දඹදෙණි යුගයේ සාහිත්‍යය -VI | Page 2 | සිළුමිණ

දඹදෙණි යුගයේ සාහිත්‍යය -VI

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය ත්‍රෛමාසික සඟරාව’ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘සත්මඬල’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමි වේ. මේ ඓතිහාසික ලිපිය ශාස්ත්‍රාභිලාෂී මතු පරපුරට කියවා ගැනීම සඳහා මෙලෙස පළ කරනු ලබන්නේ, දැන් එහි පිටපතක් සොයා ගැනීම අතිශය උගහට බැවිනි.

දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගෙ කාලෙදි දෙමළ කාව්‍යයක් ලියල තිබෙනවා සරජෝතිමාලය කියල. ඒ රජ්ජුරුවන්ට කියනවා ඒ පොතේ “තම්බෙයිකවලන්” කියල. තම්බයි කියන්නේ දඹදෙණිය. කාවලන් කියන්නේ ප්‍රධානියා නායකයා.

ඉතින් කුරුණෑගලත්, දඹදෙණියට හාකොළොත් තවත් දික්වෙන්නටත් පුළුවන්. කුරුණෑගල ඒකට කැමැති වෙත් ද කියන්න බැහැ නේද? කුරුණෑගල සම්මේලනය තියනකොට (සිනා) අවුරුදු 50කට ටිකක් අඩුයි, කුරුණෑගලත් එක්කහු නොකළොත්.

පී. බී. සන්නස්ගල මහතා - මූලාසනාරූඪ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මුළු සංඝ සභාවෙන් අවසරයි. මහත්වරුනි, නෝනාවරුනි, මා අහන්නේ එක ප්‍රශ්නයයි. මේ විදුසක්විති මහාචාර්ය පරණවිතාන තුමාගේ කථාවෙන් දැනගන්නට ලැබුණා, අවශ්‍යයෙන් ම එක් කාරණ්‍යක් තියෙනවා. මේක මම ප්‍රශ්නයක් වශයෙන් නොවෙයි අහන්නේ. පරණවිතාන මහාචාර්ය තුමාගේ කථාවෙන් දැනගන්නට ලැබුණු අවශ්‍යයෙන්ම එක් කාරණයක් තියෙනව. මට හිතෙනව එතුමාගේ කථාවේදී සඳහන් උනාදෝ කියල කලිකාල සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා කවුරුත් දන්නවා. “කව්සිළුමිණ” කළේ ඒ රජතුමා බව. නමුත් මෑතක දී ඒ රජතුමා නොවෙයි පොලොන්නරුවට “කව්සිළුමිණ” අයිතිය යන හැඟීමක් දෙවිල තියෙනවා. සමහර විට ඒ හැඟීම අපේ අදහස්, නැතිනම් අප ඉදිරියෙහි තිබෙන කරුණු අනුව හිතාගෙන තිබෙන්නේ ඒක දඹදෙණියෙන් පොලොන්නරුවට අදින්නට බැඳගත් මකුළු හුයක් පමණට සුළු දෙයක් වශයෙනුයි. මා විශේෂයෙන් ම මේ විදුසක්විති පරණවිතාන මහතාගෙන් දැනගන්නට සතුටුයි මේ කාරණය මොකක්ද? ඒ දෙවැනි පැරකුම්බා නැතිනම් දඹදෙණියේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ වංශයකුමක් ද කියන එක. මා හිතනවා එතුමාගේ කථාවෙන් පැහැදිලි වුණා පඬු වංශයට සම්බන්ධකමක් තිබෙන බව. සමහර විට එතුමා පඬු වංශිකයකු නේද? එසේ නම් මේ අසදෘශ කාව්‍යය පොලොන්නරුවට ගෙන යන්න බැහැ. ඒ නිසා මා එතුමාගෙන් ඉල්ලා සිටිනවා තව වරක් පඬුවංශය ද කියන බව දැනගැනීම සඳහා එය පැහැදිලි කරන ලෙස. මට ඕනෑ කරන්නේ පඬු වංශය දැනගැනීම පමණකි. ඒ රජතුමා පඬු වංශිකයෙක් ද කියන එක.

පරණවිතාන මහතා: දැන් මේ කව්සිළුමිණ ගැනයි ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. බොහොම කලක හිටන් පණ්ඩිතයන් අතරේ පිළිගෙන තිබුණේ කව්සිළුමිණ නැම්බමර කලිකාල සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කෘතියක් කියල. කව්සිළුමිණේ අන්තිම ගී දෙකෙන් කියවෙන හැටියට කව්සිළුමිණේ කර්තෘ පඬු වංශිකයෙක්. දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවොත් පඬු වංශයේ කෙනෙක් ය කියල ගන්ට පුළුවන්. ඒ කාලයේ ලංකාවේ දෙපක්ෂ්‍යක් තිබුණා කාලිංග පක්ෂයත්, පාණ්ඩ්‍ය පක්ෂයත්. පොලොන්නරුවෙ කාලිංග පක්ෂයට නිස්සංකමල්ල ආදි රජවරු, පාණ්ඩ්‍ය පක්ෂයට ලීලාවතී ආදි රජවරු, දඹදෙණිය පාණ්ඩ්‍ය පක්ෂයට ගියා. දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවො පඬු වංශයට අයත් බව කීමට තවත් හේතුවක් නම් ඒ රජ්ජුරුවන්ගේ කුමාරවරු 5 දෙනෙකුට 5 රටක් බෙදල දුන්නා කියා තිබීමයි. “සර ජෝතිමාලේ” 2 වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ්ජුරුවන් ගැන සඳහන් වෙනව ඒ රජ්ජුරුවො වර්ණනා කරන තැන, ඒ රජ්ජුරුවන්ගේ සහෝදරයන් සතර දිසාවට අධිපතිව සිටියයි, ඒ රජ්ජුරුවෝ මූර්තිමත් ධර්මයක් හැටියට හිටියායි කියා. ඒ කියන්නේ පංච පාඬවයන් අනුව දකුණු ඉන්දියාවේ මදුරාපුරයේ කුමාරවරු 5 දෙනෙක්, සහෝදරයෝ 5 දෙනෙක්, ආණ්ඩු කළා කියා තිබෙනවා. ඒ ආණ්ඩු ක්‍රමය ලංකාවටත් ගෙනත් තියෙනවා. අපි දැන් එංගලන්තෙන් අමෙරිකාවෙන් ආණ්ඩු ක්‍රම ගන්නා වාගේ ඒ කාලයේදී පාණ්ඩ්‍ය රටේ තිබුණු ආණ්ඩුක්‍රම 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවොත් ගෙනාව කියල හිතන්න පුළුවන්. දෙවුන්දර ශිලා ලිපියෙන්, නෙම්බර සෝමරාජ පරම්පරාවෙන් ආවයි කියා තිබෙනවා. සෝමරාජ කියන්නෙ චන්ද්‍රවංශය කියල ගන්න පුළුවන්. ඔය ආදි කාරණා ගැන බලන කොට ඒ කාලෙදි සිංහල රාජවංශයේ වැදගත් කොටසක් වශයෙන් තිබෙනවා පඬුවංශය.

මයුරපාද ස්වාමින් වහන්සේ ලියාපු පූජාවලියෙ සඳහන් වෙලා තිබෙනව උන්වහන්සේ මහ පඬිවංශයේ කෙනෙක් ය කියල. 1 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කව්සිළුමිණ කළා යි කියල කියන්න යුක්තියක් මට නම් පේන්න නැහැ. ඒ නිසා පණ්ඩිතවරුන් අතරේ මෙතෙක් පැවැති අන්දමට 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කෘතියක් කියල පිළිගැනීමයි වටින්නෙ. 1 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ මේ විධියේ කාව්‍යයක් කළා නම් චූලවංශ කර්තෘ ඒක සඳහන් නොකර ඉන්නේ නැහැ. ඒ රජ්ජුරුවො කරපු වැඩ විස්තර ඇතුව සඳහන් වෙලා තියෙනවා. ස්පිරිතාලයට ගිහිල්ලා වෙදකම් කරපු හැටිත් කියලා තිබෙනවා. බෙහෙත් වට්ටෝරු ලියාපු එක සඳහන් වෙලා තියෙනව. මෙතරම් මහා කාව්‍යයක් කළා නම් සඳහන් නොකර ඉන්නෙ නැහැ. මගේ අදහසේ හැටියට නම් 1 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කෘතියක් කියා ගැනීමට පිළිගත හැකි සාක්ෂියක් නැහැ.

මූලාසනය : දැන් මීළඟට ජෝ. කුවින්ටන් පෙරේරා පියතුමා.

ජෝ කුවින්ටන් පෙරේරා පියතුමා:

මූලාසනාරූඪ මහානාහිමිපාණන්ගෙන් අවසරයි. ගරුතර සංඝරත්නයෙන් අවරසයි. මැති ඇමැතිවරුන්ගෙන් අවසරයි. නෝනා මහත්වරුනි, මා මේ මොහොතේ ඉදිරිපත් වෙන්නේ දැන් අප සියලු දෙනා ඇහුම්කන් දුන් ව්‍යක්ත කථා පිළිබඳ යම්කිසි විවේචනයක් කරන්ට නොවෙයි. මම ඉතිහාසය හදාරන තැනැත්තෙක්. යම්කිසි යෝජනාවක් කරන්ට ඉදිරිපත් වෙන්නෙ. දැන් අපි අපේ රජවරුන් ගැන කතා කරද්දී, අපේ නා නා යුගයන් ගැන කතා කරද්දී අපේ සංඝයා වහන්සේ ගැන කතා කරනවා. යම් යම් දේ ගැන කතා කරද්දී අපි හැමෝම පාහේ කථා කරන්නේ අපේ රජවරුන් ගැනයි. අපේ සංඝයා වහන්සේ ගැනයි. සාහිත්‍යය ගැනයි. යුගයන් ගැන පමණයි. අපේ තිබුණ ඒ යුගයන්හි තිබුණ ශ්‍රී විභූතිය, අපේ ඒ සමෘද්ධිය මේ සභ්‍යත්වය තිබුණේ ය කියල අපට කවුරුවත් කියල දෙන්නෙ නැහැ. කොහොමද මේ ශ්‍රී විභූතය මේ සභ්‍යත්වය ව්‍යාප්තව තිබුණේ කියා කවුරුවත් අපට කියා දෙන්නේ නැහැ. මම යම්කිසි විභාගයකට සූදානම් වෙනවා. ඉතින් මට මේ කාරණා අලළා යම්කිසි දෙයක් සොයාගන්න මේ ගැන දැනගන්නට බොහොම අමාරුයි. මේ සම්භාවනීය සභාවෙන් මා ඉල්ලන්නට යන්නේ මේ සභාවේ පැවිදි නොවෙයි ගිහි පඬිවරුත් රාශියක් සිටිනවා. ඉතිහාසය හොඳට හදාරන අය මේ අතුරින් සිටින්ට පුළුවන්. ග්‍රීක් ඉතිහාසය පිළිබඳ ලතින් ඉතිහාසය පිළිබද මට කිසියම් කාරණා දැනගන්නට තියෙනවා. රජවරුන් පමණක් නොව පොදු මහජනයා විශේෂ වශයෙන් මහජනයා පිළිබඳ දැන් මේ පින්වතුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. යෝජනාවක් හැටියට කරනවා මේ දඹදෙණි සාහිත්‍ය සම්මේලනය මඟින් ඒ නිමිතිකොට යම් පඬිවරයෙක් මේ මා කියාපු කාරණා අරභයා යම්කිසි ඓතිහාසික කෘතියක් කරන්නට ඉදිරිපත් වෙනවා නම් එය මුළු මහත් ලක්වැසි ජනයාට කරන උතුම් සේවයක් බව මතක් කරන්ට මම කැමැතියි. යම්කිසි පඬිවරයෙක් ඉන්නවා නම් යම්කිසි සාරවත් පොත් ලියන්නට ඉදිරිපත් වෙන්ට කියා මා ඉල්ලා සිටිනවා. මේ කාරණය ගැන ලක්වැසි ජනයා උදෙසා ඉදිරිපත් වෙන්ටයි කියා. දැන් අපේ මේ පරණවිතාන මහතාගේ කථාවෙන් දැනගන්ට ලැබුණ දඹදෙණි යුගය පිළිබඳ ගුප්ත කාරණා හුඟක් තිබෙනවා කියල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොත්පත්වලින් දැනගන්නට ලැබී නැති කාරණයකි. ඒ මහතාට මෙවැනි දෙයක් කරන්ට ඉඩ ප්‍රස්තාවක් නැහැ වෙන්ටැති. නමුත් මේ පැවිදි පඬිවරු රාශියක් ඉන්නවා.

තව කොටසක් ලබන සතියේ...

Comments