ජීවිතය සිහිනයකි! | Page 2 | සිළුමිණ

ජීවිතය සිහිනයකි!

ශ්‍රී ලාංකේය සමාජයේ සමාජ සාධක ගොඩනැ‍ඟෙන්නේ සමාජය එකතු කිරීමට නො ව; වෙන් කිරීමට ය. ඒ අනුව පිරිමියාට තමා පතන ගැහැනිය නො ලැබේ. ගැහැනියට ද තමා පතන පිරිමියා නො ලැබේ. එහෙත් ඔවුහු නො ගැළපෙන සහකාරයන් හා නොගැළපෙන සහකාරියන් කැටුව ව්‍යාජ ජීවිත ගෙවති. මෙය ශෝක පරිදේහයක් නොවේ ද?

බෝසමිඳු අබියස ප්‍රධාන සිදුවීම් දෙකක් නිරූපණය කෙරේ. එක සිදුවීමක් අතීතයට අයත් ය. අනෙක් සිදුවීම මේ දැන් - වර්තමානයට අයත් ය. කවියා මේ සිදුවීම් දෙක ගළපන ආකාරය මෙන් ම ගළපන ස්ථානය ද හරි අපූරු ය.

අතීත සිදුවීමේ දී අවංක පෙම් යුවළක් අපට මුණගැසේ. ඔවුන් තෙල් - මල් රැගෙන’විත් බෝ සමිඳුන් ඉදිරිපිට ප්‍රාර්ථනා ගොඩනඟන ආකාරය අපට සිතා ගත හැකි ය. දෙදෙනාගේ එකතුවීමට එක ම බාධකය මාපියන්ගේ විරෝධතාවයි. එම විරෝධතාව ඉදිරිපත් වී ඇත්තේ පෙම්වතියගේ පාර්ශ්වයෙන් ය. කුලය, බලය, ධනය ආවාහ - විවාහවලට බලපාන ප්‍රධාන සාධක ලෙස පවතී. මේ හැරෙන්නට පවුල් පසුබිම, සමාජ පන්තිය, ප්‍රාදේශීය වාද, ආගම, භාෂාව, ජාතිය යන සාධක ද ප්‍රේමයට බාධාවක් ලෙස පවතී. මේ සියල්ල ගොඩනැ‍ඟෙන්නේ වැඩවසම් චින්තනය ඔස්සේ ය. එහි අදහස වන්නේ ධනවාදයේ නූතන ලක්ෂණ පවා අපේ සමාජය තුළ නැති බව ය.

තරුණ පරම්පරාව ආදර - සම්බන්ධතාවල පැටලෙන්නේ ඉහත කී සාධක තුට්ටුවකට නො සලකමින්ය. ඔවුන් සිහින විජිතයක සරන්නේ යැයි කියන්නට පුළුන. එහෙත් කිසියම් දිනෙක ඔවුන් ද යථාර්ථයට මුහුණ දිය යුතු ය. සමහරු හඳපානේ පැන ගොස් තමන්ගේ ජීවිත ආරම්භ කරති. තව සමහරු රේල්ලුවට පැන දිවි නසා ගනිති. තවත් සමහරු සම්මතයට ඉඩ දී අසාර්ථක ජීවිත ගත කරති. මෙය හැඳින්විය හැක්කේ වැඩවසම් චින්තනයට යටත්වීමක් හැටියට ය.

දෙවන අවස්ථාව ශෝකයෙන් හා විරහ වේදනාවෙන් පිරී ඇත. පෙම්වතිය සිය නීත්‍යනුකූල සැමියා කැටුව බෝ සමිඳුන් වන්දනා කිරීමට එයි. ඇය දකින්නේ කුමක් ද? ඇගේ පරණ පෙම්වතා සුදෝසුදු වැලිතලාවේ සක්මන් කරයි. ඔහු මහණ වී බවුන් වඩමින් සසරෙන් එතෙර වීමට වෑයම් කරයි. ඔහු ජීවිත යථාර්ථය පසක් කර ගත්තේ කෙසේ ද? පෙම්වතියගේ චපලභාවය නිසා ය. මේ පෙම්වතිය පොරොන්දු කඩකළ චපල ස්ත්‍රියකි. මාගම නම් මායාකාරී ය, අද්භූත ය, වහා වෙනස්වනසුලු ය යන කියමන් අප සිහියට නැ‍ඟේ.

මහණකම් පුරන පරණ පෙම්වතා ප්‍රතිපත්ති ගරුක අවංක තැනැත්තෙකි. ඔහු පෙම්වතිය අහිමි වූ තැන වෙනත් ස්ත්‍රියක ගැන සිතන්නේ නැත. පෙම්වතියගෙන් පළිගන්නට යන්නේ ද නැත. ඇයට අවමන් කරන්නේ ද නැත. ඔහු මෝඩ පෙම්වතකු ලෙස කෙනකු හඳුන්වන්නට පුළුවන. එහෙත් අවංකකම, ප්‍රතිපත්තිගරුක බව යනු මෝඩකමක් නොවේ. මෙයින් පෙනී යන්නේ පෙම්වතාගේ උදාර චරිතය යි. හෙවත් පෞරුෂය යි.

මේ අවස්ථාවේ වඩාත් අසරණභාවයට පත්ව ඇත්තේ පෙම්වතිය යැයි කියන්නට පුළුවන. ඇය පරණ පෙම්වතාට මුහුණ දෙන්නේ කෙසේ ද? මේ කතාව කියන්නේ කාට ද? පරණ පෙම් පළහිලව් තම සැමියාට හෙළිකරන ගැහැනු නැත. ඇය බොහෝ ‍දේ සැඟවිය යුතු ය. ප්‍රෝඩාවෙන් ජීවත් විය යුතු ය. සියල්ල තනි ව දරාගත යුතු ය. එලෙස ම පෙම්වතිය ගේ සිතෙහි වරදකාරී හැඟීමක් තිබේ. ගැහැනිය එය දකින්නේ පවක් ලෙස ය.

“මා නෙත් කෙවෙනි අග

ගලා ආ කඳුළින්
සේදිය හැකි වෙ ද
මගේ පව!”

ස්ත්‍රිය පිළිබඳ යම් සාම්ප්‍රදායික චින්තනයක් ද මෙහි තිබේ. තරුණිය පෙරදා නිර්භීත තීන්දුවක් නොගන්නේ සම්මතයට ඇති බිය නිසා ය. බමුණු මතයෙහි යන ගැහැනියක අපට මෙහිදී මුණ ගැසේ. පෙම්වතිය බවුන් වඩන හිමියන් ඉදිරියෙහි වැඳ වැටීම සංකීර්ණ හැඟීම් ඇති කරන අවස්ථාවකි. හිමියන්ගේ දෙපා නමදින ගැහැනිය “ඔබ දෙපා රත් පියුම් මත” යැයි ගෞරව කරයි. වැඳ වැටුණ ද කඳුළු සැලුව ද, පාපයෙන් ගැලවිය නොහැකි බව පෙම්වතිය කියයි. ගැහැනිය මුළු ජීවිත කාලයට ම විඳවන ආකාරයක් එයින් ගම්‍ය වෙයි.

මානව සබඳතා බිඳ වැටීමක් ගැන ද හුදෙකලාභාවයක් ගැන ද මුළු ලෝකය ම කතා කරයි. දියුණු ම රටවල වැඩිහිටි ජනතාව මේ තත්ත්වයට මුහුණ දෙති. සියල්ලන් ම සිටිනුයේ තියුණු තරගයක ය. එය කෙතරම් උග්‍ර තත්ත්වයක පවතින්නේ ද යත් තරගය ඉදිරියේ සියලු මානව සබඳතා බිඳී යයි. මිනිසා යාන්ත්‍රික වී ඇත. හුදෙකලා වී ඇත.

බවුන් වඩන පරණ පෙම්වතා එක අතෙකින් තරගයෙන් පැරදී පලායන්නකු ලෙස ද හැඳින්විය හැකි ය. ඔහුට පෙම්වතිය සමඟ පැන යෑමට තිබිණි. එහෙත් ඔහු එසේ සිදු කර නැත. අවංක පෙම්වතා සිය ආදරවන්තිය ගැන ගැඹුරින් කල්පනා කරනවා විය යුතු ය.

අපූරු යෙදුම් ගණනාවක් ද ප්‍රබන්ධය තුළ ඇත. ඒ සියල්ලෙන් මතුවන්නේ විරහ වේදනාවයි. එය අපේ හිත රිදවයි!

Comments