ජරාව කෑ වරදට සොහොනේ ලගින 'කුණු ඉන්ස්පැක්ටර්' | Page 9 | සිළුමිණ

ජරාව කෑ වරදට සොහොනේ ලගින 'කුණු ඉන්ස්පැක්ටර්'

 අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු මහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං පවසා තිබේ. “ඔබට සියලු මිනිසුන් සමහර අවස්ථාවලදී රැවටිය හැකිය. සමහර මිනිසුන් සියලු අවස්ථාවලදී රැවටිය හැකිය. එහෙත් ඔබට සියලුම මිනිසුන් සියලුම අවස්ථාවලදී රැවටිය නොහැකිය”. එසේ කීවේ මහා කිවියර බර්නාඩ් ෂෝය. අවුරුදු 2500කට පෙරාතුව වැඩ සිටි ගෞතම බුදුරජාණන් වහන්සේ ද දේශනා කළේ (මනෝ පුබ්බං ගමා ධම්මා (1) ගාථාව) යමෙක් නරක සිතින් යමක් සිතයි ද, එය එසේම කරයිද, කරත්තය පසු පස ඇදී යන කරත්ත රෝදය මෙන් දුක තමා පසුපස ලුහුබඳින බවය. ඊටත් අමතරව උන්වහන්සේ දිට්ඨධම්මවේදනීය කර්මය ගැන ද දේශනා කළහ.

මා එවැනි කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්නේ ඇයි? නූතන කාලයේ එවන් සිදුවීමක් ගැන මිනිසකු ගැන ඔබට කියන්නටය. එහෙත් මේ සිදුවීමට පත් ඒ මිනිසා අද අපට කියන්නේ බණ දහමකි. ඒ එවැනි වැරැදි නොකරන්නැයි එක්තරා විදියක ආයාචනයකි. ඇත්තටම එදා වරදක් කළත් අද ඔහු කිසියම් සමාජ ශෝධකයකු ලෙස මට පෙනෙයි.

බලු කපුටන් වෙලා ඉපදේවි

“මහත්වරුනේ, මං වැරැදි කළ මිනිහෙක්. මට අද ඒක අවබෝධ වෙනවා. අද සමාජයේ හැම තැනම තියෙන්නෙ දූෂණය, අල්ලස. දේශපාලකයන් හැම තැනම කතා කරන්නෙත් ඒ ගැන. අල්ලස් ගත්තොත් අපට ලැබෙන්නෙ හිඟනකම. මේ ගම් තුලානේ හැම තැනම ඇවිදලා හිඟා කාලා පාළු සොහොන් ගෙයකට වෙලා ජීවත්වෙන්න මට සිද්ධ වුණේ ඒකයි... මේ මිනිහා අද හඬ ගා ලෝකයට කියන කතාවය.

පොදු දේපළ හෝ ජනතාවට අයත් දේ කොල්ල කෑවොත් සිදුවන්නේ බලු කපුටන් වී ඉපදෙන්නටය. එය පැරැණි සෙල්ලිපියක සඳහන් කාරණාවකි.

ගලේවෙල කලාවැව මාර්ගයේ බේලියකන්ද පොදු සුසාන භූමියේ මේ මිනිසා ජීවත්වෙයි. ඔහුගේ සයනය වන්නේ ප්‍රදේශයේ මරණාධාර සමිතිය නිර්මාණය කළ සොහොන් ගෙයයි. මෙහි පුරා වසර විසි ගණනක් පමණ කාලයක සිට ජීවත්වන මේ මිනිසා නමින් රණවීර ආරච්චිගේ දොන් ඩේවිඩ්ය.

රුපියල් 300 ක අල්ලසක්

“මුල් කාලයේ මං හිටියෙ හංවැල්ල ප්‍රදේශයේ. මගේ නෑදැයෝ මාව බලන්ඩ කවරදාවත් ඇවිල්ලත් නෑ. මං ඒ අය හොයාගෙන ගිහිල්ලත් නෑ. මං කවරදාවත් කසාද බැඳලත් නෑ. අනුරාධපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස අපට ගොඩාක් රාජකාරි තිබුණා. මිනිස්සු තමන්ගේ හෝටල්වලට පැනලා නඩු දමාවි කියලා අප එන විට හරිම බයයි. සාමාන්‍යයෙන් ඒ පැත්තෙ ඒ කාලෙත් හොර හරක් ජාවාරම් තිබුණා. ප්‍රමිතියට නැති හරකෙක්. (ඒ කියන්නෙ මරන්න නියමිත සතාට කිසිම තුවාලයක් රෝගයක් තිබෙන්න බෑ) මරන්න සූදානම් වෙලාවෙ මට අසුවුණා. මං ඒ සතා මරන්නට ඒ මිනිහට ඉඩ දීලා හරක් කඩ කාරයාගෙන් රුපියල් 300ක් ගත්තා. ඊට පෙරත් මං ඒ වගේ වැඩ කරලා අහු නොවී තිබුණා. මුදල්වලට ගිජුකමට මං ඒ සල්ලි ගත්තෙ. එදා රුපියල් 300ක් කියන්නෙ අද මා හිතන්නෙ රුපියල් 30,000ක් විතර වටිනවා. මගේ නොමනා ක්‍රියාකලාපය ගැන දැන සිටි කෙනෙක් ඔත්තුවක් දීලා මා අල්ලස් ගනිද්දීම නීතියේ රැහැනට කොටු වුණා. මගෙ රස්සාව නැති වුණා. ගමට යන්නත් බෑ ලැජ්ජාවට. ඒ කාලෙ ලැජ්ජාව බය කියන එක ගම්වල ලොකුවට තිබු නිසා මං මේ පළාතෙම හැංගුණා. ඉන්න හිටින්න තැනක් නෑ. අනෙක ඒ වගේ ජරා වැඩක් කරපු මට මා විසින්ම දඬුවම් දිය යුතුයි කියලත් මට හිතුණා. මුදල්වලට ගිජු වෙලා ලැබෙන දෙයින් කුසගිනි නිවාගන්න පුළුවන්කම තිබුණත් මං කරපු කැත වැඩේට මට දඬුවම් ලැබුණා.”

ගොත ගසමින් හෙමින් වචන එක්කාසු කළත් ඔහුගේ හඬ පැහැදිලිය.

අප ඒ මිනිසාගේ පැටිකිරිය සොයා බැලීමු. ඔහු දිවයිනේ නොයෙක් ප්‍රදේශවල රැකියා කළේය. සිංහල හා ඉංගිරිසි භාෂාද්වය පිළිබඳ හසළ දැනුමක් ද ඔහු සතුය. ඩේවිඩ් නම් මේ මිනිසා පිරිවෙන්වල දහම් පාසල්වල දරුවනට දහම් කරුණු කියා දුන් කාලයක් ද තිබිණ. ඒත් ජීවිතය අද නැවතී ඇත්තේ මේ පාළු සොහොන් ගෙයි කොන්ක්‍රීට් බංකුව මතය.

ඔහුගේම කඩමාලු වූ රෙදිපෙරදි හා ටින් බෙලෙක් කීපයක් පමණක් අද ඔහුට තනි රකී. ප්‍රියමනාප ආකාරයට පිරිසුදුව ජීවත්වන ඩේවිඩ් පිස්සෙක් නම් නොවේ. ඔහු ජිවිතය හා ලෝකය ගැන බොහෝ දේ දන්නේය.

“ඇත්තටම මාව බලන්න මේ කනත්තට ආපු ඔබතුමන්ලා බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා.” මං ඉතින්! මේ අවුරුදු විස්සක්ම මේ සොහොනේ තමයි ඉන්නේ. මේ ගමේ හැමෝම වගේ මට කන්න ටිකක් දෙනවා.” ඔහු දත් විලිස්සමින් කියයි. රැල් බුරුල් හැර නැවතත් කතා කරයි.

ටියුෂන් පන්ති

“මගේ උපන් ගම හංවැල්ලෙ, මං රටේ බොහෝ ප්‍රදේශවල හිටියා. අන්තිමට තමයි මෙතෙන්ට ආවේ. ගොඩක් කල් හිටියා පන්සල් පල්ලිවල. අන්තිමට මම සොහොන තෝරාගත්තා. අන්තිම කාලේ මෙතැනම ගෙවන්න.” මළවුන්ගෙන් මට කරදර නැහැ.

‘හොහ් හොහ්’ හඬින් හිනැහෙන හෙතෙම නැවත නැවත එකම දේ කියයි. ඒ වයස නිසා විය යුතුය.

“මං ඉස්සර අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හැටියට තමයි සේවය කළේ. මම කසාද බැන්දෙ නැහැ.”

මම මස්කඩ කාරයෙක්ගෙන් රුපියල් 300ක් ගන්නකොට මස් කඩේකට සතුන් අනුමැතියකට එදා වෙස්වළාගෙන හිටපු නිලධාරී මාව අත්අඩංගුවට ගත්තා. දඬුවම් වින්දා. රැකියාව අහිමි වුණා. ඊට පස්සේ මම තැන තැන ටියුෂන් පන්ති කළා. ඒත් හැම වෙලාවෙම මට මතක් වුණේ මේ කරපු වැරැදි වැඩ හින්දා රුපියල් ශත නිසා මගේ රැකියා අධ්‍යාපනය පවුලේ අය මේ සියල්ලටම හානියක් වුණා කියලයි. ඊට පස්සෙ කල්පනා කළා තනිවම කොහේහරි ගිහින් ජීවත්වෙන්න. කවුරුහරි හිඟමනක් දුන්නොත් කාලා පොතක් පත්තරයක් කියවලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන මැරෙන්න. ඒ මැරෙන ගමන යන්න සුදුසුම තැන මෙතන. ඒ නිසා මම මෙතැන ඉන්නවා.”

සහෝදරයෙක්

මොහොතක් නිහඬව සිටින ඩේවිඩ් මහතා අලුත් දෙයක් කල්පනා වී නැවත මෙසේ කියයි.

මට සහෝදරයෙක් හිටියා. එයා දැන් ඉන්නවද මැරිලාද කියලා දන්නෙ නැහැ. මං සෙව්වෙත් නෑ. එයාලා මාව සොයාගෙන ආවෙත් නෑ. ආයේනම් එන්නෙම නැති වෙයි. සමහර විට පත්තරේ දැකලා වෙනසක් වේද දන්නෙත් නෑ. දැන් මට අවුරුදු හැත්තෑපහක් වෙනවා. ඔය තව ටික දවසක් ඉඳලා මැරිලා යාවි මෙතැනම.”

“මේ සොහොනේ ඉද්දි මම කවදාවත් බයවෙලා නැහැ. හොල්මන් දැකලා නෑ. ඕවා පට්ටපල් බොරු. මම මේ නිදාගත්ත කොන්ක්‍රීට් ලෑල්ලෙ මේ අවුරුදු විස්සට මිනී කීයක්නම් තියලා ඇද්ද? ගමේ කවුරුහරි මැරුණාම භූමදානය කරන වෙලාවට මම මෙතනින් එහාට යනවා. එයාලා මිනී පෙට්ටිය මේ මම නිදියන එකේ තියලා අවසන් ගෞරව දක්වලා වළ දාලා යනවා. ඊට පස්සෙ මම ඇවිල්ලා අතුපතු ගාලා ආයෙත් නිදාගන්නවා. බයක් වෙන්න දෙයක් නැහැනේ. මොකද? මම හිත හොඳට හදාගෙන ඉන්නෙ අවබෝධ කැරගෙන තමයි ඉන්නෙ.”

“මගේ ගම් පළාත්වල විස්තර කියන්න මම අකමැතියි. මොකද? ඒ අය සොයාගෙන ආවොත් ඒක දුකට හේතුවක් වෙනවා.” මම අනුරාධපුර පොලොන්නරුව, කුරුණෑගල ආදි ප්‍රදේශ ගණනාවක පිරිවෙන්වල නොමිලේ ඉංග්‍රීසි උගැන්නුවා.” මොනවා කරන්නද ඉතිහාසයේ රජවරුත් පාරේ අන්තිම කාලේ හිඟාකාලා තියෙනවා. කම්පා වෙන්න දෙයක් නෑ. අපි කරන හැමදේටම ප්‍රතික්‍රියාවක් තියෙනවා.

අපි ඒක දන්නෙ නැතුව වැඩ කරනවා. ඒ නිසා සමස්ත ජනතාවට කියන්නෙ ඒ ගැන අවබෝධයෙන් සේවය කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව එනකල් තමන්ම දන්නෙ නැහැ. අප කරගන්න දේවල්වලට අප විසින්ම වන්දි ගෙවිය යුතුයි. මමත් ඒ වන්දිය තමයි මේ ගෙවන්නෙ. එදා මේ රුපියල් 300 නොගෙන මගේ වැටුපෙන් සතුටු වුණානම් අද මම හොඳ සේවකයෙක්. ඒත් අද මහමඟට වෙලා මරණය එනතුරු මඟ බලා ඉන්නවා.

යටි හිතේ කරදරය

ඔහු සමහර දේ අභිමානයෙන් මතක් කරයි. එහෙත් ඔහුගෙන් අද අල්ලස් ගනිමින් ජීවත්වන රාජ්‍ය සේවකයාට මතු නොව බොහෝ දෙනකුට ආදර්ශ ගත හැකිය. මම ඉගෙන ගත්තෙ කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලේජ් එකේ. අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන් ආපු අයගෙන්. ඒ කාලේ ඉගෙන ගත්තෙ ඔක්කොම ඉංගිරිසියෙන්.

“මොනවා උණත් වැඩක් නැහැ වැරැදි කරලා අපිට හොඳින් ඉන්න බෑ. කවුරු හෝ දැන දැන වරදක් කළාම තමන්ගේ යටි හිත මේක කිය කියා වද දෙනවා. ලෙඩ කරවනවා.

බය ඇති වෙනවා. සමාජයට කොපමණ හොඳ මුහුණ පෙන්වාගෙන පිරුවට ඇඳගෙන ලොකු යාන වාහනවලින් ගියාට වැඩක් නෑ. තමන් හදවතින් මහා දුකක් විඳිනවා. ඒක කාටවත් පේන්නෙ නැහැ. ඒ හදවතින් විඳින දුක තමයි මං මේ විදියට නැති කැර ගන්නේ.

සත්‍ය අවබෝධය

එසේ කියන ඩේවිඩ් මහතා අද පරපුරට මෙසේ කීවේය. එය වේදනාවෙන් පුපුරු ගසන ඔහුගේ හදවත කළ යම්බඳු ආයාචනයක්ද වෙයි.

“ඒ නිසා පුළුවන් තරම් වැරැදි අඩුවෙන් කරන්න. ජනතාවට උදවු කරන්න දැහැමින් ජීවත්වෙන්න. එතකොට මේ වගේ ජීවිත ගෙවන්න වෙන්නෙ නැහැ. ඇත්ත අවබෝධ කරගන්න. උත්සාහ කරන්න.”

පාදක විස්තර හා ඡායාරූප සීගිරිය විශේෂ කංචන ආරියදාස

Comments

පිටු