ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ දෑත් දිගු වේ | සිළුමිණ

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ දෑත් දිගු වේ

පෝක් සමුද්‍ර සන්ධිය හරහා දෙරට එකිනෙකට වෙන්වූව ද ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා ඉන්දියාව වෙයි. මේ නිසාම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආදි යුගයේ සිටම පවතින්නේ මිත්‍රශීලි සම්බන්ධතාවකි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි ලක්නව්හි රාජේෂ් සිං දයාල් පදනම විසින් දායකත්වය සපයන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන Kunwar's Global School හිදී මහත් උත්කර්ශවත් ලෙස ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව දින සැමරුම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 01 සිදු කෙරිණි.

මෙම මිත්‍රත්ව දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දිගුකාලීනව මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙනි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවලින් සම්භාවනීය අමුත්තන්, අධ්‍යාපනඥයන් සහ උගතුන් රැසක් සහභාගී වූ අතර, ජාත්‍යන්තර සහයෝගිතාවේ සහ සංස්කෘතික හුවමාරුවේ නව මංපෙත් පිළිබඳව සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සබඳතාව වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට තිබුණි.

මෙම අවස්ථාවට දේශකයන් වශයෙන් චන්දිගාර්හි අධ්‍යාපන චින්තන නායිකා සහ මාපිය පුහුණුකරු ආචාර්ය සාගරීකා ​​භාටියා, Lcurve අධ්‍යාපන පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රේම් කුමාරි බුධාතෝකි, ECEP නේපාල පදනමේ ආරම්භක සභාපති සහ Alphabet Presschool හි නිර්මාතෘ අධ්‍යක්ෂිකා සහ නේපාලයේ ළදරු පාසල, MD. Hachnain, නිර්මාතෘ විදුහල්පති, EBAC PUBLIC SCHOOL-EPS, Savar, Dhaka, Bangladesh, සහභාගි වූහ. ලංකා නියෝජිතයන් ලෙස සබරගමු පළාතේ ප්‍රධාන ලේකම් සහ සබරගමු පළාතේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දරුවන් මෙම අවස්ථාවට රට නියෝජනය කිරීම පිණිස ඉන්දියාවේ ලක්නව්හි Kunwar's Global විද්‍යාලය වෙත ආරාධනා ලැබ සිටි අතර එම පාසල් දරුවන් සියල්ලන් විසින් සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කරන ලද්දේ දෙරටේ මිත්‍ර සබඳකම් සඳහා නව ප්‍රවේශයක් ලබා දෙමිනි. එසේම කොළඹ ECCE හි දෙමාපිය පුහුණුකරු සහ වෛද්‍යාචාර්ය තෙරේස් අශාන්ති ලක්මාලි සෙනෙවිරත්න මිය, රත්නපුර, ධර්මපාල මහා විද්‍යාලයේ විදුහල්පති P.P.P. කළුබෝවිල, මෙම උත්සවය නියෝජනය කර ඇති අතර ලංකාව නියෝජනය කරමින් මෙම උත්සවයට ආරාධනා කළ සියල්ලන් වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය දක්වන ලද්දේ රාජේසිං දයාල් පදනම විසිනි.

මෙම ගමනේ දැවැන්ත කාර්යයක් වූයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි රාජේෂ් සිං දයාල් පදනම විසින් සංවිධාන කරන ලද නොමිලේ සිදු කරනු ලැබූ මහා පරිමාණ සෞඛ්‍ය වැඩමුළු කඳවුරයි. රාජ්පූර්, භුගත්පුර, සර්සියා පවාර්, භවානි චපර් ආදී අවට ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත පිරිසක් වෛද්‍ය උපදේශන සඳහා සහභාගි වීම සහ ලක්නව් නගරයේ සුප්‍රසිද්ධ රෝහලක් වන චන්දන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පැමිණ මෙහි නොමිලේ ඖෂධ ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදු කිරීම ලංකා නියෝජිතයෝ හට සංවේදී කරුණක් වූහ.

රාජේෂ් සිං දයාල් පදනම විසින් සංවිධානය කරනු ලැබූ මෙම දැවැන්ත වෛද්‍ය කඳවුර විවෘත කිරීම සිදු කිරීම ද ආචාර්ය බන්දුල ගුණවර්ධන අතින් සිදු විය. ලක්නව්හි සංවිධාන කර තිබූ දුගී ජනයා වෙත වියළි ආහාර සහිත සලාක බෙදා දීම සිදුවූයේ ද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා අතිනි.

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය වඩාත් තීව්‍ර වූයේ සාරනාත්වලට, බුද්ධගයාව, ලුම්බිණිය සහ තවත් බොහෝ ස්ථාන වැඳ පුදා ගැනීමට සහ නැරඹීමේ අවස්ථාව රාජේසිං දායාල් පදනම විසින් සම්පූර්ණ අනුග්‍රහය මත අමාත්‍යවරයා ඇතුළු සහභාගි වූ සියලු දෙනා වෙත ලබාදීමෙනි. ඉදිරියේ දී බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට ඉන්දියාවේ එම ප්‍රදේශ කරා යන සියලු බැතිමතුන්ට එම ගමන් පහසු කිරීම උදෙසා කෘෂි නගර් හි ගුවන්තොටුපළක් ඉදිකිරීමට ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තීරණය තිබීම ද අගය කළ යුතුය.

අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරයෙහි පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මැදිහත් පාර්ශ්වයක් ලෙස කටයුතු කිරීම සහ මූලගන්ධ කු‌ටි විහාරස්ථානය අසල වෙ‍ෙළඳ නගරයක් ඉදි කිරීමක් සම්බන්ධව සහ ඉන් යම් බලපෑමක් මූලගන්ධ විහාරයට පැන නඟින්නට ඉඩක් ඇතිවෙයි ද යන ගැටලුව සොයාබලන්නැයි මහාබෝධි සංගමයේ ස්වාමීන් වහන්සේලා විසින් අමාත්‍යවරයා වෙත කළ ඉල්ලීමක් පිළිබඳව ද අවධානය යොමු කරමින් ඉන්දීය අගමැති සහ ලංකා ජනාධිපති මෙන්ම අගමැති යන පාර්ශ්ව ත්‍රිත්වය සමඟ සාකච්ඡා කොට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ළඟා කරදීම සඳහා අමාත්‍යවරයා මැදිහත් වීමට හැකිවීම මෙම ගමනෙහි සිදු වූ සුවිශේෂී සිදුවීම් වේ.

Comments