පන්සල මල් ශාලාවක් කර අසරණයන්ට සරණ වන බුද්ධ පුත්‍රයාණෝ | සිළුමිණ

පන්සල මල් ශාලාවක් කර අසරණයන්ට සරණ වන බුද්ධ පුත්‍රයාණෝ

රැයක් දවාලක් නැති කාර්යබහුලත්වයෙන් පිරි වත්මන් ජන ජීවිතය අති ධාවනකාරි ගමනක නිරත වන්නේය. ඇති නැති බොහෝ දෙනා මේ කාර්යබහුල ජීවිතයේ කොටස්කාරයෝය. මේ අතර දෛනික ආහාරය උපයා ගැනීමට දැඩි ජීවන අරගලයක් කරන්නෝ බොහෝය. ජන ජිවිතය වෙළාගත් දැඩි ආර්ථික පීඩනය නිසාවෙන් තමන්ගේම වූ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හෝ සිදුකර ගැනීමට අතේ සොච්චමක් නැතිව ළතැවෙන්නෝද මේ අතර බොහෝය. සියල්ලටම රුපියල් ශත හරස් වී ඇත්තේය. මුදල් ඉස්මතුව ඇත්තේය. එවන් සමාජ වටපිටාවක් තුළ කොළඹ නගරාසන්නයෙන් ඇසෙන මේ කතාව සිතන්නට බොහෝ දේ ඉතිරි කරන්නා සේම රුපියල් ශතවලින් පීඩාවට පත්වූ තවත් ජන ජීවිතවලට යම් අස්වැසිල්ලක් ගෙන දෙන්නට සමත් වී ඇත්තේය.

මේ බුදු රදුන් දෙසූ දහම අනුව යමින් උතුම් සද්කාර්යයක නිරත වන බුදු පුතෙකි. උන් වහන්සේගේ මේ සේවාව සොයා සිළුමිණ අපි ගියේ කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ වූ එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානයටය. එහි බණ ශාලාවේ මවකගේ මෘත දේහයක් තැන්පත් කර ඇත්තේය. ඥාතීන්ට සිටියේ මියගිය කාන්තාවගේ දියණියක් පමණි. අසරණ වූ ඇයට එදින මේ බුදු පුතුන් පිහිට වී ඇත්තේ සිය මවගේ දේහය පන්ස‍ෙල් තබාගෙන අවසන් කටයුතු සිදු කිරීමටය. සියලු වතාවත් සිදුවන්නේ පන්සලේ වියදමිනි. මේ වන විට මේ ශාලාවේ එවන් වූ අවසන් කටයුතු 80ක් පමණ සිදු කර ඇත්තේය. මේ ඒ සද්ක්‍රියාවට පාදක වූ කතාවය.

මෘත දේහයක් තැන්පත් කිරීමට තරම්වත් ගෙයක් දොරක් නැති අසරණ මිනිසුන්ට ඒ සඳහා තම විහාරස්ථානයේ ඉඩ පහසුකම් සලසා දෙමින් ද, කොළඹට දුරබැහැර ප්‍රදේශවල සිට තම අසනීප තත්ත්වයන් සදහා ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් වෙත පැමිණෙන ජනතාවගේ ඉඳුම් හිටුම් අවශ්‍යතා සලසා දෙමින් මේ සද්කාර්යයට උර දෙන්නේ කොළඹ 08, බොරැල්ල, කිතුල්වත්ත, එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන පූජ්‍ය තෙල්වත්තේ නන්දතිස්ස හිමියන්ය.

එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානය ලෙස හැඳින්වෙන මෙම විහාරස්ථානය පිහිටි භූමිය පිළිබඳව වන ඉතිහාසයද ඉතා රසවත් කතාවකි. බොරැල්ල කනත්තටත්, කාසල් වීදියේ කාන්තා රෝහලටත් මැදිව පිහිටි මෙම විහාරස්ථානය එෆ්.ආර්. සේනානායකාරාම විහාරස්ථානය ලෙස හඳුන්වන්නේ ඒ බිම සේනානායක පරපුරට අයත් වූ බිමක් වන බැවිනි. මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ වැඩිමහල් සොයුරු එෆ්.ආර්. සේනානායකයන් පිළියන්දල කොළමුන්න වලව්වේ ‘‘මිනිරන් රජ්ජුරුවෝ’’ යැයි ප්‍රසිද්ධියක් ඉසිලූ ඩී.සී.ජී. ආටිගල මුදලිතුමාගේ බාල දියණිය ඇලන් සමඟ විවාහ වී සිටි අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ පෙරළිකාර දේශපාලනඥයකු ලෙස හැඳින්විය හැකි හිටපු වෙළෙඳ ඇමැති ආර්.ජී. සේනානායක එම යුවළගේ පුතුය.

පූජ්‍ය තෙල්වත්තේ නන්දතිස්ස හිමියන්ට බොරැල්ලේ පිහිටි මෙම ඉඩම පූජා කරන ලද්දේ ආර්.ජී. සේනානායකයන්ගේ බිරිඳ වූ එරින් සුබසිංහ සේනානායකයි. තෙල්වත්තේ නන්දතිස්ස හාමුදුරුවෝ එකල ගාල්ල, දඩල්ලේ ශ්‍රී ශෛලමධ්‍යාරාමයේ වැඩ සිටි අතර එරින් සේනානායක ගාල්ලේ සංචාරයකට ගිය අවස්ථාවකදී එම ප්‍රදේශයේ ජීවත් වන අයෙකු විසින් 2004 දී සුනාමි අවස්ථාවේ ජීවිත බේරා ගැනීමට මුහුදට පැන්න නන්දතිස්ස හිමියන්ගේ මාහැඟි උදාර කාර්යයන් පිළිබඳ තොරතුරු රැසක් ඇය හමුවේ විස්තර කර තිබුණි. එම විස්තර අසා දැනගත් ඇය උන් වහන්සේ ගැන තව තවත් පැහැදුණේ තෙල්වත්තේ නන්දතිස්ස හිමියන් විසින් ලක්ෂ පහළොවක් වටිනා තම මෝටර් රථය විකුණා අසරණ ගැබිනි මවක් වෙනුවෙන් නිවසක් සාදා දුන් විස්තරය ගැනද දැන ගැනීමෙනි.

මේ සියලු විස්තර දැන ගැනීමට ලැබීමෙන් තෙල්වත්තේ නන්දතිස්ස හිමියන් විසින් සිදු කරනු ලබන සාසනීක, ආගමික මෙහෙවර පුළුල් කිරීම සඳහා තමන් සතු ඉඩම එම හිමියන්ට පූජා කිරීමට එරින් සේනානායක සිතා ගත්තාය. ඒ අනුව 2009 වසරේදී එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානය පිහිටි මෙම ඉඩම තෙල්වත්තේ නන්දතිස්ස හිමියන් වෙත පරිත්‍යාග කෙරුණි.

“මට මේ ඉඩම ලැබුණට පස්සේ මම කල්පනා කළා මේ ඉඩම පිහිටි භූමියේ සාම්ප්‍රදායික පන්සලක් හදනවද එහෙමත් නැත්නම් මිනිස්සුන්ට උදව් උපකාර කරන පුණ්‍යස්ථානයක් හදනවද කියන එක. ඒ ගැන වඩාත් හොඳින් කල්පනා කෙරුවට පස්සේ මම හිතුවා පන්සලට එහා ගිය මහජනතාවට සේවය කරන්න පුළුවන් ස්ථානයක් මෙහි හදන්න. 2019 වසර අවසන් වන විට මෙම ගොඩනැගිල්ල හදලා ඉවර කරලා තිබුණේ. කොරෝනා වසංගතය රට පුරාම ව්‍යාප්ත වෙලා වසංගතයක් බවට පත් වෙලා තිබුණ වෙලාවේ බොහෝ දෙනෙක් මල් ශාලාවල, රෝහල්වල කරදරයකින් ඉන්න ආකාරය මම දැක්කා. ඔය අතරෙදි තම පුතා මිය ගිය එක්තරා අම්මා කෙනෙක් ඇවිල්ලා මාව හමු වෙලා අඬන්න ගත්තා. ඒ මිය ගිය පුතාට අවසන් ගෞරව දක්වලා පාංශුකූලය දෙන්න තැනක් නැති බව කියමින්. ඒ වෙලාවේ මම ඒ අම්මට කිව්වා දුක් වෙන්න, කරදර වෙන්න එපා අම්මේ එන්න අපේ මේ විහාරස්ථානයට. අපි ඒ කටයුතු හොඳින්ම සිදු කරමු කියලා. අන්න එහෙම තමයි මේ පිංකම මම ආරම්භ කළේ.”

නන්දතිස්ස හිමියන් ප්‍රකාශ කරන අන්දමට එදා එම පාංශකූල කටයුතු සිදු කරමින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ මේ වන විට ලොකු ගමනක් පැමිණ තිබේ. ඒ අනුව මේ වන විට දුප්පත්, අසරණ ජනතාවට පිහිටක් වන අංග සම්පූර්ණ මල් ශාලාවක් ලෙසම මෙම විහාරස්ථානය කටයුතු කරයි.

“මේ වටාපිටාවේ තියෙන අනෙකුත් සියලු පන්සල්වල බුදු පිළිම, ‍ෙචෙත්‍යය,බෝධිය ආදී වැඳුම් පිදුම් සිදු කරන දේ තිබුණත් අපේ මේ පන්සලේ ඒ කිසිවක් නෑ. මෙතනින් සිදුවෙන්නේ හුදෙක් සමාජ සේවයක් පමණයි. විවිධ හේතු නිසා මරණයට පත් වන එහෙත් එම මරණවලට ගෞරවාන්විත අවසන් කටයුතු ඉටු කිරීම සඳහා දුප්පත්කම, අසරණකම බාධාවක් ලෙස ඉස්මතු වන අවස්ථාවලදී එම මරණවලට ගෞරවාන්විත ලෙස අවසන් කටයුතු ඉටු කිරීම සදහා අප මෙම ස්ථානයේ අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.”

ඒ අනුව නිවසේ හෝ මල් ශාලාවක මරණයක් සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වූ විට මෙම විහාරස්ථානයේ ඊට අදාළ පහසුකම් සැපයේ. මහජන ගෞරවය සඳහා විහාරස්ථාන ගොඩනැගිල්ලේ දේහය තබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර අවමංගල්‍යයට දුරබැහැර ඉඳලා එන ඥාතීන්ට අවමංගල්‍ය කටයුතු අවසන් වන තුරු නේවාසිකව රැඳී සිටීමටත්, එසේ රැඳී සිටින කාලය තුළ උදේ, දවල්, රාත්‍රී ආහාරපාන හා තේ, සිසිල් පැන් ආදිය කෝකියකු ලවා පිළියෙල කර අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන අයට සියලුම සංග්‍රහ කටයුතුද නොමිලේ සිදු කිරීමටත් අවශ්‍ය පහසුකම් සපයා ඇත. එපමණක් නොව පාංශකූලය සිදු කිරීම සඳහා අවශ්‍ය කළමනා සැපයීමද එලෙසින්ම නොමිලේ සිදු කෙරේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම ස්ථානයේදී මෙම අවමංගල්‍ය පහසුකම් සලසන්නේ බෞද්ධාගමිකයින්ට පමණක් නොවීමය. හින්දු, කතෝලික, මුස්ලිම් අයගේ අවසන් කටයුතු සදහා කිසිදු භේදයකින් තොරව අවශ්‍ය පහසුකම් සපයා ඇත. එසේම එම ආගම් හී පූජ්‍ය පක්ෂයටද මිය ගිය අයගේ අවසන් චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම සඳහා මෙම ස්ථානයේදී හැකියාව තිබේ.

“බුදුරජාණන් වහන්සේ ‘සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා‘ කියා වදාලා තියෙනවා. ඒ අනුව සියලු සත්ත්වයින් කෙරෙහි මෙත් සිත පතුරවමින් සියලුම ජනවර්ග සිංහල,දෙමළ, මුස්ලිම්, හින්දු ඕනෑම ජනවර්ගයක් කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කරනවා. සංහිඳියාව ඇති කරන්නට මේ ස්ථානය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. ඇත්ත වශයෙන්ම අපගේ මේ ස්ථානයෙන් සේවාවන් රැසක් සිදු වෙනවා. දුෂ්කර පළාත්වලින් කොළඹට පැමිණෙන අයට නවාතැන් ගන්නට තැනක් නෑ. ඒ වගේ දුෂ්කරතා තියෙන අයට මේ ස්ථානයට පැමිණ නොමිලේ නවාතැන් පහසුකම් සලසාගන්න පුළුවන්. ඒ වගේම රෝහල්වල සිටින රෝගීන් සඳහා ප්‍රතිකාර ගන්න දුර පළාත්වලට ගිහින් නැවත එන්න බැහැ. ඒ නිසා ඔවුන්ට ඇවිල්ලා මෙහේ නැවතිලා ප්‍රතිකාර ගන්න පුළුවන්. සුව වන තුරු කෑම බීම නොමිලේ නවාතැන් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.

මේ විහාරස්ථානය සතු මේ ශාලාව ටියුෂන් පන්ති පැවැත්වීම සඳහා ලක්ෂ තුන,හතර වැනි මුදලකට අපෙන් ඉල්ලනවා. නමුත් මම මෙය ලබා දෙන්නේ නැහැ. මොකද මෙය සේවාවක් සිදු කරන ආයතනයක් පමණක් නිසා. අද කොළඹ තියෙන හැම පන්සලකම බුදු පිළිමය ලඟ බුදුහාමුදුරුවන් ළඟ පිං කැටයක් තියලා තියෙනවා. නමුත් අපේ පන්සලේ කිසිදු තැනක පිං කැටයක් නැහැ. ඒ වගේම මෙහි සේවය ගන්න කෙනෙක්ගෙන් අපි මුදල් අය කරන්නෙත් නැහැ”.

මේ වන විට තෙල්වත්තේ නන්දතිස්ස හිමියන් මූලිකව සිදු කරනු ලබන මෙම සියලු පිංකම් හා සද්කාර්යයන් පිළිබඳව ජනතාවගේ අවධානය මෙන්ම ප්‍රසාදයද පළ වී ඇති අතර තම කටයුතු සඳහා උදව්,උපකාර කරන දායකයින්ගේ සහයෝගය ඇතුව තම විහාරස්ථානය මූලිකව ආහාර බැංකුවක් පිහිටුවා ඇති බවත් එම ආහාර බැංකුවට ලැබෙන විවිධ ආහාර පරිත්‍යාග මෙම කටයුතු සිදු කිරීමේදී තමන්ට ශක්තියක් ලබා දී ඇති බවත් නන්දතිස්ස හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

පූජ්‍ය තෙල්වත්තේ නන්දතිස්ස ස්වාමීන් වහන්සේ පිළියන්දල විද්‍යා ශක්ති පිරිවෙනේ සිංහල විෂය ඉගැන්වීමද සිදු කරනු ලබන අතර තමන් වහන්සේ මෙවැනි මාහැඟි පුණ්‍යකර්ම සිදු කිරීම සඳහා පෙලැඹුණේ තම මාපියන්ගෙන් හා පවුලේ අයගෙන් ලැබුණු ආභාෂය නිසා බවද උන් වහන්සේ පැහැදිලි කළේය. “බුදු හාමුදුරුවන්ගේ ධර්මය සමාජගත කරන්න මූලික වූ මම නිර්මාණය වුණේ මගේ අම්මා තාත්තා නිසා. විශේෂයෙන්ම මව්පියන්ගෙන් ලැබුණු ගුණධර්ම තමයි මට පිහිටලා තියෙන්නෙ. ඒවා ඔපමට්ටම් කළේ මගේ ගුරුවරුන්”.

“මගේ පියා දෙවරහන්දිගේ සැක්මන් ද සිල්වා. මව නල්ල හන්දිගේ ලීලාවතී. දරුවන් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා තමා මම. මට අක්කලා දෙන්නයි, අයියලා හතරදෙනෙකුයි ඉන්නවා. මගේ පියා පොරමඩුල්ල මහා විද්‍යාලයේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හා මහනුවර ධර්මාශෝක විද්‍යාලයේ සේවය කළ අධ්‍යාපන නිලධාරියෙක්. මගේ වයස අවුරුදු 12 ලබද්දී කුල දරුවෙකුව මහණ කරන පිංකමක් දැකපු අම්මා උනන්දු වෙලා තමයි මාව ස‍ාසනයට භාර කළේ. මට දැන් වයස අවුරුදු 55ක් . මීට පෙර මම බළපිටිය ගොරකාගොඩ ධම්මාරාම විහාරස්ථානයේ හා වැලිතර අඹරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ සිටි අතර මගේ ගුරු ස්වාමීන් වහන්සේලා වූයේ අකුරණ විමලතිස්ස හා අහුන්ගල්ල ගුණානන්ද යන ස්වාමීන් වහන්සේලායි.”

අප එම විහාරස්ථානයට යන විටද එම ශාලාවේ මිය ගිය කාන්තාවකගේ දේහයක් තැන්පත් කර තිබුණි. එහිදී එම කාන්තාවගේ සමීපතමයෙකු සඳහන් කළේ මෙම විහාරස්ථානය මඟින් අවමංගල්‍ය පහසුකම් සලසා ගැනීමට හැකි වීමෙන් තම පවුලේ අයට විශාල සහනයක් ලැබුණු බවයි.

“මිනිය තියා ගන්න විතරක් නෙවෙයි, කෑම බීම හැම දෙයක්ම නොමිලේ. ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරුවෝ මේ කරන්නේ අති විශාල පිංකමක්. අපිට මේ දේහය මල් ශාලාවක තියා ගන්න වුණා නම් කෑම,බීම,පාංශුකූලය මේ හැම දේටමත් එක්ක අඩුම තරමින් ලක්ෂ දෙක,තුනක වියදමක් දරන්නට සිදු වෙනවා.”

පූජ්‍ය තෙල්වත්තේ නන්දතිස්ස ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කරන අන්දමට මේ සේවාව ආරම්භ කර ඇත්තේ 2021 සැප්තැම්බර් 3 වැනි දිනය. මේ දක්වා මෘත දේහ 80ක අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය දායකත්වය එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානය මඟින් සලසා දී තිබේ. ඉන් 61 දෙනෙකු සිංහල වන අතර 17 දෙනෙකු දෙමළය. තවත් දෙදෙනෙකු මුස්ලිම්ය. පළාත් වශයෙන් බස්නාහිර පළාතේ මෘත දේහ 58කට පහසුකම් සලසා දී ඇත්තේය. දකුණ හා ඌව 3ක් බැගින්ද, නැ‍ෙඟනහිර හැර අනිකුත් පළාත්වලින් මාත දේහය බැගින්ද මේ කාලයේ නොමිලයේ සේවාව ලබාදී ඇත්තේය.

තමාගෙන් හා තම විහාරස්ථානයෙන් වන සේවය අගයමින් නාරාහේන්පිට යුද හමුදා රෝහලේන් දිනපතා උදේ, දවල් දානය ලබා දෙන බව පැවසූ නන්දතිස්ස හිමියන් පොඩි ස්වාමීන් වහන්සේලා දෙනමක් හා අත් උදව්වට සිටින දෙදෙනෙකු සමඟ මෙම විහාරස්ථානයේ පස් දෙනෙකු සිටින බවද සඳහන් කළේය. මෘත දේහ තැන්පත් කර තැබෙන ශාලාව ඉදි කිරීම සඳහා ජෙට්වින්ග් ට්‍රැවල්ස් සහ මාගා කන්ස්ට්‍රක්ෂන් යන ආයතන තමන්ට බොහෝ උදව්, උපකාර ලබා දුන් බවද කෘතවේදී ලෙස සඳහන් කළ ස්වාමීන් වහන්සේ තමන්ගේ අරමුණ හැකි උපරිමයෙන්ම අසරණ,දුප්පත් ජනතාවට පිළිසරණක් ලබා දීම බවද එහිදී ජාති, ආගම්, කුල-මල, දේශපාලන පක්ෂ-පාට භේදයකින් තොරව අසරණ, දුප්පත් ජනතාවට එම පිහිට, පිළිසරණ ලබා ගත හැකි බවත් ඒ සඳහා 076 0688988 දුරකතන අංකයට ඇමැතීමෙන් අදාළ අයට මේ පහසුකම ලබාගත හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments