
“යථාර්ථවාදී ප්‍රවණතාවෙන් පසු අධියථාර්ථවාදය තරම් නිර්මාණ සාහිත්‍යයේ මනුෂ්‍යයා ප්‍රතිනිර්මාණය සඳහා විභවයන් මතු කළ අනෙක් ප්‍රවණතාවක් නැති තරම් ය. අවිඥානක චිත්තය හා සවිඥානක චිත්තය මතුකොට දැක්වීමෙහි ලා මේ කලා ප්‍රවර්ගයෙන් වූ මෙහෙය අතිමහත් ය. වඩාත් සුන්දර වූ නිර්මාණ සංකල්ප දෙකක් වූ සිහිනය හා විචිත්‍ර චින්තාව සාහිත්‍යයේ ප්‍රකාශන අවයව දෙකක් ලෙස භාවිතාවට ආවේ ද අධියථාර්ථවාදී ප්‍රවණතාව හරහා යැයි කියන්නට පුළුවන.”
මේ උපුටා ගැනුම ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා ලියූ සම්මානිත කෙටිකතා සංග්‍රහයක් වන ‘අසිරිමත් වැඩබිම’ පොතේ පෙරවදනෙනි.
මේ ලේඛකයා රුචි කරන සාහිත්‍ය ප්‍රවර්ගය පිළිබඳ පැහැදිලි අදහසක් එහි වෙයි. කෙටිකතාකරුවකු හා නවකතාකරුවකු හැටියටත් විචාරකයකු හැටියටත් ඉහළ නමක් දිනා සිටින ටෙනිසන් පෙරේරා සිංහල සාහිත්‍යයෙහි නූතන අවධිය ආලෝකවත් කළ ප්‍රමුඛ ලේඛකයෙකි. නූතන අවධිය යැයි අදහස් කළේ පේරාදෙණි සාහිත්‍ය යුගයෙන් පසු අවධියයි.
සිංහල සාහිත්‍යයෙහි මුල් බැසගෙන සිටි යථාර්ථවාදී නවකතා රීතිය සමතික්‍රමණය කරමින් එයට නූතනවාදී ලක්ෂණ එක් කළ ලේඛකයන්ගේ සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් අඩු ය. සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන සහ ටෙනිසන් පෙරේරා එයින් ප්‍රමුඛ වෙති.
ඔවුන්ගේ ආභාසය ඇති ව හෝ නැති ව සාහිත්‍යකරණයෙහි නියැළෙන ඊළඟ පරපුරක් ද කැපී පෙනේ. කේ. කේ. සමන් කුමාර, පියල් කාරියවසම්, නිශ්ශංක විජේමාන්න යනු එම පරපුරේ දීප්තිමත් නිර්මාණකරුවෝ ය.
ටෙනිසන් පෙරේරාගේ සාහිත්‍ය භාවිතයෙහි විශේෂත්වය වන්නේ අධියථාර්ථවාදී රීතිය හුදු අත්හදා බැලීමකට සීමා නොකර කතුවරයාගේ ආත්මීය ගනුදෙනුවක් බවට පත් කිරීම ය. එනයින් අධියථාර්ථවාදී රීතිය ඔහුට කිසි විටෙක විසිතුරු ඇඳුමක් බවට පත් නොවී ය. හැත්තෑ පස් වැනි සපුරන ඔහු තමන් ජීවත්වන ප්‍රදේශයෙහි රසික ජනතාවගේ බුහුමනට ලක් වන මොහොතෙහි ඔහු පිළිබඳ පාඨකයකු හැටියට සටහනක් තැබීම අගනේ නැයි කල්පනා කළෙමි.
ඔහු ලියූ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය තහනමට ලක් විය. ඒ ඉරණමට මුහුණ දුන් ප්‍රථම සිංහල ලේඛකයා ටෙනිසන් පෙරේරා ය. චිරන්තන ආකල්ප ප්‍රශ්න කිරීම ඔහුට ඇති චෝදනාවකි. තම කෘතිය වාරණයට ලක්වීම ඔහුට වෙස් වළාගත් ආශිර්වාදයක් වූවා වැන්න. ඊට හේතුව ඔහු අනලස් ව නිර්මාණකරණයෙහි යෙදීම ය. රජයේ මුද්‍රණාලයෙහි සෝදුපත් කියවන්නකු හැටියට සේවය කර විශ්‍රාම ගිය ඔහු වත්මනෙහි වෘත්තිය ලේඛකයකු හැටියට තම ජීවනය අර්ථවත් කරයි.
ඔහු පසුගිය වසරේ පළ කළ ‘මහා රාවණ’ නවකතාව මෙවර ෆෙයා වේ සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත් විය. එය ඔහුගේ සාහිත්‍ය දිවියේ කඩඉමක් වැන්න. අධියථාර්ථවාදී නවකතාකරුවකු හැටියට මනා පරිචයකින් යුතු ව සාහිත්‍යකරණයෙහි යෙදෙන ඔහු මහා රාවණ කෘතිය සඳහා පැරැණි නවකතා ආරක් වන ලිපි මඟින් චරිත නිරූපණය කිරීමේ ක්‍රමය භාවිත කරයි. එමඟින් මිනිස් සිතෙහි ඇතුළාන්තය ගවේෂණය කරයි.
අතීතයට එක් වූ කාල පරාසයක දුරස්ථ අත්දැකීම් කිහිපයක් නිර්මාණාත්මක පරිකල්පන දහරාවක් බවට පත්කිරීමේ දී ටෙනිසන්ගෙන් මතු වන්නේ දුර්ලභ ප්‍රතිභාවකි.
අධියථාර්ථවාදී නවකතාව සිංහල සාහිත්‍යයෙහි පැලපදියම් කිරීමට සමත් වූ අංක එකේ නවකතාකරුවා ටෙනිසන් බව ලියා තබන්නේ ඔහු කෙරෙහි ඇති වූ අප්‍රමාණ ගෞරවයකිනි.
අධියථාර්ථවාදී නවකතාව ලෝක සාහිත්‍යයට අමුත්තෙක් නොවේ. එහි උපත සිග්මන් ප්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණය තෙක් දුරට යයි. එමෙන් ම මාක්ස්වාදය, සාංදෘෂ්ටිකවාදය ප්‍රංසයේ ලෙතුමෝනත්ගේ කලා සම්ප්‍රදාය නූතන චිත්‍ර කලාව යනාදී ක්ෂේත්‍ර ගණනාවක සංකලනය සහ ස්පර්ශය අධියථාර්ථවාදී නවකතාවට බලපෑවේ ය.
ගාර්ෂියා මාර්කේස්, ප්‍රාන්ස් කෆ්කා, ජේම්ස් ජොයිස් යනාදිහු යථාර්ථවාදයේ සීමා සමතික්‍රමණය කළ ලේඛකයෝ වෙත්. අවිඥානයේ සැඟවී ගත් සිතුවිල්ල හෙවත් ෆැන්ටසිය (Fantasy) නවකතාවේ උල්පත බවට පත් කිරීමේ අභ්‍යාසය ටෙනිසන් පෙරේරා මනාව ප්‍රගුණ කළේ ය.
මහා රාවණා කෘතිය විශිෂ්ටත්වයට පත් වන්නේ ධාරණා ගොඩ නැගීම, ආකෘතියේ සියුම් බව, බහු ශාබ්දිකතාව යනාදී විවිධ ලක්ෂණවල මනා ඒකමිතියෙනි.
අවිඥානක ස්වභාවයට සාහිත්‍ය ජවයක් ලබා දීම මඟින් අන්තර්ගතය හා ආඛ්‍යානය පෝෂණය කිරීම ටෙනිසන් පෙරේරාගේ සාහිත්‍ය භාවිතයයි.
“අධියථාර්ථවාදයේ සිහිනය එන්නේ අවිඥානක චිත්තයේ හා සවිඥානක මිනිසා අතර කෙරෙන ගනුදෙනුවක් පරිද්දෙනි.”
ටෙනිසන් පෙරේරා සඳහන් කරයි. නවකතා විස්සකට අධික සංඛ්‍යාවක් ලියා ඇති ටෙනිසන්ගේ සාහිත්‍ය ගමන ඉදිරිගාමී එකකි. ඔහු තරම් කැපවුණු සාහිත්‍යකරුවෝ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි විරල වෙත්.
වරක් ඔහුගේ ලියමින් සිටි නවකතාවක ප්‍රධාන කොටස පරිගණකයෙන් මැකී ගියේ ය. ඇති වූ සිත් වේදනාව මත ටික දිනක් රෝහල් ගත ව සිටීමට ඔහුට සිදු වූ බව දන්නේ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ටික දෙනෙකි. එමෙන් ම ඔහු සැබෑ ලේඛකයකු හා පාඨකයකු හැටියට ප්‍රවීණ හා නවක සාහිත්‍යකරුවන් සමඟ සුහද සබඳතාවක් පවත්වාගෙන යන හිතෛෂි මිත්‍රවරයෙකි. තරාතිරම නොබලා පොත් ජනගත කිරීම්වලට සහභාගි වන ඔහු ලේඛකයන් දිරිමත් කරයි.
2000 වර්ෂයේ දී මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ පොත තහනමට ලක් වූයේ සිරිල් ගාමිණී පියනමගේ පැමිණිල්ලක් හේතුවෙනි. මේ ක්‍රියාදාමයට එරෙහි ව මහජන පුස්තකාලයේ රැස්වීමක් පැවැත්විණ. ඊට සහභාගි වූ ටෙනිසන් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට ම ඔවුන් විවේචනයට ලක් කළේ ය; ඒ පිළිබඳව පුවත්පත්වලට ලීවේ ය. අන්‍ය ලේඛකයන්ගේ කෘති සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ කැක්කුමකි. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටී.
දුර්ලභ ගණයේ මනුෂ්‍යත්වයකින් හෙබි මේ අපූර්ව ලේඛකයා සිංහල සාහිත්‍යයෙහි තැබූ මුද්‍රාව කිසිදා පැරැණි නොවනු ඇත.