ලියන්නට පෙර කාටුන් චරිත ඇඳි මාර්කේස් | Page 2 | සිළුමිණ

ලියන්නට පෙර කාටුන් චරිත ඇඳි මාර්කේස්

‘ගබෝ’ යනුවෙන් මිතුරන් අතර ප්‍රකට වූ ගබ්‍රියෙල් ගර්ෂියා මාර්කේස් 17 වැනි සියවසෙන් පසු ස්පාඤ්ඤයේ බිහි වූ විශිෂ්ටතම ලේඛකයා ය. සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ නම කියැවෙන්නේ මාර්ක් ට්වේන්, චාල්ස් ඩිකන්ස් වැනි ලේඛකයන් සමඟ ය. මාර්කේස්ගේ One Hundred Years of Solitude (සියත්වසක් හුදකලාව) කෘතිය පමණක් භාෂා 25කට පරිවර්තනය වූ අතර පිටපත් මිලියන 50ක් අලෙවි විණි. 1982 දී සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ මර්කේස්ට ය. 1927 මාර්තු 6 වැනිදා කොලම්බියාවේදී උපන් ඔහු 2014 අප්‍රේල් 17 වැනිදා මෙක්සිකොවේ මෙක්සිකෝ නගරයේ දී මිය ගියේය.

කුඩා මාර්කේස්ට ජීවිතයේ මුල් අවුරුදු කිහිපයේදී වඩාත් සමීප වූයේ මව හෝ පියා නොවේ. ඔහු හැදී වැඩුණේ සීයාගේත් - අත්තම්මාගේත් සෙවණේ ය. සීයා දින 1000 යුද්ධයට සහභාගිවූ යුද විරුවකු වූ අතර දක්ෂ කතාන්දර කියන්නෙකි. අත්තම්මා ද කතාන්දර කීමේ අද්විතීය දක්ෂතාවක් දැක්වීය. මේ දෙදෙනාගේ කතාන්දර මාර්කේස්ගේ පසු කාලීන සාහිත්‍ය ජීවිතයට විශාල ආභාසයක් වූ බව පැහැදිලි වේ. මාර්කේස්ගේ වැඩිම ජනප්‍රියත්වයක් ලැබු නවකතාව වන One Hundred Years of Solitude ලිවීමේදී එම ආභාසය ඔහුට තදින්ම ලැබී තිබේ. ඔහුගේ නිර්මාණ ඔස්සේ ප්‍රකට වන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය පවා ඒ ඔස්සේ බිහි වූවක් ලෙස සැලැකීම වරදක් නොවේ. මර්කේස් කියැවීමට බෙහෙවින් රුචි විය. ඔහුගේ ලේඛන ශෛලිය සාම්ප්‍රදායික සාහිත්‍ය නිර්මාණවලට වඩා වෙනස් වූ අතර එය වඩාත් සමාන වූයේ සීයාගේ කතාන්දර ශෛලියමය. නීතිය හැදෑරීමෙන් පසු මාර්කේස් යොමු වූයේ පුවත්පත් කලාව දෙසට ය. ඔහු තීරු රචකයෙක් ලෙස මෙන්ම වාර්තාකරුවකු ලෙස ද El Heraldo පුවත්පතට සේවය කළේය. මාර්කේස් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේ නැත. එහෙත්, ලේඛන ජීවිතයේ ඔහු දැක්වූ විශිෂ්ටත්වය හේතුවෙන් කොලම්බියා සරසවිය ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනැමීය. මාධ්‍යකරුවකු ලෙස ඔහු පුවත්පත් කිහිපයකම සේවය කර තිබේ.

මාර්කේස් කැපවීමෙන් බැඳුණු වාමවාදියෙකි. මාර්කේස් හා ෆිදෙල් කස්ත්‍රෝ අතර සමීප එහෙත් සියුම් ලෙස වෙනස් මිත්‍රත්වයක් තිබිණි. ඔහුගේ දේශපාලන මෙන්ම මතවාදී අදහස් ද හැඩ ගැස්වුණේ සීයාගේ කතාන්දර ඔස්සේය. ඔහු අධිරාජ්‍ය විරෝධියෙක්් ද විය.

සිය පළමු නවකතාව වන Leaf Storm එළිදැක්වීම සඳහා ප්‍රකාශකයකු සොයා ගැනීමට මාර්කේස්ට සත් අවුරුද්දක් බලා සිටීමට සිදු විය. අන්තිමේදී එය පළ වූයේ 1955 දීය. ඔහු සලකන අන්දමට එය ඔහුගේ ප්‍රියතම කෘතියකි. කුඩා කල තමන් හැදී වැඩුණු සීයා ගේ නි‍ෙවස පසුබිම් කරගනිමින් නවකතාවක් ලිවීමට මාර්කේස් තුළ ආසාවක් පැවැතියේ 18 හැවිරිදි වියේ පටන්මය. මේ සිහිනය සැබෑ කරගැනීමට ඔහු තමන් සමඟම අරගලයක යෙදිණි. එක් දිනෙක පවුලේ අයත් සමඟ වාහනයෙන් ගමන් කරමින් සිටියදී ඊට අවස්ථාව ලැබී ඇති බව ඔහුට කල්පනා විය. ඔහු කළේ ඔවුන් ඇකාපුල්කෝ ප්‍රදේශයට ඇරලවා ආපසු නි‍ෙවසට ඒමයි. ඒ විගස ඔහු ලිවීම ඇරැඹීය. ඔහු සිය මෝටර් රථය විකුණා දැම්මේ ඒ මුදලින් තමා ලිවීමේ යෙදෙන කාල සීමාව තුළ පවුලේ අයට ජීවිතය ගෙන යා හැකි බැවිනි. එහෙත් සිතුවාට වඩා වැඩි කාලයක් ඊට ගත විය. මාස 18ක් තිස්සේ එක් දිනක් නෑර ඔහු ලිවීමේ යෙදිණි. මාර්කේස්ගේ බිරිය මස් වෙළෙන්දාට, බේකරි හිමියාට ණය විය. ගෙවල් හිමියාට ද ණය වීමට සිදු විය. මේ වකවානුවේ දී මාර්කේස්ට හමු වූ යුවළ දෙකක් සමඟ ඔහු සෑම රාත්‍රීයකදීම එතෙක් ලියු දෑවල ප්‍රගතිය ගැන සාකච්ඡා කළේය. ඒ ඔස්සේ කතාව යළිත් වෙනස් විය. අන්තිමේදී, 1967 දී One Hundred Years of Solitude යනුවෙන් එය ප්‍රකාශයට පත් විය. මේ නවකතාව වාණිජ මට්ටමින් ද වඩාත් සාර්ථක වූ කෘතියයි. නොබෙල් ත්‍යාගය ඇතුළු සම්මාන කිහිපයක්ම ඒ වෙනුවෙන් පිරිනැමිණි. එහි කවරයේ ඡායාරූපයේ කුඩා දරුවා සමඟ පෙනී සිටි සීයා මාර්කේස්ගේම සීයාය. කෙටිකතා 12 කින් සමන්විතව, 1992 දී ප්‍රකාශයට පත් වූ Strange Pilgrims කෘතියේ එන සෑම කතාවක් මඟින්ම මව් රටින් බැහැරව ගත කිරීමට සිදුවන ජීවිතයක ඇති අමුත්ත පිළිබිඹු වේ. සැබෑ ලෙස නොවුණ ද කාල්පනිකව කොලම්බියාවෙන් බැහැරව මර්කේස්ට වසර ගණනාවක් ජීවත් විය. මෙය ඇතුළත් කෙටිකතා ඔහු ලියා තිබුණේ 1970 ගණන් සහ 1980 ගණන් වලදීය.

තරුණ වියේදී රැකියාවල නිරත වීම නිසා මර්කේස් ලිවීමේ යෙදුණේ රාත්‍රී කාලයේදීය. ඔහු පවසා ඇති පරිදි දුම්වැටි 40ක් පමණ ලියන අතරතුර ඔහු දවා අළු කළේය. එහෙත්, ක්‍රමයෙන් ඔහු දුම්පානය අත්හැරියේය. උදෑසන 9.00 ට පමණ ලිවීම අරඹා සවස 3.00 පමණ විට නතර කළේය. ඔහුට ලිවීමට හොඳින් උණුසුම ඇති කාමරයක් වුවමනා විය. හඬවල් මෙන්ම සීතල ද ඔහුගේ ලිවීමට බාධාකාරී සාධක විණි. හෙමිංග්වේ ආදර්ශයට ගනිමින් මාර්කේස් ද ලිවීම ඇරැඹු පසු එය නතර කළේ එතැනින් ඔබ්බට කතාව ගොඩනැඟී තිබියදී පමණි. එවිට පහසුවෙන්ම නතර කළ තැන් පටන් එය ඇරැඹීමට හැකි වේ.

පොතක පළමු වාක්‍යය ලිවීමේදී මාර්කේස් බෙහෙවින් සැලකිලිමත් විය. ඊට වෙහෙස විය. ඔහු පවසා ඇති පරිදි කෘතියේ ශෛලිය පිළිබඳ සලකන විට පළමු වැකිය පර්යේෂණාගාරයක් මෙනි. කෘතියේ සැකිල්ල මෙන්ම ඉතිරිය ද ගොඩනැ‍ඟෙන්නේ ඒ මත බව ඔහුගේ අදහසය. One Hundred Years of Solitude ලිවීමට ඔහු ගත කළේ දෙවසරකට ආසන්න කාල සීමාවකි. එහෙත් එය ලිවීම සඳහා යතුරු ලියනය ඉදිරිපිට ඉඳගැනීමට පෙර ඔහු වසර 15ක් පමණ ගත කර තිබුණේ එය ගැන සිතමිනි, එය ගොඩ නඟමිනි. ඔහුගේ තවත් කෘති සම්බන්ධයෙන් ද මෙය එලෙසින්ම අදාළය. ඒවා ලිවීමට පෙර ඔහු ඇතැම් විට වසර 25 - 30 ගත කර තිබුණේ එය ගැන සිතමිනි. මාර්කේස් භාවිත කළේ ඉලෙක්ට්‍රොනික් යතුරු ලියනයකි. කිසිවක් වැරැදුණු විට හෝ යතුරු ලියන දෝෂ ඇති විට ඔහු කළේ කඩදාසිය ඉවත් කර අලුත් කඩදාසියකින් නැවත ඇරැඹීමය. පිටු 120 කින් යුතු කතාවක් ලිවීමේදී තමා පිටු 500 ක් වුව නාස්ති කිරීමට ඉඩ ඇතැයි ඔහු පවසා තිබේ. බොහෝ ලේඛකයන්ට ඉලෙක්ට්‍රොනික යතුරු ලියනය නොරිස්වුවද මාර්කේස් ඊට දැඩිව ප්‍රිය කළේය. ඔහු කීවේ එය ඔහුට හොඳ ආහාර වේලක් බඳු බවය.

පොතක් ලියන අතරතුර බොහෝ‍ දේ කතා කළ ද ලියන්නේ කුමක්දැයි ඔහු අන් අය සමඟ සාකච්ඡා කළේ නැත. ලේඛකයන් යනු නිරන්තරයෙන් හුදෙකලා පිරිසක් බව මාර්කේස්ගේ කල්පනාවයි. ඔහු හරියට මහ මුහුද මැද නෞකාවක තනිවූ නාවිකයකු මෙනි. මිහිපිට ඇති හුදෙකලාම රැකියාව එයය. ලිවීමේදී ද කිසිවකුටත් ඔබ ලියන්නේ කුමක්ද යන්න අරබයා උපකාර කළ නොහැකි බව ඔහු පවසා තිබේ. මාර්කේස් තියුණු සිනමා රසිකයෙක් ද විය. සිනමාවෙන් ලේඛකයකුට ශිල්පීය ක්‍රම ගැන උගත හැකිදැයි වරෙක විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ ඇත්තටම එය එසේදැයි තමන් නොදන්නා බව කියමිනි. එහෙත්, තමාට නම් සිනමාව ප්‍රතිරූප ගැන සිතීමට ඉගැන්වූ බව ඔහු කීවේය. One Hundred Years of Solitude කෘතියට පෙර තමා ලියු සෑම කෘතියකම ඇති චරිත කැමරා කෝණ හා රූප රාමු තුළින් දැකිය හැකි බව දැන් තමාට වැටහෙන්නේ යැයි ද ඔහු පවසා තිබිණි.

ඔහුගේ නවකතාවල දෙබස් ඇත්තේ අඩුවෙනි. ඊට ඔහුව දැක්වූ හේතුවක් තිබේ. ස්පාඤ්ඤ දෙබස් සාමාන්‍ය ජීවිතයේදී හොඳ වුවද නවකතාවකට ඒවා ගැළපෙන්නේ නැතිවීම එයයි. මාර්කේස් ලිවීම පටන් ගැනීමට පෙර කරන්නේ ඇඳීමය. ඔහු කාටුන් ඇඳීමට පටන් ගනී. ලිවීමට හෝ කියැවීමට පෙර කාටුන් චරිත ඇඳීම ඔහු පාසල් වියේ පටන්ම කළ දෙයකි. දවසේ ආරම්භක කාර්යය වශයෙන් පුවත්පත් කියැවීම ද මාර්කේස්ගේ සිරිතකි. ඒවායේ ඇති තොරතුරු ඔහුට ප්‍රයෝජනවත් විය. වෙහෙස වී වැඩෙහි යෙදෙමින් යම් ආතතියකින් පසුවන විට පවා මාර්කේස්ගේ මුහුණේ සිනහවක් නැඟිණි. කොපමණ කාර්යබහුල වුවද දරු පවුල සමඟ ගත කිරීමට ද ඔහු කාලය සොයා ගත්තේය. ඔහු පවුල සැලකුවේ සිය ජීවිතයේ වැදගත් කොටසක් ‍වශයෙනි.

Comments