පේරාදෙණි ගුරුකුලයට අවමන් කිරීම චින්තනයේ දුබලතාවකි | Page 2 | සිළුමිණ

පේරාදෙණි ගුරුකුලයට අවමන් කිරීම චින්තනයේ දුබලතාවකි

සංවාදයට විවෘතයි

“මම පේරාදෙණි ගුරුකුලයේ වැරැද්දක් දකින්නේ නැහැ” යන හිසින් යුතුව,පසුගිය දෙසැම්බර් 04 වැනිදා සුමුදු චතුරාණි ජයවර්ධන විමල් ජී. බලගල්ලේ මහාචාර්යතුමා සමඟ පවත්වන ලද පිළිසඳරට පිළිතුරු වශයෙන් බන්දුපාල ගුරුගේ විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරකි.

“කාම සංස්කෘතියකට අත වැනූ පේරාදෙණි ගුරුකුලය” නමින් 2017 ක් වූ ජනවාරි මස 01 වැනි ඉරු දින සිළුමිණ පුවත්පතේ බන්දුපාල ගුරුගේ මහතා විසින් පළ කරන ලද ලිපිය කියවීමෙන් පසු මේ ලිපිය ලිවීමට මම අදහස් කළෙමි. පේරාදෙණි ගුරුකුලයෙන් සිංහල සාහිත්‍යයේ හා නාට්‍යයේ උන්නතිය උදෙසා විශාල සේවාවක් සිදුවූ බව මා දරන අදහස ය. පේරාදෙණි ගුරුකුලය වඩාත් ප්‍රචලිත වූයේ 1950 ගණන්වල අගභාගයේ දී හා 1960 ගණන්වල මුල් භාගයේ දී ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් මේ ගුරුකුලයේ නායකත්වය දරන ලදී. සිරි ගුනසිංහ, ආරිය රාජකරුණා, නන්දසේන රත්නපාල, විමල් දිසානායක, සරත් අමුණුගම ප්‍රමුඛ කොටගත් පේරාදෙණි සරසවියෙන් උපාධි ලබාගත් පිරිසක් මේ ගුරුකුලයට අයත් වූහ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මුල් යුගයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි හා මහාචාර්ය ඇම්. බී. ආරියපාල දෙපොළ 1950 ගණන්වල දී සරච්චන්ද්‍රයන් පේරාදෙණිය සරසවියේ සිංහල අංශයට අනුයුක්ත කරගැනීමට මූලික වූහ. මෙයින් පෙනෙන්නේ ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා සරච්චන්ද්‍රයන්ගේ කුසලතාවලට දක්වා තිබෙන කැමැත්තයි. මහාචාර්ය බලගල්ලගේ ප්‍රකාශය පරිදි ඩී. ඊ. හෙට්ටිආරච්චි පේරාදෙණිය ගුරුකුලයට අයත් නො වේ. එසේනම්, මහාචාර්ය හෙට්ටිආරච්චි විසින් සරච්චන්ද්‍රයන් සිංහල අංශයට අනුයුක්ත කරගැනීමට කටයුතු කළේ මන්ද යන ගැටලුව මතු වේ. සැබවින් ම, එයින් ගම්‍ය වන්නේ සරච්චන්ද්‍රයන් සාහිත්‍ය හා නාට්‍ය ක්ෂේත්‍රයන්හි කරන ලද පෙරළිය සම්බන්ධයෙන්, මහාචාර්ය හෙට්ටිආරච්චි මහත් ප්‍රසාදයකින් සිටි බව ය.

සරච්චන්ද්‍රයන්ගෙන් කාම සංස්කෘතියට අතවැනීමක් සිදුවී ඇතැයි පවසන බන්දුපාල ගුරුගේ මහතාට, ඔහුගෙන් දේශීය නාට්‍ය කලාවේ පෝෂණයට වූ සේවය අමතක වීම පුදුමයට කරුණකි. සරච්චන්ද්‍රයන්ගේ මනමේ, පබාවතී, වෙස්සන්තර, මහාසාර, සිංහබාහු වැනි නාට්‍යවලින් ධ්වනිත වන්නේ මිනිස්කමේ අගයයි. එහි ඇති සංකීර්ණ ස්වභාවයයි. මේ නාට්‍යවල එන ගීතවලින් ධ්වනිත වන්නේ සරච්චන්ද්‍රයන් තුළ තිබූ විශිෂ්ට කවිත්වයයි. ඒ වන තෙක් එතුමාට විරුද්ධව අදහස් දැක්වූ කොළඹ යුගයේ කවියකු වූ චන්ද්‍රරත්න මානවසිංයෝ ද “මනමේ” නාටකය නරඹා ප්‍රසාදයට පත් වූහ. සරච්චන්ද්‍ර සිංහල ගැමි නාට්‍ය පිළිබඳව පර්යේෂණ කොට “සිංහල ගැමි නාටක” කෘතිය රචනා කරයි. කෝලම්, සොකරි හා නාඩගම් පිළිබඳව අධ්‍යයනය කොට ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය දෙසට එතුමා ක්‍රමයෙන් නැඹුරු වේ. දේශීය සංස්කෘතියට ගැළපෙන නාට්‍ය සම්ප්‍රදායක් ආරම්භ කළ නිසා 1956 වේදිකාගත කරන ලද “මනමේ” නාට්‍යය එතුමා ජීවතුන් අතර නැතත් වේදිකාගත කෙරෙයි. එදා මෙන් අද ද විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ නාට්‍යය නරඹන්නේ එය මෙරට සංස්කෘතියට බද්ධ වී තිබෙන නිසා ය.

සිංහල සාහිත්‍ය විචාරයේ පෝෂණය උදෙසා ද සරච්චන්ද්‍රයන්ගෙන් විශාල මෙහෙයක් සිදු විය. සාහිත්‍ය විද්‍යාව, සිංහල නවකතාවේ ඉතිහාසය හා විචාරය යන ග්‍රන්ථ ලියමින්, සරච්චන්ද්‍ර සිංහල සාහිත්‍ය විචාරයේ පෝෂණයට විපුල සේවාවක් කළේ ය. පෙරදිග හා අපරදිග සාහිත්‍ය විචාර සිද්ධාන්ත උපයෝගී කරගෙන අපට ගැළපෙන සාහිත්‍ය විචාර ක්‍රමයක් ගොඩනැඟීමට එතුමා දායක වෙයි. ඔහු භාවිත කළ සාහිත්‍ය විචාර ක්‍රමයෙන් නිර්මාණයේ රසයට ප්‍රධාන තැනක් ලැබිණ. පේරාදෙණි ගුරුකුලයට අයත් නන්දසේන රත්නපාල, හා විමල් දිසානායක, සරච්චන්ද්‍රයන් භාවිත කළ විචාර ක්‍රමය නවකතා, කෙටිකතාවලට පමණක් නොව, කාව්‍ය විචාරය සඳහා ද සාර්ථක ලෙස යොදා ගත්හ. නාට්‍ය, නවකතා, කෙටිකතා හා කාව්‍ය විචාරය සඳහා ස්වාධීන විචාර ක්‍රමයක් හඳුන්වා දීමේ ගෞරවය සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලයට හිමි වන්නේ ය.

සරච්චන්ද්‍රයන්ගේ නවකතාවන්හි දෘෂ්ටියේ යම් යම් අඩුපාඩු තිබුණ ද, මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, වැනි නවකතාවලින් පෙනෙන්නේ ඔහු විසින් උපයුක්ත බසෙහි ඇති කාව්‍යාත්මක ස්වරූපයයි. එම කාව්‍යාත්මක බස නිසා නවකතාව කලාත්මක භාවයෙන් උසස් ය. “මළවුන්ගේ අවුරුදු දා” නවකතාවේ නිරූපිත “දෙවෙන්දරා සං” පරාජිත චරිතයක් සේ සලකා නවකතාව අසාර්ථක නිර්මාණයක් සේ බැහැර කළ නොහැකි ය. සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නවකතාවෙන් පෙනෙන්නේ ද ඔහුගේ නිර්මාණාත්මක කුසලතාවයි. පේරාදෙණි ගුරුකුලයේ මාර්ගෝපදේශකයා වූ සරච්චන්ද්‍රට නවකතා ලිවීමේ දී දේශීය අත්දැකීම් මෙන් ම, විදේශීය අත්දැකීම් ලබා ගෙන සාහිත්‍ය නිර්මාණ කිරීමේ ලේඛන නිදහස ඇත. යමක් හොඳනම්, එහි ආභාසයෙන් ලිවීමට බටහිර ද, පෙරදිග ද යන්න සෙවීම අවශ්‍ය නො වේ.

සරච්චන්ද්‍රයන්ට පහර එල්ල කළ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඇතැම් නවකතාවල ද අඩුපාඩු තිබෙන බව බන්දුපාල ගුරුගේ මහතාට පෙන්වා දිය යුතුය. මාර්ටින් වික්‍රමසිංහ මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකි. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන නවකතාවලින් එය සනාථ වෙයි. එහෙත් ඔහු ලියූ විරාගය නවකතාවේ නිරූපිත අරවින්ද ද පරාජිත චරිතයකි. අරවින්ද විරාග පුද්ගලයෙක් නො වේ. රාගය සඟවා ගෙන සිටින්නෙකි. මාර්ටින් වික්‍රමසිංහයන් විසින් අවසාන කාලයේ දී රචිත “බවතරණය” නවකතාවට එකල විශාල ලෙස විචාර එල්ල විය. සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට හානියක් වන අයුරින් නවකතාවේ සිදුහත් චරිතය නිරූපණය කර තිබිණ. බන්දුපාල මහතා විසින් ඉහළින් වර්ණනා කර තිබෙන වික්‍රමසිංහයන්ගේ ඇතැම් නවකතාවලින් ද හානියක් සිදුවී තිබෙන බව මෙයින් ගම්‍ය වේ.

පේරාදෙණි ගුරුකුලයෙන් කරුණාසේන ජයලත්ට කිසියම් ආකාරයක අසාධාරණයක් සිදුවූ බව සත්‍යයකි. එතුමා පේරාදෙණි ගුරුකුලයට එරෙහි ව නැඟී සිටීම සාධාරණ ය. ඔහුගේ ඇතැම් නවකතා ඉතා සාර්ථක ය. ඒවා ජනප්‍රිය නවකතා සේ සලකා බැහැර කිරිම පේරාදෙණි ගුරුකුලයෙන් වූ වරදකි. එහෙත් ඔහුගේ “ගොළු හදවත” නවකතාවේ නිරූපිත ‘සුගත්’ ද පරාජිත චරිතයකි. ප්‍රේමය බිඳ වැටෙන විට සුගත් සුරාවේ පිහිට සොයන්නේ ය. මෙයින් ගම්‍ය වන්නේ පේරාදෙණි ගුරුකුලයෙන් පමණක් නොව, එම ගුරුකුලයට එරෙහි ව ඉදිරිපත් වූ ලේඛකයන්ගෙන් ද, ඇතැම් අවස්ථාවල සාහිත්‍යයට හා සමාජයට කිසියම් අන්දමකින් හානියක් සිදුවූ බවයි. ධනාත්මක චරිත වෙනුවට “සුගත්” වැනි පරාජිත චරිත නිරූපණය කිරීම නිසා එවැනි නවකතා රස විඳින්නන් ද, තමාටත් නොදැනීම නිෂ්ක්‍රීය පුද්ගලයන් බවට පත් වෙයි.

කලක් පේරාදෙණිය ගුරුකුලයට සම්බන්ධව සිටි ගුණදාස අමරසේකරයන් විසින් රචිත “යළි උපන්නෙමි” වැනි නවකතාවලින් ද සිංහල සාහිත්‍යයට හානියක් සිදු විය. එය ඔහු ම පිළිගනියි. එහෙත් ඔහු ප්‍රතික්ෂේප කළ නවකතා යළි යළිත් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරයි. මෙයින් සිදුවන්නේ ද සමාජයට හානියකි. වර්තමානයේ ආචාර්ය අමරසේකර මෙරට සමාජය හා බද්ධ වුණ නවකතා හා කෙටිකතා රචනා කරයි. එහෙත් ඒවායෙන් බොහොමයක සමාජය විවරණය වුව ද, සාහිත්‍ය රසය අතුරුදන් වී ඇත. මුල් යුගයේ රචිත නිර්මාණවල තිබුණ ව්‍යංග්‍යාර්ථවත් බස් වහර, අමරසේකරගේ පසුකාලීන නිර්මාණයන් බොහොමයක දක්නට නැත.

පේරාදෙණි ගුරුකුලයෙන් සිංහල පද්‍යයේ උන්නතියට ද සැලකිය යුතු සේවාවක් සිදු විය. පේරාදෙණි ගුරුකුලය නිසඳැස් පද්‍යවලට ප්‍රමුඛත්වය දුන් අතර කොළඹ යුගයේ කවීහු එළිවැට - සඳැස් පද්‍යවලට ප්‍රමුඛස්ථානය දුන්හ. සිංහල කවිය නව මඟකට ගෙන ගිය සිරි ගුනසිංහයන් විසින් රචිත මස් ලේ නැති ඇට, අබිනික්මන හා රතු කැකුල වැනි පද්‍ය සංග්‍රහවලට 1950 ගණන්වල කොතරම් සාහසික විචාර එල්ල වුවත්, අද ඒවාට එවැනි විචාර එල්ල වන්නේ නැත. වස්තු විෂයයේ පමණක් නොව ආකෘතියේ ද නව අත්හදා බැලීම් ගුනසිංහගේ කාව්‍ය සංග්‍රහයන්හි දක්නට ලැබේ. එතුමාගේ “සත් සමුදුර” වැනි චිත්‍රපටයක් නැරඹු ප්‍රේක්ෂකයකුට පේරාදෙණි ගුරුකුලයට අවමන් කළ නො හැකි ය. සිංහල, නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම, සාහිත්‍ය ක්ෂේත්‍රයේ ස්වර්ණ ම යුගය බිහිකිරීමට සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලය දායක වූ බව කිය යුතු ය. එම ගුරුකුලයට අයත් නොවූ නිර්මාපකයන්ගෙන් ද එවැනි ම සේවයක් වූ බව අපගේ අදහසයි. යමකු පේරාදෙණි ගුරුකුලයට අවමන් කරන්නේ නම්, එය ඔහුගේ චින්තනයේ දුබලතාවක් මිස පේරාදෙණිය ගුරුකුලයේ අඩුපාඩුවක් නොවන්නේ ය

Comments