අද ප්‍රේමකීර්තිලා ඉන්නෙ හැංගිලා | Page 2 | සිළුමිණ

අද ප්‍රේමකීර්තිලා ඉන්නෙ හැංගිලා

තුරුණු මඬල

රූපවාහිනී ඒ ශ්‍රේණියේ නිවේදකයකු වන වජිර ජයවර්ධන වසර 1999 / 2000 තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවෙන් කලඑළි බට තුරුණු සන්නිවේදකයෙකි. වසර 2013 සහ 2014 වසරේ හොඳ ම රූපවාහිනී නිවේදකයාට හිමි රයිගම් , සුමති හා රාජ්‍ය සම්මාන ත්‍රිත්වය පිට පිට ම දෙවතාවක් ලබන හා නිර්දේශ වන ඔහු ගුවන්විදුලිය, රූපවාහිනිය මෙන් ම දැන්වීම් ක්ෂේත්‍රයේ ද සිය දැනුම් වපසරිය ව්‍යාප්ත කරන අතර මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අලෙවි අංශයේ සේවය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරියකු ද, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාධාරියකු ද වන වජිර මේ දිනවල සිත Fm නාලිකාවේ දිනපතා විකාශය වන සිත්තම් රෑ වැඩසටහන මෙහෙයවන්නේ ය. මෙවර තුරුණු මඬල සංලාපය වජිර ජයවර්ධන සමඟ ය.

• එදා ගුවන්විදුලියෙන් අප ඇසූ කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති, කේ. ඩී. කේ., ලලිත් එස්. මෛත්‍රීපාල වැන්නන්ගේ වෘත්තීය නිවේදන කලාව සහ ඔබ නියෝජනය කරන පරපුරේ නිවේදන කලාව අතර සුවිශාල පරතරයක් දක්නට ලැබෙනවා නොවේද?

වර්තමානය වනවිට ජනමාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් බිහිවී තිබෙන පරිසරයක හා ඒවායේ ගුණාත්මක භාවයන් පිරිහෙමින් තිබෙන අවදියක නිවේදන කලාව පමණක් උඩුගම් බලා යාමක් අපේක්ෂා කරන්න බැහැ. එහෙත් ඔබ සඳහන් කරන විශිෂ්ට කුලකයේ නිවේදකයන්ගේ මඟ ගත් වර්තමාන නිවේදක පරපුරකුත් නැතුවා නොවෙයි. එහෙත් එවැන්නන් වෙනුවෙන් හරවත් වැඩසටහන් නිර්මාණය වෙනවාද? එවැන්නකට මාධ්‍යයන්හි ඉඩක් තිබෙනවාද? කෝ එවැනි රසිකාගාරයක්? උසස් රසවින්දනයක් තිබෙන රසික ප්‍රජාවට අහන්න වැඩසටහන් තිබෙන්නේ අතළොස්සයි. හැම මාධ්‍යයක් ම ගලන අතට ගමන් කරනවා. දක්ෂයාට නිසි තැන ලැබෙන මාධ්‍ය වපසරියක් නෑ. අප සමඟ උඩුගම් බලා යන්නන්ට සහයට හබල් ගහන්න ඉන්නේ අතළොස්සයි. මේක ගුවන්විදුලි මාධ්‍යයට පමණක් නොවෙයි හැම මාධ්‍යයකට ම පොදු දෙයක් වෙලා. ඒ කාලෙ සතිඅන්ත පුවත්පතක තිබූ දේ සහ අද තිබෙන දේ අතර ලොකු වෙනසක් තිබෙනවා. මාධ්‍ය හා ජනප්‍රිය රැල්ල විසින් පුම්බන්නේ මොනවාද? ඒ නිසා අද ප්‍රේමකීර්තිලාට හැංගිලයි ඉන්න වෙලා තියෙන්නේ.

ඒ නිසා දැන් අලුතින් මාධ්‍ය ක්ෂේත්‍රයට එන නවකයන්ට පරමාදර්ශ තිබෙන්නේ අතළොස්සයි. මා මේ ක්ෂේත්‍රයට එනවිට මගේ පරමාදර්ශ වුණේ සමන් අතාවුදහෙට්ටි, හේමනලින් කරුණාරත්න, ජැක්සන් ඇන්තනී, බුද්ධදාස විතානාච්චි වගේ අයයි. අද එවැන්නන් බිහි වුණත් ඒ අයට මාධ්‍ය තුළ ඉඩක් නෑ. හැමෝ ම වාණිජවාදී ගමනක් යන්නේ.

• ප්‍රේමකීර්ති ද අල්විස් වැන්නන් තමන්ගේ වැඩසටහන් වෙනුවෙන් විශේෂ අධ්‍යයනයන්හි නිරත වුණා. සමාජයේ විවිධ සාධක සොයා ගියා. ඒ නිසා ඔවුන්ගේ කතාබහක ගැඹුරක් දක්නට ලැබුණා. වර්තමානයේ ඒ අධ්‍යයන කාර්යය මඟහැරී තිබෙන බවක් දක්නට ලැබෙනවා.

සමස්තය එසේ නොවුණත් එවැනි බහුතරයක් තමයි අද දකින්න ලැබෙන්නේ. පෞද්ගලිකව මා පූර්ව සූදානමකින් තොරව කිසිදු වැඩසටහනකට යන්නේ නෑ. ඒ වෙලාවට කටට එන නිවේදනයක් කරන අයට පැවැත්මක් නෑ. රසිකයා බුද්ධිමත් නිසා ඒ අය හොඳින් හඳුනනවා, අධ්‍යයනයකින් තොරව මේ වැඩේ කරන්නේ කවුද කියලා. නන්දොඩවන්නකුට නිවේදන කලාව හඳුනා ගන්න බැහැ. ඒත් පෞද්ගලික මාධ්‍යවල ඉල්ලුම තිබෙන්නේ දොඩමලු මිනිසුන්ටයි. ඒ අය සිතනවා ගුවන්විදුලි මාධ්‍යය කියන්නේ විහිළු සැපයීම කියලා. මුළු සමාජය ම ඒ අයට විහිළුවක් වෙලා. ලස්සනම කතාව තමයි ඒ අය දන්නවා ඔවුන්ගේ විහිළුවලට ශ්‍රාවකයාට සිනහ නොයන වගත්. ඒ නිසා ඒ අය ම පසුබිමෙන් සිනා හඬක් ප්‍රචාරය කරනවා. මේ වගේ අතිශය ග්‍රාම්‍ය තැනකට නිවේදන වෘත්තිය ඇදවැටිලා තියනවා. මේ සියල්ල ජනප්‍රිය සංස්කෘතියට පමණයි අදාළ වන්නේ.

• අතීත අධ්‍යාපන ක්‍රමය තුළ සමස්ත සිසු පරපුරට ම සකස්කඩය, බුද්ධ ගජ්ජය කියැවීම ආදියෙන් සිංහල උච්ඡාරණය පුහුණු කළා. වර්තමානයේ තිබෙන ජනසන්නිවේදන පාඨමාලා තුළවත් මෙවැනි උච්ඡාරණ පුහුණුවක් සිදු වන්නේ නැහැ. ගුණාත්මක නිවේදක වෘත්තිකයන් බිහිකිරීම උදෙසා ඔබ නියෝජනය කරන පරපුරටත් කාර්යභාරයක් තිබෙනවා නොවේද?

කලාකරුවකු වීම සඳහා සහජය‍, සතත අභ්‍යාසය, වාසනා ගුණය හා සජ්ජන ඇසුර අවශ්‍යයි. අද වන විට සහජය හා වාසනා ගුණය පමණක් තබාගෙන නිවේදක වෘත්තියේ නිරත පිරිස වැඩියි. වෘත්තීය නිවේදකයකු වීම සඳහා අවශ්‍ය කරන පුහුණුව ලබා දීමක් පාසල හෝ විශ්වවිද්‍යාලයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.ඒ නිසා දැන් මුදල් ගෙවා ඒ සඳහා වන පාඨමාලාවන්ට සහභාගි විය හැකියි. මා ක්ෂේත්‍රයට එන කාලයේත් මෙවැනි පාඨමාලා තිබුණා. රූපවාහිනී නිවේදකයකු වීම සඳහා වූ පාඨමාලාවක් හැදෑරීමට මට මුදල් නොතිබීම නිසා මගේ ඒ ගමන ප්‍රමාද වුණා. මේවා මුදලට සීමා වීම තුළ ගුණාත්මකභාවයේ ගැටලුවක් පවතිනවා. Newlink.lk කියන ආයතනය මෑතකදි මට මුණගැසුණා. ඒ ආයතනයේ අනුග්‍රහය ඇතිව නිවේදක වෘත්තියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න නවකයන්ට අපි නොමිලයේ පාඨමාලාවක් කරගෙන යනවා. ජාතික පුස්තකාලයේදි සෑම සෙනසුරාදා දිනයක ම මේ ත්‍රෛමාසික පාඨමාලාව පැවැත්වෙනවා. ඒ සඳහා නවකයන්ට සහභාගිවෙන්න පුළුවන්. මේ අවගමනය පිළිබඳ ව කතා කරලා පමණක් ප්‍රමාණවත් නෑ. ඒ සඳහා විසඳුම් සෙවිය යුතු වෙනවා. ඇතැම් කෙනෙක් සිතනවා නිවේදකයකු වීම සඳහා හොඳින් කියවා තිබීම පමණක් ප්‍රමාණවත් කියලා. එහෙත් නිවේදන කලාව තුළ සිදුවන්නේ ඒ කියැවීම මනාකොට නිසි තැනට යෙදීමයි. අවස්ථාවට ගැළපෙන දේ තෝරා ගැනීමේ ඥානය නිවේදකයා සතු විය යුතුයි.

• කවිය, නවකතාව, ගීතය වැනි කලාවන්ට ආවේණික විචාරයක් තිබෙනවා. එහෙත් නිවේදන කලාවට එවැනි විචාරයක් නොමැතිකමත් එහි ගුණාත්මක බවට බලපානවා නොවේද ?

සත්‍ය වශයෙන් ම විචාරයක් තිබෙනවා නම් මීට වඩා හොඳ නිවේදක පිරිසක් බිහිවෙනවා. එහෙත් බොහෝදුරට තිබෙන්නේ විවේචනයි. එයත් සදය විවේචන නොවෙයි, නිර්දය විවේචනයි. ඔබ පවසන ආකාරයේ වෙනත් කලාවන්ටත් හොඳ විචාර ක්‍රමයක් තිබෙනවා යැයි මා සිතන්නෙ නෑ. අපට දැන් සමස්තයක් විදියට විචාරයක් නෑ. තිබෙන්නේ හිතවත්කම්වලට ලියන ලියැවිලි. නිවේදක වෘත්තිය තුළත් ඇතැම්විට ප්‍රවීණයන් පවා නිවේදකයකු අසන ඕනෑම පැනයකට පිළිතුරුදීලා, නැත්නම් අසන්න ඕනෑ ප්‍රශ්න ටික කලින් ලබාදීලා අස්සවගෙන සෑහීමකට පත්වෙනවා. වසර 2007 දී මා මහාචාර්ය රාජ් සෝමදේවයන් සමඟ රූපවාහිනියේ කළ සාකච්ඡාවක් පිළිබඳ ව ලියනගේ අමරකීර්ති මහතා පුවත්පතකට විචාරයක් ලියා තිබුණා. එහි ඔහු මගේ ප්‍රශ්න ඇසීමේ ක්‍රමය පිළිබඳ ව විවේචනයක් කර තිබුණා. මා ඔහු සමඟ මගේ අඩුපාඩු පිළිබඳ ව සාකච්ඡා කළා. ඔහුගෙන් මා ඉතා වටිනා උපදෙස් ලැබුවා. මෙවැනි විචාරයක් නිවේදන කලාවට අවශ්‍යයි.

ඉස්සර ගුවන්විදුලියේ නිවේදකයන් ශ්‍රේණිගත කිරීමක් තිබුණා. රූපවාහිනියේත් මොහාන් සමරනායක මහතා සභාපති ව සිටින කාලයේ නිවේදකයන්ගේ වැඩසටහන් සමීක්ෂණය කර ශ්‍රේණිගත කිරීමක් වුණා. එවැනි විධිමත් නියාමනයක් මේ වෘත්තියට අවශ්‍ය වෙනවා. වියපත් වූ පමණින් ප්‍රවීණයන් ය යන මිනුම්දඬු වැරදියි. ඒ සඳහා නිවැරදි නියාමනයක් සහ විචාරයක් අවශ්‍යයි.

• ඒ වගේ ම එක් විෂයකට සීමා නොවූ බහුවිධ විෂය දැනුමත් නිවේදකයාට අවශ්‍යයයි නේද ?

පසුගිය කාලයේ ගුවන්විදුලි මාධ්‍යයේ නිවේදකයන්ට ලන්සු තැබීමක් සිදුවුණා. එහිදී විහිළු කරන මුඛරිකම තිබෙන අයට හිතන්න බැරි තරම් මිලක් නියම වුණා. කාවහරි හිනස්සන්න පුළුවන්නම් ඒක නිවේදක වෘත්තිය ලෙස පිළිගැනීම වගේ එකක් තමයි එතනදි සිදු වුණේ. ඒක කණගාටුවට කරුණක්. ඒ නිසා එකක් නෙවෙයි එකක්වත් නොදැනත් නිවේදකයකු විය හැකි කාලයක අපි ඉන්නේ. ඒ නිසා එකක්වත් දැනගෙන ක්ෂේත්‍රයට එනවානම් හොඳයි. මොකද ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්.

Comments