හිත අස්සේ හීන | සිළුමිණ

හිත අස්සේ හීන

"කොහෙ යන්නද උඹ මේ නැගිට්ටෙ"

" ලයිට් එක දාල එන්න හාමිනේ "

" ඕක ඔන්න ඔහෙ කපුරුහාමි දා ගනියි. උඹ මෙන්න මෙහෙ මා ළඟට වෙලා හිටපන්. මට මේ පාලුවෙ ඉන්න බැරුව ඉන්නවා. උඹත් එනව මෙතන එහෙ මෙහෙ ඇවිදින්න යන්න. බලන් ඉන්නේ කිව්වම අහල වාඩිවෙයන්."

හාමිනේගේ විධානයත් සමඟ මම නැවත හිඳ සිටි පුටුවට බර වීමි. මම හිමිහිට හාමිනේගේ මුහුණ බැලීමි. අඩ අඳුරේ වුව ඒ මුහුණේ ද එවන් වික්ෂිප්තභාවයක් සටහන්ව ඇති සෙයක් මට පෙනෙයි.

රතු මහතාගේ මරණින් පසුව කුමන ආකාරයේ පියවරක් ගත යුතු දැ යි ඇයද කල්පනා කරමින් සිටිනවා විය යුතුය. මම නැවත හැරී ඇය දෙස බැලුවෙමි. ඇය ගැන මට මහත් දුකක් ඇති විය.

" මොනවද හාමිනේ මේ හැටි කල්පනා කරන්නේ "

" කල්පනා කරන්න දේවල්ද සුමනෙ නැත්තේ?"

" ඕනවට වඩා ඕව ඔළුවට ගන්න එපා හාමිනේ."

මම මහත් අනුකම්පාවෙන් යුතුව ඇයට කීවෙමි. අපි වාඩිවී සිටි ඉස්තෝප්පු කෑල්ලට ඉහළ අහසේ සිතුවම් මනාව පෙනේ.

" තවත් වැහි කළුවක් නඟිනවා. තව පොඩ්ඩකින් ආයෙ වහින්න තියා ගනිවි. මේ වතුර කොහෙ තිබිලා වැටෙනවද මන්දා. ඇත්තට ම සුමනෙ අපි දැන් මොකද කරන්නේ? "

" ඒව කල්පනා කරන්න තව ඕනතරං කල් තියෙනවනෙ හාමිනේ. මෙන්න මේ දැන් කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කරමු. "

" ඒකත් ඇත්ත තමයි. දැන් ඉතින් හත්දොහේ බණටයි දානෙටයි ලේස්ති වෙන්න එපායැ. "

" ඔව් හාමිනේ ඒව කෙරෙන විදිහ හොයල බලන්න වෙයි ඔක්කොටම කලින්."

" හ්ම්..... හ්ම්..... " " ඔන්න ආයෙ වහින්න තිබා ගත්ත. අනේ මේ මනුස්සයා කාට වරදක් කළාටද මේ මිනිය යට කළ ගමන්ම වහින්න තිබා ගත්තෙ. මොන සාපෙ වැහිලද මන්ද සුමනෙ. හුස්ම ටික ගිය වෙලේ ඉඳන් වහිනවා. මිනියෙ වැඩ ටිකවත් කොරගන්න ලැබුණද හිතේ හැටියට."

රතු මහතාගේ මිනී වළ හෑරීමට සිදු වුයේ ද අධික වර්ෂාවේ ය. අද සවස මිනිය භූමිදාන කිරීමට පෙර කිහිපවිටක් ම වළේ වතුර ඇද දමන්නට සිදු විය. අවසානයේ මිනිය වළ දාන්නට සිදු වුයේද මදක් වතුර පිරි වළේ ය. එය මගේ හිතට ද වේදනාවකි. මොනව කළත් හොඳ මිනිහ. එදයින් පස්සේ මගෙ ඇඟට අතවත් තිබ්බේ නෑනෙ. අඩු ගානෙ මනමාල බැල්මකින්වත් බැලුවෙ නෑ. ඒ පහස, ඒ බැල්ම මගේ යටි සිත ප්‍රාර්ථනා කළා දැ යි මට සැකයකි. මින් පෙර මගේ සිතට මෙවැනි සිතුවිලි ගලා ආවේ නැත.

" ඈ බං මොනවද උඹ ඔය හැටි කල්පනා කරන්නේ. මං කියන කිසි දේකට උත්තරයක් නෑ. කල්පනාව..... කල්පනාව...... යකෝ මගේ මිනිහනෙ මළේ. උඹ මොනවද ඔය හැටි කල්පනා කොරන්නේ. "

මං කල්පනා කරන දේ හාමිනේට කිවහොත් මට තවත් මේ ගෙදර බත් කෑමට නොලැබෙනු ඇත. යට ගිය දේ ඔහේ යට ගියාවෙ. ආයෙ මොකටද ඒවා කාටවත් කියන්නෙ.

"ආයෙ කල්පනාව. මොනවද සුමනෙ ඔය හැටි කල්පනා කරන්නේ. මොකද උඹ මෙහෙන් යන්නවත්ද? "

"පිස්සුද හාමිනේ. රතු මහත්තය නැති කොට මං හාමිනේව දාල යනවද? අනික මං කොහේ කියලා යන්නද? මෙතනින් එළියට බැස්සොත් ඉතින් මහ පාරේ හරි මහලු නිවාසෙක හරි තමයි නතර වෙන්න වෙන්නේ. මොකෝ මට දරුමල්ලෙක්වත් මිනිහෙක්වත් ඉන්න එකක්යැ. "

" අන්න උඹේ කට ඇරුණා. ඔන්න ඔහොම කතා කරපන්කෝ. උඔට ඕනකමක් තිබුණා නං දරුවෙක් මල්ලෙක් හදා ගන්න තිබුණා. කෝ උඔට තිබුණද එහෙම වුවමනාවක්.."

හාමිනේගේ කතාව මට එතරම් ඇල්ලුවේ නැත. මටත් විවාහයක් කර ගන්න තිබුණා නම් දරුවෙක් මල්ලෙක් නෙවෙයි හත් අට දෙනෙක්ම හදා ගන්න තිබුණා. කෝ ඉතිං ඒකට මේ ගෙදරින් ඉඩක් තිබුණයැ. අඩුගානේ මාව කසාද බන්දලා දෙන්න කාටවත් වුවමනාවක් තිබුණේ නෑනේ. මගෙ හිත නැවත නොසන්සුන් වෙයි. දැන් ඉතින් හතළිහත් පැන්නට පස්සෙ මට මොන මඟුල්ද? හාමිනේලත් ඉතින් වුවමනා කාලෙ කරල දුන්නෙ නෑ. දැන් එනවා කියවන්න. මගේ හිතේ යම් තරහවක් උපදියි. ඒත් තුන්වේල කන්නට දුන් අයට වචනයකින් හෝ පෙරළා පහරදීම නොකළ යුතු දෙයකි.

" ආයෙත් කල්පනාව. ඇත්තට සුමනෙ මොකද උඹ දරුවෙක් හදා ගත්තේ නැත්තේ.? "

මේ මොන හතර බීරි කතාවක්ද? දරුවෙක් හදා ගන්න මිනිහෙක් ඉන්න එපැයැ. මොකෝ හුළගෙන් කියලා දරුවො හදන්න යැ. නොදන්නව වගේ කතා කරන හැටි විතරක්. මට කියන්න එන්නෙ එයාට තිබුණනෙ ළමයෙක් හදා ගන්න. මම නෝක්කඩු බැල්මකින් ඉවත බලාගෙන සිටියෙමි.

" මේ අහපන්. උඹට ළමයෙක් හිටියනම් මේ සේසත ඔක්කොම ඌට දෙන්න තිබුණා. කොහෙද ඉතිං රතු මහත්තයට ඕනකමක් තිබුණට, උඔට ඕනකමක් තිබිල නෑනෙ ළමයෙක් හදාගන්න. "

මම තිගැස්සී හාමිනේ දෙස බැලුවෙමි. ඇගේ මුහුණේ සිහින් සිනහවක් රැඳී තිබෙණු අඩ අඳුරේ වුවද මට පෙනෙයි. දෙයියනේ එතකොට මට අතවර කළ බව රතු මහත්තයා හාමිනේට කියලද? අපොයි.... අපොයි.... මං මෙච්චර කාලයක් රැකගෙන හිටි රහස එළි වෙලාද? මොන විළිිි ලැජ්ජාවක් ද මේ වුණේ. දිවගොස් ඈත පේන රේල් පීල්ලට බෙල්ල තැබීමට සිතෙයි. චිහ්.... චිහ්.... මං හිතුවෙ නෑ රතු මහත්තය මේ වගේ කෙනෙක් කියලා. මට කොච්චරවත් ඉඩ කඩ තිබුණා එයා එක්ක එකට ඉන්න. ඉඳල ළමයෙක් හදා ගන්න. ඒත් ඒවා සමාජ සම්මතයට විරුද්ධනෙ. අනික කොහොමද ගමේ මිනිස්සුන්ගෙ මූණ බලාගෙන පාරෙ බැහැල යන්නෙ. විශේෂයෙන් හාමිනේගෙ.

" සුමනෙ උඹ දුක් වෙන්න එපා. මේ නැති වුණේ මගේ වගේ ම උඹෙත් මිනිහ. ඒ මිනිහ කිව්ව මට උඹ එයැයි අතින් අනාථ වෙච්චි වග. මං ඒකට උඹටවත් ඒ මිනිහටවත් දොස් කියන්නෙ නෑ. මං දොස් කියාගන්නෙ මටමයි. ඒ එකම එක දේකට. උඹට ඒ මිනිහට කියවල ළමයෙක් හදා ගන්න ඉඩ සැලැස්සුවෙ නැති එකට. "

හිඳ සිටි තැනින් නැගිට ආ ඇය මගේ ඔළුව අතගාමින් කියයි.

" හාමිනේ මේ මොනවද කියන්නෙ.. "

" මොනවත් නෙමෙයි මං කියන්නෙ ඇත්ත. ඒ මිනිහ කිව්වෙ උඹ එයැයි දිහා බලන්නෙවත් නැත, ඉතින් කොහොමද මම ළමයි හදන්නෙ කියලා. ඇත්තට ම මමත් හරිම දුර්වලයි. මට උඹල දෙන්නටම මේක හොඳින් පැහැදිලි කරල දීල ඒකට ඉඩ දෙන්නයි තිබුණේ. ඒත් කවුද හිතුවෙ මෙච්චර ඉක්මණට මෙහෙම විපත්තියක් වෙයි කියලා. "

මම ඇසිපිය නොහෙළා ඇය දෙස බලා සිටියෙමි. තමන්ගේ මනුස්සය ගෙදර වැඩට උදව් වූ ගැහැනිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූවා කියා කෝපාවිෂ්ට ලකුණක්වත් ඒ මුහුණේ සටහන් ව නැත. ශෝකාකූල බව පමණක් සටහන් වු ඒ මුහුණ දෙස මම මුව අයා බලා සිටියෙමි.

නැවතත් ඇය මගේ හිස අතගාමින් කියයි. මට රතු මහතා මා සමග ගත කළ ඒ දිනය සිහිවෙයි. ඇත්තට ම ඒ ගැන මගේද අකමැත්තක් තිබුණේ නැත. මේ ගැන කාටවත් කියන්න එපා යැයි ඔහු කීවේද නැත. තනි හිතින් තීරණයක් ගෙන මම මේ බව කාටවත් නොකියා සිටියෙමි. මේ මොහොත වන තුරුම මා සිතා සිටියේ එම රහස දන්නේ අප දෙදෙනා පමණක් බව ය.

" දැං ඉතිං මේව ගැන කල්පනා කරල වැඩක් නෑ සුමනෙ. මමයි මේ අපරාදෙට වග කියන්න ඕනෙ. උඔට දරුවෙක් හිටියනං මං ඒකගේ නළල ඉඹල ඌව තුරුල් කරගන්නෙ මෙන්න මෙහෙම. "

මගේ නළලත සිපගත් හාමිනේ මාව කිටි කිටියේ ඇයගේ සිරුරට තද කර ගත්තා ය. ඒ මොහොතේ මගේ ගත මෙන්ම සිතද උණුසුම් ස්පර්ශයක් සොයමින් සිටින්නට ඇත. මම තව තවත් ඇයගේ සිරුරට තුරුලු වී දෙනෙත් පියා ගතිමි. එකවර ම ඉස්තෝප්පුවේ විදුලිය එළිය දැල්විණි. එහෙත් හාමිනේ මා අත් නොහැරියා ය.

" මේ.... මොකද මේ.... දෙන්න එක්ක තාමත් අඬනවද? අටලෝදහම කියන්නේ ඕක තමයි හාමිනේ. කාටවත් කිසි වරදක් නැති මනුස්සයා. හොඳ තැනක ඉපදිලා ඇති මෙලහකටත්. හාමිනේ දුක් වෙන්න එපා. " කපුරු හාමි කියවාගෙන යයි.

කපුරු හාමි අයියා කියන්නේ ඇත්ත තමයි. මොනවා කළත් හොඳ මනුස්සය. නැත්තං මට මේ වගේ නිදහසේ ඉන්න දේවියැ. තියන නාට්ටාලි ඔක්කොම නටන්න එන්න කියයි මට.ඒ නිසා ඇත්තටම හොඳ තැනක ඉපදිලා ඇති. එතකොට පරදාර සේවනය කරන අය හොඳ තැන්වලට යන්නෙ නෑ කියලා එදා පෝයට බණ කියද්දි හාමුදුරුවෝ කිව්වේ. පරදාර සේවනය කියන්නෙ අනුන්ගේ භාර්යාවන් එක්ක ඉන්න එකලුනෙ. අනේ මන්ද මට තේරෙන්නෙ නෑ ඕවා. මම අනුන්ගේ භාර්යාවක් නෙමෙයිනෙ. ඒ නිසා පව් සිද්ධ වෙන්නේ නැතුව ඇති.

මොනවා කළත් රතු මහත්තයා හොඳ තැනකට යන්න ඇති. මගේ දෙඅත් නමස්කාරාකාර විය. දැන් ඉතින් ඉතිරිව ඇත්තේ මියෙනතුරුම හාමිනේ රැක බලා ගැනීම පමණි.

Comments

මිනිසුන් නොසිතන පැතිකඩක් පිළිබඳව හුවා දක්වන ඉතාමත් අනර්ඝ කෙටි කතා නිර්මාණයකි... මෙවන් නිර්මාණය ඉදිරියටත් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා... ආදරණීය ශියානි අල්විස් මිස්ට සුබ පැතුම්

පිටු