බයිස්කෝප් ගැන කවියෙන්ම ලියූ කොඩීගේ “රිදී-රිදී” | Page 3 | සිළුමිණ

බයිස්කෝප් ගැන කවියෙන්ම ලියූ කොඩීගේ “රිදී-රිදී”

 

සිනමාව සරු කාලෙ වැහැපු පික්චර් වැස්ස
මතක විතරයි ඉතුරු නටබුන්ය අද සෙස්ස
ෂෝ බලන්නට අපිත් ගිහින් නිතරම බැස්ස
කැඩී යන හැටි අහෝ ඕඩියන් ගල්කිස්ස

කටවුට්ද පෝස්ටර් තිබුණු එහි ඇලවිලා
නොමැති බව දකිනවිට හිතම යයි හෙලවිලා
එතන ගඩොලින් ගඩොල යන අයුරු ගැලවිලා
පුදුම නෑ ගියපු එක සිනමාව කෙළවිලා

කොළඹ ආවට පස්සෙ මමත් කෙල්ලෙක් එක්ක
පළවෙනිම වතාවයි රිදී තිරයක් දැක්ක
ඕඩියන් එක ඉතිං ඒ අතින් මගෙ බොක්ක
කැඩී යන්නේ මෙහෙම මතක ප්‍රේමෙන් රැක්ක

රොබින්ලා වගේ අය ගහගද්දි කිපිලා
ඩිෂුම් හඬ කැරකුණේ බිත්තිවල හැපිලා
ගැලරියේ විසිල් එක ගියෙ ඊට කැපිලා
ජෝතිලගෙ ගී කුසුම් එනවිටයි පිපිලා

කලක් එහි රජ කළේ රුක්මණී එඩීලා
ගාමිණී මාලනී විජේලද ලැඩීලා
එහෙව් පික්චර් හෝල් යන විටදි කැඩීලා
හිටිය නම් අඬනවා හිනාවුණු ⁣ෆ්‍රෙඩීලා
 

මට මේ කවිය හමු වුණේ කොඩිගේ මුහුණු පොතෙනි. මේ කවිය පමණක් නොවේ විවිධ සිද්ධි, විවිධ අත්දැකීම්, විවිධ පුද්ගලයන් පිළිබඳ ඔහු විසින් ලියන ලද හරි අපූරු කවි ඔහුගේ මුහුණූපොතින් හමුවේ. ඇතැම් කවි එක් වරක් නොව දෙවරක්ම කියවන්නට සිත් දේ. ඇතැම් කවි අවසානයේ ඇත්තටම ඔව් නේදැයි කියැවෙන්නේ ඔහු ලියා ඇති අරුතින් බැලූ විටය. අපට සිංහල සිනමාවේ වර්ණවත් යුගයක් තිබිණි. ඒ සිනමාව වටා එක් වූ නළු නිළි පිරිසක් මෙන්ම විවිධ දේ තිබිණි නමුදු අද වන විට ඒ පැවැති යුගය එහෙම පිටින්ම කණපිට ගසා ඇත. දැන් ඉස්සර තරම් සිනමා ශාලාවලට මිනිසුන් යන්නේ නැත. ඊට විවිධ හේතු බලපානු ඇත. ඒ කොහොම වුණත් ප්‍රියන්ත කොඩිප්පිලි නම් වූ අපේ කතානායක පත්තර මිත්‍රයා විසින් අලුත් දෙයකට අතගසා ඇත. ඒ කලක් තිස්සේ තමන් විසින් මුහුණු පොතේ ලියන ලද කවි එක්කර පොතක් පළ කිරීමය. ඒ කෘතිය අපට විශේෂ වන්නේ සිංහල සිනමාවේ විශේෂත්වය නම් ‘රිදී’ සඳහා ඇතුළත් වන්නේ යට ගිය සිනමාවේ පුද්ගල චරිත, සිනමා නිර්මාණ, ඒවා නිර්මාණය කළ පුද්ගලයන්ය මෙහි කොඩි ලියූ කවි ඇතුළත් වීමය. මේ කෘතියේ නම ‘රිදී’. එය ඔහුගේ අලුත්ම කාව්‍ය සංග්‍රහයයි. මේ මස 29 දා සවස 3.30 චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී කොඩීගේ ‘රිදී’ කෘතිය එළිදැක්වේ.

 

“මට හිතුණා සිනමාව සම්බන්ධයෙන් මම මුහුණු පොතට ලියූ නිර්මාණ ටික පොතක් ලෙස පළ ලියවිලා තියෙනවා. ඒත් කවියෙන් ලියවිලා නැති තරම්. මම පත්තරකාරයෙක් වුණේ 2005 අවුරුද්දේ. ඒ ඉරුදින පත්තරයට සම්බන්ධ වීමෙන්. කලා පිටුවේ යම් යම් දේ කරමින් රස්තියාදු ගහපු කාලයක් තිබුණා. ඒ කාලේ චිත්‍රපට බලන්න, නිර්මාණකරුවෝ මුණගැසෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම සිනමා විචාරත් ලිවුවා. 2014 වසරේ තමයි මම ලංකාදීප පුවත්පතට සම්බන්ධ වෙන්නේ. එතැනින් තමයි මට සිනමාව ගැන තිබුණ ඇල්ම තවත් වැඩි වෙන්නේ. ඒ මම ඒ කාලේ පුවත්පතට, සිනමාවේ අප්‍රකට චරිත, කාර්මික ශිල්පීන්, ගැන වගේම සිනමා විචාර ආදිය කරන්නත්, විවිධ අය හරහා ඒ යටගියාව හාර අවුස්සන්නත් අවස්ථාව ලැබුණා. ඒ ලැබුණ අත්දැකීම් තමයි පසුකාලීනව කවි ලෙස ලියවෙන්නේ. ඩොනල්ඩ් කරුණාරත්න, ධර්මසේන පතිරාජ වැනි ප්‍රකට සිනමාකරුවන් නළු නිළියන් ගැන වගේම සිනමාව සම්බන්ධ විවිධ අත්දැකීම් ඔස්සේ ලියවුණ කවි තමයි “රිදී“ පොතට ඇතුළත් වන්නේ.

නව පරපුරේ කවියකු ලෙස ඔබ මා හඳුනන ප්‍රියන්ත මුලින්ම පුවත්පතකට සම්බන්ධව කටයුතු කරන්න පටන් ගන්නේ ඉරුදින පුවත්පතිනි. ඒ අතීතය සිහි කරමින් ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.

“මම පත්තරකාරයකු ලෙස වැඩ අරඹන්නේ ඉරුදින පත්තරයට සම්බන්ධ වීමෙන්. ඒ 2015 අවුරුද්දේ . මුලින්ම ඉරුදින කලා පිටුවේ වැඩකරනවා. ඒ කාලේ මම රස්තියාදු ගහපු කාලයක් කිවුවොත් තමයි හරි. චිත්‍රපට බලන්න යනවා. සිනමා අධ්‍යක්ෂවරු නළු නිළියෝ ගැන ලියනවා. ඔවුන්ව හමුවෙනවා. ඒ අතරම සිනමාවේ වැඩ කළ පැරණි අය හමුවෙනවා. මම ලංකාදීප පුවත්පතට සම්බන්ධ වුණාට පස්සේ බුලට් එක කරනවා. ඒ කාලේ තමයි මට සිනමාවේ අප්‍රකට චරිත බොහෝමයක් හමුවෙන්නේ. ඒ හරහා අතීත කතා බොහොමයක් හාරඅවුස්සා බලන්න ලැබෙනවා. සිනමාවේ බෝහෝ අහුමුලු ගැන දැන ගන්න ලැබෙනවා. ඒ වගේම ඩොනල්ඩ් කරුණාරත්න, පතිරාජයන් පිළිබඳ හදාරන්න පුළුවන් වෙනවා. ඒ චරිත ඇසුරෙන්, මට සිනමාවේ හමු වු, සොයා ගත් තොරතුරු ගැන මගෙ අතින් කවි නිර්මාණ ලියවෙනවා . ඒ කවි නිර්මාණ 22 ක් ඇතුළත් කරලා තමයි

“රිදී“ කාව්‍ය සංග්‍රහය කරන්නේ.

මාතර අකුරැස්ස ගමේ උපන් කොඩි හය දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා ය. ඔහුට වැඩිමහල් සොයුරියන්ම පස්දෙනෙකි.

මගෙ අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා තමයි රැකියාවක් කළේ. ඒ වගේම ගෙදර සියලු කටයුතු බලා ගත්තේ තාත්තා. පසුකාලීනව මම උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට එනවා. තරුණ සේවා බැඳෙනවා. මම වෘත්තීය පත්තරකාරයෙක් විදිහට වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු දහඅටක් පමණ වෙනවා. ඒ ගෙවුණු කාලය තුළ මම විසින් කෘති තුනක් කරලා තියෙනවා. පළවෙනි පොත “කොඩි“. දෙවැන්න පිදුම සමරෙට. තුන්වැන්න තමයි “රිදී“. රිදී කවි පොත තමයි 29 වෙනිදා රජයේ චිත්‍රපට සංස්ථාවේදි එළිදක්වන්නේ මම හැමෝටම ආරාධනය කරනවා 3 බෙල් එකට කලින් ඇවිල්ලා අසුන් ගන්න කියලා. ඔබට එදිනට වෙනස්ම අත්දැකීමකට මුහුණ දෙන්නට පුළුවන්. පත්තරේ කවි පිටුව සංස්කරණය කරන්න ගත්තත් එක්කම මගේ කවි ලියැවිල්ල නතර වුණා. නමුත් ඒ කවියට යළිත් එළියක් වැටුණේ , මුහුණු පොතේ කවි ලියන්න පටන් ගත්තත් එක්ක.

මුහුණු පොතේ මා ලියූ කවි ගැන බොහෝ දෙනා කතා කරනවා. ඔවුන් ඒවාට විවිධ ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම එය මට මගේ ඉදිරි ගමනට ලොකු හයියක්.

Comments