අධිකරණයේ අතුරු තහනම් නියෝග ගැන පාර්ලිමේන්තුවේ අවධානය | සිළුමිණ

අධිකරණයේ අතුරු තහනම් නියෝග ගැන පාර්ලිමේන්තුවේ අවධානය

මාස හයක අතුරු තහනම් නියෝගය නිසා පාසල්වලට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් බඳවා ගැනීමට නොහැකි වී ඇත. මේ අතුරු නියෝගය නිසා දරුවන්ට අසාධාරණයක් වී ඇති අතර, දරුවන්ට සිදුව ඇති මේ අසාධාරණය සම්බන්ධයෙන් කිසිවකුත් කතා නොකරයි.

අතුරු තහනම් නියෝගවලට කාලයක් තිබිය යුතු අතර, ඒ සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනයක් ඇති කළ යුතුයි. අතුරු තහනම් නියෝගයක් බල පවත්නා කාලය තීරණය කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අධිකරණ ඇමැතිවරයා කටයුතු කරන්නේ නම් එය ඉතා යහපත් වන අතර, එය සිදු කරන ලෙස අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මක් නිසාද යත් අතුරු තහනම් නියෝග සදාකාලික තහනම් නියෝග බවට පත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නිසා.

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වන පරිදි නඩු දාන පෙත්සම්කරුවන්ට එහි බරපතළකම නොතේරීම කනගාටුදායකයි. මන්ද ගුරුවරුන්, විදුහල්පතිවරුන් බඳවා ගැනීමට එරෙහිව නඩු දැමීම ඉඩම් නඩුවක් නොවන නිසා.

ගුරු පුරප්පාඩු 32,000ක් පවතින අතර, කිසිදු විධිමත්භාවයකින් තොරව මීට වසර 3කට පෙර සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේදී 22,000ක් පාසල්වලට අනුයුක්ත කළා.

ඔවුන් විධිමත්ව ගුරු සේවාවට බඳවා ගැනීමට ගත් උත්සාහය වළකමින් නඩුවක් ගොනු කර ඇති අතර, ඒ සඳහා දී ඇති මාස 6ක අතුරු නියෝගය සදාකාලික නියෝගයක් බවට පත් කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවයි.

විශ්‍රාම ගිය සහ සේවා හැරගිය ගුරුවරුන් වෙනුවට උපාධිධාරීන් ගුරු සේවාවට බඳවා ගැනීමට අවශ්‍ය බලය ඉදිරි සති දෙක ඇතුළත පළාත් සභා වෙත පැවරීම සිදු කරන අතර, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව මේ බලය පළාත් සභා වෙත පවරන අතර ඒ සඳහා වූ කැබිනට් අනුමැතිය ලබාගැනිමට සූදානම්.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි උපාධිධාරීන් 700ක් මධ්‍යම පළාතට බඳවා ගැනීමට ගැසට් කර ඇති අතර, කුමන බාධක පැමිණියත් දරුවන්ට විධිමත් ගුරුවරුන් ලබාදීමට පියවර ගන්නවා.

උදාහරණයක් ලෙස පුරාවිද්‍යා උපාධියක් ඇති පුද්ගලයා පාසලක ප්‍රාථමික අංශයට අනුයුක්ත කිරීමෙන් පාසල්වල විධිමත් අධ්‍යාපනය කඩා වැටීමක් සිදු වන අතර, ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අඩාළ වීමට කොවිඩ් බලපෑම පමණක් නොව, මේ අවිධිමත් ගුරු අනුයුක්තය ද බලපා ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 90%ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිකුත් කළ චක්‍රලේඛය වහා අත් හිටුවයි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගනුයේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඒ පළාතට අදාළව පරිපාලන කටයුතු කළ හැකි වුවත් මෙවැනි තීරණ ගත නොහැකියි.

සූම් රැස්වීම් මඟින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සෑම මාසයකම ඇමැතිවරයා ලෙස මම සාකච්ඡා පවත්වන බවත්, මෙවැනි කරුණු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නොවිමසා චක්‍රලේඛ නිකුත් නොකළ යුතුයි.

Comments