රටේ ලොකුලූණු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
අප රටේ ලොකු ලූණු වගාව මින් වසර ගණනාවකට පෙර සාර්ථකව සිදු කෙරිණි. නමුත් දැනට වසර හතඅටක සිට ලොකුලූණු වගාව ඉතාමත් අසාර්ථක වී තිබේ. මේ වනවිට ගොවීන් ලොකු ලූණු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වන නිසා අප රටේ ලොකු ලූණු වගාව සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
අප රටේ වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි.නමුත් මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716කි. මෙම වසර ගත වූ කාලය තුළ ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795කි. රට තුළ නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය හා ආනයනය කර ඇති ප්‍රමාණයක් සළකා බලන කළ දැනට රට තුළ ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 136,509කි.
මෙම තත්ත්වය සළකා බලමින් රට තුළ ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනීම හෝ දැනට ලොකු ලූණු වගා කරන ඉඩම් ගොවීන් විසින් පවත්වාගෙන යන්නේ පාඩුපිට බැවින් ඒවායේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වෙනත් බෝග වගාව සඳහා යොමු කිරීමට හෝ ගතයුතු පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.