
පව්කාර දරුවා’ යනු පරිවර්තිත කෙටිකතා හතක එකතුවකි. මේ අතරින් මේ කෘතියට නම දී ඇති ඉසබෙල් අයියන්දේගේ කෙටිකතාව හැරුණු විට අනෙක් හයම ඉන්දීය ලේඛක ලේඛිකාවන්ගේ ය.
ඒ කෙටිකතා හතේ නම් සහ නිර්මාණකරුවන් මෙසේ ය:
1. පව්කාර දරුවා (ඉසබෙල් අයියන්දේ) 2. රටකජු (කමලා දාස්) 3. කන්දේ යක්‍ෂයා (බොල්වර් මොහමඩ් කුන්හි) 4. වන්දිය (ගෞරී දේස්පෙන්දේ) 5. ගුහාව ( රමේශ් උපාධ්‍යාය) 6. විලියම්සන් නෝනා (ශිව් කේ. කුමාර) 7. අම්මා නැති කල (ශාන්තිනාත් දේසායි)
ඉසබෙල් අයියන්ද්ගේ ‘පව්කාර දරුවා’ සුඛාන්තයක් ඇති කෙටිකතාවකි. මෙය එලීනා නම් දැරියක් ප්‍රධාන චරිතය කර ගනිමින් නිර්මිත ය. අපට හමුවන විට ඇය දොළොස් හැවිරිදි වියේ පසුවන වැඩිවියට නොපත් පාසල් දැරියකි. ඇය ප්‍රියමනාප නොවන මුහුණක් ඇති, තනිව හැදුණ, කිසිවකු සමඟ ඇසුරක් නැති, ලජ්ජාශීලි කෙසඟ කෙල්ලකි. වඩා හොඳින් කියනවා නම් කැහැටු ඇටිකිච්චිියකි. වැන්දඹුවක් වන ඇගේ මව සිය නිවසේ නේවාසිකාගාරයක් පවත්වාගෙන යයි.
‘මිනිහෙක් නැති ගෑනියක් වුණාම තමන්ගෙ හොඳ නම පවත්වා ගෙන යන්න දැනගන්න ඕන. ඒ නිසා මම මේ ගෙදර නවත්තගන්න එන අය ගන්නෙ හොඳට හොයල බලල’ ඈ නිතර කියන්නී ය. එහෙත් ගිටාරයකුත් අතැතිව එන ගායකයකු වන බර්නල් දුටු වහාම ඒ රෙගුලාසි සියල්ල වෙනස් වේ. මේ මිනිසා සහ අම්මා අතර සම්බන්ධයක් ඇති බව එලීනා අනාවරණය කර ගන්නී ය. මේ අතර ඈ මල්වර වෙයි. ඇගේ සිත ද ඔහු කෙරේ අනුරාගයෙන් පිරේ. ඔහු නොමැති අවස්ථාවල ඔහුගේ කාමරයට යාමට ප්‍රිය කරන ඈ ඔහුගේ අඳේ නිරුවතින් පවා වැතිර සිටියි. දිනෙක ඔහු නිදා සිටින විට කාමරයට ඇතුළු වන ඇය ඔහුගේ සිරුර පහසන්නී ය. අවදිවන ඔහු ඇය ඇඳෙන් පහලට තල්ලු කර දමයි. මේ සිද්ධියෙන් පසු අම්මා ඇය කන්‍යාරාමයක නවත්වා අධ්‍යාපනය ලබා දෙයි. ඇය හොඳින් ඉගෙන බැංකුවක රැකියාවක් ද ලබා ගෙන හමුදා නිලධාරියකු හා විවාපත් වන්නීය. මේ වන විට අම්මා සහ බර්නල් විවාහ දිවියට එළැඹී සිටිති. නව යුවළ මව බැහැ දකින්නට එති. එදා සුළු පියා වන බර්නෙල් ඇයට අතීත සිද්ධිය මතක් කරමින් ඇය හා එක්වන්නට උත්සාහ දරයි. එහෙත් ඇයට ඒ කිසිවක් මතක නැත.
කමලා දාස්ගේ ‘රට කජු’ ඉන්දියාවේ ජනවාර්ගික අර්බුදවල එක් අවස්ථාවක් පිළිබඳ නිර්මාණයකි. අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය කරන ලද්දේ සීක් ජන වර්ගයේ සෙබළුන් දෙදෙනකු විසිනි. මේ නිසා සීක් මිනිසුන් සොයසොයා ඝාතනය කරන ඔවුන්ගේ දේපළ විනාශ කරන කැරැල්ලක් ඇතිවිය. සීක් සහ හින්දි ජනයා සම සමව වෙසෙන ගමක සීක් පවුලකට මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්ත්වය මේ කතාවේ ප්‍රස්තුතය වෙයි. ගුරුවාරන්ජි නම් හින්දි මිනිසා ඒ පවුලේ බිරිඳ වන ජස්මිත් සහ දරුවා බේරා ගන්නා නමුත් ඇගේ සැමියා ඝාතනය කෙරෙයි. ඔහුගේ මව නිවසේ සිටිය දී නිවසට ගිනි තැබේ.
මොහමඩ් කුන්හිගේ ‘කන්දේ යක්‍ෂයා’ අමුතුම මාදිලියේ කතාවකි. දිළිඳුකම ඉහවහා ගිය ගමක ගෙදරක පවුල් තුනක් වෙසෙති. කුන්නිපතුම්මා, ඇගේ දියණි, සිවුදරු වැන්දඹු මවක් වන සාරම්මාගේ පවුල සහ ගමෙන් පලාගොස් සිටිින පුතාගේ බිරිඳ සහ දරුවා ඒ පවුල් තුනයි. පවුල් ගණන ගණන් ගන්නේ ළිප් ගණනිනි. මේ ගෙදර දැනට ඇත්තේ ළිප් දෙකකි. අධාර දෙන කණ්ඩායමක් ගමට එන්නේ ය යන ආරංචියක් ඇයට ලැබේ. එහෙත් එය නිශ්චිතව දන්නා කෙනෙක් නැත. ආරංචිය ලැබී දින 17කට පසුත් කණ්ඩායමක් පැමිණ නැත. මේ අතර කුන්නිපතුම්මා තමා සඳහා කුඩා නිවෙසක් ඉදිකර ගනියි. එහි ද ළිපක් ඇති හෙයින් ගෘහස්ථ තුනකට ආධාර ලබා ගන්නා අපේක්‍ෂාවෙන් දෑස් දල්වා ඔවුහු මඟ බලා සිටිති. අවසානයේ කණ්ඩායමක් පැමිණේ. ඒ ආධාර ලබා දෙන්නට නොව ආධාර එක්රැස් කරන්නට ය. ඔවුහු නිවාස තුනක් ඇති හෙයින් කැට තුනක් දී මාසෙකට රුපියල බැගින් එක් නිවසකින් බලාපොරොත්තු වන බව කියති.
ගෞරී දේස්පෙන්දේගේ ‘වන්දිය’ ඉන්දියානුවකු හා විවාහ වන ඇනීටා නම් අමෙරිකානු කතක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මිත වූවකි. මෙහි දී ඇය මුහුණ දෙන සියලු සිද්ධි අහම්බ අනපේක්‍ෂිත ඒවාය. ජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන ඇය තම පන්තියේ සිටින අපිළිවෙළ සේ පෙනෙන සජාන් සිං සමඟ පෙමින් බැඳී ඔහුට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. ඔවුහු විවාහ වෙති. ඇය අනපේක්‍ෂිත ව ගැබ් ගනී. කලලය විනාශ කරන්නට ඇයට ඇවැසි ය. එහෙත් ඔහු එසේ නොකරන ලෙස ඇයට ආයාචනා කරයි. ඇය කියන්නේ කලලයක් යනු සිරුර තුළ සෛල වැඩීමක් පමණක් වන බැවින් විනාශ කිරීමේ වරදක් නොමැති බවයි. මේ සිද්ධිය නිසා ඇය සජාන් සමඟ කෙතරම් තරහක් ඇති කර ගන්නේද’යි කිවහොත් ඔහු මැරෙනවා නම් මැනවයි සිතන්නී ය. ඇය සිතූ පරිදි ම ඔහු මරණයට පත්වෙයි. ඒ ඔහු ගමන්ගත් බස් රිය හදිසි අනතුරකට බඳුන් වීමෙනි. මේ නිසා ඇයට කලලය විනාශ කරන්නට නොහැකි වෙයි. දරුවා කුස තුළ වැඩෙයි. කෙමෙන් ඇගේ සිතේ දරුවා ගැන සෙනෙහසක් උපදියි. දරුවා උපන් පසු ඇය ඔහු මනාව රැක බලා ගන්නී ය. මේ අතර සජාන්ගේ මරණය නිසා ඇයට විශාල වන්දියක් ලැබෙයි. ඇය ඒ චෙක්පත ද රැගෙන සිය බිළිඳු පුතා ද කැටුව ඉන්දියාවට ගොස් සජාන්ගේ පියා හමුවන්නී ය.
රමේශ් උපාධ්‍යයගේ ‘ගුහාව’ නම් කෙටිකතාව ගුප්ත ගණයට වැටෙන්නකි. අබිරහස් අඳුරු ගුහාවක් තුළට අවවාද නොතකා ඇතුළු වන තරුණ ලේඛකයකු මුහුණ පාන සිදුවීම් වැල මෙහි එයි.
ශිව් කේ. කුමාර්ගේ ‘විලියම්සන් නෝනා’ උපහාසාත්මක කෙටිකතාවකි. දස වසරකට පෙර මියගිය සිය සැමියාට එලොවට පණිවුඩයක් යවන්නට කෙනෙකු සොයමින් සිටින විලියම්සන් නෝනා අසල්වැසියකුගේ දරුවකු පිහිනුම් තටාකයට වැටුණ විට අකම්පාල වන්නේ කලින් එය දැන ගත්තා නම් ඒ දරුවා අත පණිවුඩය යැවිය හැකිව තිබිණි නේද’යි සිතමිනි. මේ කතාව කියන මහාචාර්යවරයා ගිලන් ව රෝහල් ගත කර සිටින විට ඇය එන්නේ ඔහුට සුව ප්‍රාර්ථනා ගෙන එන්නට නොව ඔහු මිය යමින් සිටින්නේද’යි සොයා බලන්නට ය.
‘අම්මා නැති කල’ ශාන්තිනාත් දේසායි නම් කර්ණාටක ලේඛකයාගේ නිර්මාණයකි. සදාසිවයියා නම් කනවැන්දුම් පුරුෂයා, ඔහුගේ දුව නන්දිනී, ගෘහ සේවිකා පාර්වතම්මාගේ දියණිය වන ගිරිජා වටා මේ කතාව ගෙතෙයි. ගෙදර වැඩට සුපුරුදු ස්ත්‍රිය දවසක් වැඩට නොපැමිණ ඒ වෙනුවට සිය යොවුන් දියණි ගිරිජා එවයි. සදාසිවයියා ඇය හා සබඳකමක් ඇති කැර ගනියි. මෙය වටහා ගන්නා නන්දිනී ඇය පන්නා ගනී. පියා සහ දුව අතර ඇතිවන සංවාදය අවසානයේ ‘තාත්තාට ඕන නම් එයාව බැඳ ගන්න’ දුව කියයි. ‘නෑ. මං එයාව හිතෙන් අතෑරියා’ පියා කියයි.
මේ කෙටිකතා හත සිංහල පාඨකයාට අලුත් මෙන් ම රසවත් ද අත්දැකීමක් එක්කරයි.
‘පව්කාර දරුවා’ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ කෘතියකි.