සර්පයන් පිළිබඳ සිහිපත් කිරීමේ දී මිනිසුන් තුළ ඇති වන්නේ භීතියකි. එසේම පැරණි සිංහල සමාජයේ මේ සර්ප විශේෂ වටා ගෙතුණු බොහෝ මිථ්‍යා මත වෙයි. කෙසේ වෙතත් සර්පයන්ගේ විෂ හෝ ඒ හා ගෙතුණු මිථ්‍යා මතවාද පිළිබඳ අප කොතෙකුත් අසා ඇත.
එහෙත් අප මාපිලන් වැනි උරග සතුන් දැක හුරු පුරුදු නමුත් සම ඇලි භාවයට පත් වූ මාපිලකු පිළිබඳව අපි මින් පෙර කිසිදු දිනයක අසා නැත. ශ්‍රී ලංකාවෙන් අපට හමුවන නාග මාපිලාගේ විශේෂයට අයත් ලොව පළමු “සම ඇලි” (semi albino) නාග මාපිලා පිළිබඳ පුවත වාර්තා වන්නේ බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයෙනි. විදු ලොවට මේ අපූරු හා දුර්ලබ සිදුවීම පිළිබඳ වාර්තා කිරීම සිදු කර ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හසළ කලේන්ද්‍ර රන්වැල්ල සිසුවා විසිනි. ලොව පළමු සම ඇලිභාවයට පත්වූ නාග මාපිලෙක් මුණගැසුණු පළමු අවස්ථාව මෙය බව ඔහු පවසයි.
ඒ හෙයින්ම කලේන්ද්‍ර විසින් මේ පිළිබඳ උරග හා උභය ජීවී ප්‍රවීණ විද්‍යාඥ එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ නිසි විද්‍යාත්මක පත්‍රිකාවක් විදු ලොවට හඳුන්වා දීමට මේ දිනවල කටයුතු කරමින් සිටියි.
මේ මාපිල් විශේෂය පිළිබඳ හසළ කලේන්ද්‍ර සිසුවා අදහස් දක්වමින් පවසන්නේ " මගේ ලොකු තාත්තා දිමුත් රන්වැල්ල සමඟ මුලින්ම මම මේ උරගයා පිළිබඳ සොයා බැලීමට ඈගල්ඔය ප්‍රදේශයට ගියා.
අපි දැක්කා මේ මාපිලාගේ යම් වෙනසක් තිබෙන බව. මේ මාපිලාගේ ඇස් නිරීක්ෂණය කරපු ගමන්ම මේ සර්පයා ඇලිභාවයට පත් වූ උරග සත්ත්වයෙක් බවට අපට පැහැදිලි වුණා. ඇස් සම්පූර්ණයෙන්ම රෝස පාටයි.
ඇලිභාවට පත් වෙනවා කියන්නේ සතාගේ මෙලනින් වර්ණකය නිලීන වීමයි. මේ උරගයාගේ මෙලනින් නිලීන වීමක් නොවූවත් යම් නිලීන වීමක් තියෙනවා. මේ උරගයා අර්ධ ඇලි භාවයට පත්වී තියෙනවා. අපට මේ පර්යේෂණ කටයුතු සඳහා මඟ පෙන්වීමක් කළේ ප්‍රවීණ උරග හා උභයජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ.
මේ සර්පයා නාග මාපිලෙක්. එයාව විද්‍යාත්මකව හඳුන්වන්නේ Boiga forsteni යන නමින්. මේ සර්පයා අයත්වන්නේ "Boiga” යන ගණයට. මාපිල් විශේෂ 33ක් සමස්ත ආසියාව තුළ දැක ගන්න පුළුවන්. අප මේ නාග මාපිලා Boiga forsteni මාපිල් විශේෂ අතුරෙන් විශාලත්වයෙන් වැඩිම මාපිලන් විශේෂය යැයි” ද ඔහු පවසයි. මෙරට තුළ මාපිල් වර්ග පහක් දැක ගත හැකියි. එම පස් වර්ගය අතුරෙන් විශේෂ තුනක් ශ්‍රී ලංකාවට ආවේණික බව හඳුනාගෙන ඇත. පඳුරු මාපිලා (Boiga barnesii), කහ මාපිලා (Boiga ranawanei) සහ නිදි මාපිලා (Boiga ceylonensis) එම ආවේණික විශේෂ තුන වේ.
ලේ මාපිලා/නාග මාපිලා (Boiga forsteni)රෑන් මාපිලා/ගැරඬි මාපිලා (Boiga trigonata)සෙසු විශේෂ දෙක වේ. පඳුරු මාපිලා ලංකාවේ හමුවන කුඩාම මාපිල් විශේෂය යි. නාග මාපිලා හොඳින් වැඩුණු විට අඩි 6කට වඩා වැඩි වේ. එමෙන්ම මෙම සර්පයන් අතුරෙන් නාග මාපිලාට හබරලා, හබරලියා යන නාමය භාවිත කරනවා.
මේ මාපිලන් පස්දෙනාම සුළු විෂ සර්පයන් කොටසක් වන අතර, මිනිසකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් ඔවුන් සතුව නොමැත. Ophisthoglyphous ආකාරයේ දළ පිහිටා ඇත. Opisthoglyphous යනු නොදියුණු එනම් ප්‍රාථමික මට්ටමේ පවතින විෂ දළ පද්ධතියකි. උගුර ආසන්නයේ විකිරණය වූ දළවලින් සහ ඩුවනෝයි ග්‍රන්ථියකින් සමන්විත වෙයි. එම නිසා දෂ්ටනයක් සිදු වූ ස්ථානය ඉදිමීම, වේදනාව ඇති වෙයි. මිනිසුන්ට දෂ්ට කළ පසු දත්වල තියන බැක්ටීරියා අපේ ශරීරයට දෂ්ටනය වූ ස්ථානයෙන් ඇතුළු වී පිට ගැස්ම සෑදීමට හැකියාවක් පවති.
“මේ මාපිලා B. forsteni තමයි ශ්‍රී ලංකාවේ මේ විශේෂයේ සර්පයන් අතර විශාලතම සර්පයා. හොඳින් වැඩුණාම දිගින් අඩි 6කටත් වඩා වැඩි වෙනවා. මේ අය සාමාන්‍යයෙන් තෙත්, වියළි හා අතරමැදි යන කලාප තුනේම දැක ගන්න පුළුවන්. මේ සර්පයාට තියෙන්නේ සුළු විෂක්. එය කුඩා සතුන්ට හානිකර විය හැකි නමුත් මිනිසුන්ට බලපාන්නේ ඉතාම අඩුවෙන්.
සර්පයන්ගේ ඉතා සුලබව හමුවන වර්ණ ප්‍රභේදය වන්නේ කළු සහ සුදු වර්ණය සහිත ප්‍රභේදයයි.
“කලේන්ද්‍ර කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද වෙයි. පාසල් වනජීවි සංරක්ෂණ සංසදයේ සභාපති ලෙසත්, ආනන්ද විද්‍යාලයේ ඔරු පැදීමේ සංගමයේ නායකයා (2022) ද ඔහු ය. ඔහු දක්ෂ වනජීවී ඡායාරූප ශිල්පියකු ද වන අතර, 2021 වසරේ පැවැති බීබීසී ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරගයේ රටවල් 44ක තරගකරුවන් 50,000කින් අවසන් 500 දෙනා අතරට පැමිණීමට ඔහුගේ ඡායාරූපයක් සමත් විය.
එලෙසම ඔරු පැදීමේ ජාතික මට්ටමේ විශාලතම ශූරතාව ආනන්දයට ගෙන ඒමට ද ඔහුගේ නායකත්වය පැවති වසරේ දී හැකි විය.
ඔහුගේ පියා ප්‍රවීණ පරිසරවේදියෙක් වන නයනක රන්වැල්ලයි.
ව්‍යාපාර කළමනාකාරිනියක් වන මව ශසන්කා රන්වැල්ලයි. කලේන්ද්‍ර පුතුගේ අනාගත අපේක්ෂාව වනජීවි සහ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් වැඩිදුර හැදෑරීමයි.
එසේම මෙරට උරගයන් සහ උභය ජීවින් පිළිබඳව පර්යේෂණවල නිරතවීමට ද හේ බලාපොරොත්තු වෙයි. ඔහු අනාගතයේ දී පරිසර සංරක්ෂකවරයෙක් සහ විද්‍යාඥවරයෙක් වීමට අපේක්ෂා කරයි.
“අපේ රටේ මිනිසුන් මේ සර්පයන් කිසිදු හේතුවකින් තොරව විනාශ කරනවා. නමුත් කළ යුත්තේ අපි ප්‍රවේශම් වීමයි.
අපිට හමු වූ මේ සම ඇලි මාපිලාවත් හමු වූ තැනටම අපි නිදහස් කළා. ඒ අය ජීවත් වෙන්න ඕන නිදහසේ. සම ඇලිභාවයට ලක් වූ මෙච්චර ලොකු උරගයෙක් කැලේ හම්බ වෙන්නේ නැති තරම්.
නමුත් අපි හිතුවේ මාපිලා මෙතෙක් කල් කැලේ ආරක්ෂිතව හිටිය නම් මැරෙනකල් කැලේ එයාට ජීවත් වෙන්න පුළුවන් නේද කියලයි.
ඒ නිසයි අපි එයාව නැවත ඒ ස්ථානයටම මුදා හැරියේ. සෑම සතෙකුටම නිදහසේ ජීවත් වීමේ අයිතිය අපි සුරක්ෂිත කරන්න අවශ්‍යයි” යැයි කලේන්ද්‍ර අවසාන වශයෙන් අප සමඟ පැවැසුවේය.