‘ඉට්මිස්’ කඩිනම් කරන්නැයි සාගලගෙන් උපදෙස් | සිළුමිණ

‘ඉට්මිස්’ කඩිනම් කරන්නැයි සාගලගෙන් උපදෙස්

මුදල් අමාත්‍යාංශය ඇතුළු ගිණුම් කටයුතු පරීක්ෂා කරන ආයතනවලට ඕනෑම තැනක සිට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාගත හැකි ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්යාලය ඇතුළු රටේ සියලු රාජ්‍ය ආයතනවල ගිණුම් කටයුතු පරිගණක ගත කිරීම වෙනුවෙන් අරම්භ කොට අතරමඟ නවතා දැමූ ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය මේ අනුව දෙමසක් ඇතුළත යළි ආරම්භ කරන්නැයි එම උපදෙස් වල සඳහන්ය.

අය වැය ලේඛනය සකස් කිරීමේදී තොරතුරු ලබා ගැනීම ද ඉට්මිස් මෘදුකාංග ව්‍යාපෘතියෙන් ඉක්මන් හා පහසු කටයුත්තක් වනු ඇත.

මෙම මෘදුකාංගය (Softwear) සමඟ ආද­ායම් බදු කටයුතු වෙනුවෙන් රැමිස් (Ramis) නමින් තවත් මෘදුකාංගයක් 2011 වසරේදී ලබා ගෙන ඒ වෙනුවෙන් ක්‍රියාකරුවන් පවා පහුණු කර අවසන් වුවත් 2013 වර්ෂයේදී හඳුන්වා දීමට යෝජනා වූ මෙම ව්‍යාපෘතිය අතරමැද නතර කර දමා තිබිණි.

මේ හේතුවෙන් රාජ්‍ය ආයතනවල ගිණුම්ගත කිරීමේ කටයුතු සියල්ල පෙර පරිදි ලිපි ද්‍රව්‍ය යොදා ගනිමින් පවත්වාගෙන පැමිණ තිබේ.

වහාම මෙම කටයුත්ත ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක උපදෙස් දී ඇති අතර රාජ්‍ය ආයතන ගිණුම්ගත කිරීම වෙනුවෙන් පිරිස පුහුණු කිරීම ද මේ වන විට ආරම්භ කර ඇත. සැප්තැම්බර් අවසන් වන විට රාජ්‍ය ගිණුම්ගත කිරීමේ කටයුතු “ඉට්මිස්” මෘදුකාංගය යටතේ කිරීමට රජය සැලසුම් කර තිබේ.

Comments