![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/11/samanala-wewa.jpg?itok=ZdPK9CaK)
එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනල වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අදාළ අංශ වෙත උපදෙස් නිකුත් කර තිබේ. කුමන ආයතනයක් විසින් කුමන අරමුණකින් මෙම ක්‍රියාව කළේ දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා වැඩි දුරටත් එහිදී උපදෙස් දී ඇත. සමනල වැව ජල ප්‍රශ්නයට හේතුව අනවශ්‍ය වේලාවක දී ජලය මුදා හැරීම බවට ලංකා විදුලිබල මණ්ඩල බලධාරීන් විසින් කර ඇති කරුණු දැක්වීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් මෙම වාර්තාව කැඳවා තිබේ.
උඩවලව ජලාශයේ ජල ගැටලුවක් නොමැති අවස්ථාවක සමනල වැව ජලාශයේ වතුර මුදා හැර ඇති බවට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වී තිබේ.
එසේම උඩවලව ජලාශයෙන් පෝෂණය වන අක්කර 25,000ක් වන කොටසේ අක්කර 13,000 ක් වී වගාවටත් ඉතිරි අක්කර 12,000 අනෙකුත් භෝග වගාවන් වෙනුවෙනුත් වෙන් කර වගා කරන ලෙස කෘෂි බලධාරීන් උපදෙස් දී ඇත්තේ මේ එල්නිනෝ කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනය.
එහෙත් මුළු අක්කර 25,000 ක භූමියේම වී වගා කළේ කවර අරමුණකින් ද කාගේ උපදෙස් අනුව ද යන්න සොයා බලා වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.