- වැටලීම් සිදු කරන තැන් හා ඉන්නා තැන් කලින් දැනුම් දෙන ‘ඇප්’ එකකුත් හදලා
- ඩිජිටල් විසඳුමකට පත් කළ කමිටු ඉබි ගමනේ
ලංගම හදිසි වැටලීම් සිදු කළ ජංගම පරීක්ෂණ අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි අගෝස්තු 11 සිකුරාදා සිට විසුරුවා හරින ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ලංගම සභාපති එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්ට නියෝග කර තිබේ. ඉදිරි සතිය ඇතුළත පුළුල් බලතල සහිත නව හදිසි වැටලීම් ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස ද ප්‍රවාහන ඇමැතිවරයා ලංගම සභාපතිවරයාට නියෝග කර තිබේ.
මෙම හදිසි විසුරුවා හැරීමට හේතු වී ඇත්තේ දකුණ, ඌව ඇතුළු සියලුම පළාත්වල දුර ගමන් සේවා බස් රථ පවත්වාගෙන යාමේදී ප්‍රවේශපත් වංචා, අනෙකුත් දූෂණ හා අක්‍රමිකතා නිසා දිනකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 20ත් 30ත් අතර ප්‍රමාණයක අලාභයක් සිදුවන බව තහවුරු වීමය.
ඒ අනුව මෙම අක්‍රමිකතා හේතුකොට ගෙන වසරකට රුපියල් කෝටි 72ක පමණ පාඩුවක් සිදුවන බව අනාවරණය වී ඇත.
ඉහත වංචාවන්ට අමතරව ජංගම පරීක්ෂණ අංශයේ නිලධාරීන් ද ඉතා සංවිධානාත්මකව පොදු දේපළ මංකොල්ලයකට හවුල් වී ඇති බව අනාවරණය වීම හේතුකොටගෙන අමාත්‍යවරයා ඉහත තීරණයට එළැඹී තිබේ.
ලංගම බස් රථවල ටිකට්පත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු නොකිරීමට අල්ලස් ලබාගන්නා බවද හෙළිවී ඇති අතර ඊට අමතරව පොලිස් නිලධාරීන්ට නිකුත් කරන වවුචර්පත් මඟින් ද වංචාවන් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
එමෙන්ම දුරකතන යෙදවුමක් (App) භාවිත කරමින් වැටලීම් සිදුකරන තැන් හා තමන් ඉන්නා තැන් පිළිබඳව කල්තියා දැනුම් දෙන ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ද අනුගමනය කරමින් රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ මුදල් වංචාවන්ට අනුබල දෙමින් ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියාපිළිවෙතක් ද අනුගමනය කර තිබෙන බව තහවුරු වී ඇත.
එසේම ජංගම පරීක්ෂණ අංශයේ ඇතැම් නිලධාරීන් ඩිපෝවල පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට මුදල් එකතු කර ලබාදෙන ලෙස බලපෑම් කර තිබූ බව ද මේ පිළිබඳ කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙවැනි වංචා වැළැක්වීමේ අරමුණින් මගීන්ගෙන් මුදල් අය කර ගැනීමට ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඇමතිවරයා දුන් උපදෙස්වලට අනුව පත් කළ නිලධාරී කමිටු ඒ පිළිබඳව තීන්දු තීරණවලට එළැඹීම පමාවීම හේතුකොටගෙන දිනපතාම සිදු කෙරෙන වංචා දූෂණ පිටු දැකීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ද බාධා පැමිණ ඇති බවද තවදුරටත් වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථවල ටිකට්පත් වංචා සිදුවන බව අනාවරණය වීමත් සමඟම ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය කෙරෙන වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබියදීත් කඩවත සිට ගාල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයක මගීන්ට නිකුත් කර තිබූ රුපියල් 950ක වටිනාකමින් යුත් ටිකට්පත් 52ක්ම ව්‍යාජ ඒවා බව හෙළිවීම තුළ සිදු කළ විමර්ශනයකට අනුව අමාත්‍යවරයා ජංගම පරීක්ෂණ අංශය විසුරුවා හරින තීරණය ගෙන තිබේ.
එම වංචාව සිදු කළ රියැදුරා හා කොන්දොස්තරවරුන් දෙපළ කඩවත පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
ඊට පෙර ඇඹිලිපිටියේ සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රියක ද මේ ආකාරයේ රුපියල් 40,000කට අධික ව්‍යාජ ටිකට්පත් වංචාවක් ද මීට කලින් අනාවරණය විය.