![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/12/Anula%20De%20Silva.jpg?itok=yodiUKZc)
ජ්‍යෙෂ්ඨ ලේඛිකාවක වන අනුල ද සිල්වා මහත්මිය දිවියෙන් සමුගෙන තිබේ.
ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක ලෙස ඇය කටයුතු කර ඇත.
1941 වසරේ ජනවාරි 28 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ දී උපත ලැබූ ඇය, දිවිසැරිය නිමා කරන විට 83 වැනි වියේ පසුවිය. දිවිගමන නිමවන තෙක් දශක 6ක කාලයක් තිස්සේ පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනියකි, ලේඛිකාවකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අනුල ද සිල්වා, ලේක්හවුසියට බැඳෙන්නේ කෙටි කාලයක් කළ ගුරු වෘත්තියට ද සමු දෙමිනි. පසුකාලීනව මිහිර පුවත්පතේ කතු පදවිය දැරූ ඇය, පසුව තරුණි පුවත්පතේ මුල්පුටුව ද හෙබවුවා ය. ලේක්හවුසියෙන් ඉවත් වු පසුව සිරිකත, වනිතා විත්ති ආදී කාන්තා පුවත්පත්, සඟරා මෙන් ම ළමා පුවත්පත් කිහිපයක ද ප්‍රධාන කතු පදවිය දැරුවා ය.
අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා ඇතුළු නවකතා විශාල සංඛ්‍යාවක් සහ, දෙවියන්ගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word), තිබ්බත දියණිය, (Daughter of Tibbatha), තිත්ත කෝපි වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වූ පරිවර්තන රැසක් ඇය විසින් ලාංකේය ඒකභාෂික පාඨකයාට තිළිණ කර ඇත.
ඇය ලියූ කෘති අතර, ළමා කතා මෙන් ම යොවුන් නවකතා ද වේ. නන්ද හා සරණ කෘතිය හා රාමා සහ දිනූ යොවුන් නවකතා සඳහා ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. ස්වතන්ත්‍ර හා පරිවර්තන නවකතාකාරියක ලෙස පාඨකයන් අතර ජනප්‍රිය ව සිටි ඇය, ඊට වැඩි සමාජ භූමිකාවක කොටස්කාරිනියකි. පුවත්පත් කලාවට කාන්තාවගේ අඩු දායකත්වයක් තිබූ යුගයක, එම කලාවට පෙම්බැඳි ඇය, මාධ්‍යවේදිනී භූමිකාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මුල් පෙළේ සාමාජිකාවක වූවා ය.
ඇයගේ දේහය මහජන ගෞරවය පිණිස අගෝස්තු 13 හා 14 දෙදිනේ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැනපත් කර ඇත. 14 වැනි සඳුදා පස්වරු 4.00ට දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.