විපක්ෂයේ කාර්ය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවෙයි - ජනපති | සිළුමිණ

විපක්ෂයේ කාර්ය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවෙයි - ජනපති

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බවත් තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 
 
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය අරඹමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද(09) මේ බව කීය.
 
“රටට ගැළපෙන පරිදි දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ කළ යුත්තේ සියලුම දෙනා ගැඹුරු මැදිහත් සිතකින් එකඟතාවයකට ආවොත්  පමණයි.
 
සමහර දේශපාලන පක්ෂ බලය බෙදීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අදිමදි කරන බව මට පෙනෙන්නට තිබුණා.අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු කරමු
 
අපේ රට ඉදිරියට ගෙන යන්නට හැකි වන්නේ සියලුම දෙනා එක්ව ඉදිරියට ගියොත් පමණයි. අතීතය පාරමින් නොසිට අනාගතය ගැන සිතමු. රටේ අනාගතය ගැන සිතා පොදු තීරණයකට එළඹෙමු යැයි ජනාධිපතිවරයා කීය.
 
මේ අතර පළාත් සභා පනත  සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
 යෝජිත වෙනස්කම් අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම සහ කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම ඇතුළත් වන බව ජනාධිපතිවරයා සදහන් කළේය. 
 
එමෙන්ම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා  හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූයේ කෙහෙළිය රඹුක්වැල්ලගේ විශ්වාසභංග යෝජනාව සඳහා දින තුනක්වත් විවාදයට අවශ්‍ය බවත් එය උඩින් පල්ලෙන් කිරීමට සූදානම් නැති බවත් ය.
 
ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කළේය.

Comments