ත්‍රිකුණාමලය හා දඹුල්ල කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් | සිළුමිණ

ත්‍රිකුණාමලය හා දඹුල්ල කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක්

ත්‍රිකුණාමලය හා දඹුල්ල නගර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට අදාළව තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලසුම් සැකසීමේ කටයුතු මේ වනවිට සිදුකෙරේ.
 
ඒ යටතේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම මෙන්ම සංවර්ධන කටයුතු සදහා පුද්ගලික ආයෝජකයන් දිරිමත් කිරීමද මේ යටතේ සිදුවේ.
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වේ.
 
අමාත්‍යවරයා පවසන්නේ මෙම ව්‍යාපෘතියට අදාළව  එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද කටයුතු කරන බවයි.
 
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් තවත් උප ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කරන බවයි.
 
ඒ අනුව ත්‍රිකුණාමලය නගර මධ්‍ය වෙරළ තීරය සංචාරක ආකර්ශනය ඇතිවන පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත.
 
තවද ත්‍රිකුණාමලය ෆේඩ් ෆෙඩ්‍ර්ක් බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීම,කන්නියා උණුවතුර ළිං පිහිටි ස්ථාන සංරක්ෂණය කිරීම හා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද නියමිතය.
 
එමෙන්ම අවන්හල් ස්ථානය කිරීමට අවශ්‍ය පුද්ගලික ආයෝජකයන් දිරිමත් කිරීම,නගර ජැටිය වටා පිහිටි පෞරාණික කච්චේරි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම,ඇතුල් වරාය මාර්ගයේ පිහිටි වරාය අධිකාරියට අයත් ඉඩමේ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය පෞද්ගලික ආයෝජකයන් දිරිමත් කිරීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට නියමිතය.
 
විශේෂයෙන්ම පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවායේ පෞරාණිකත්වයට හානියක් සිදුනොවන ලෙසට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත.

Comments