සුඛෝපභෝගී වාහනයක් ගන්නවද බලු සුරතලෙක් ගන්නවද..... | Page 2 | සිළුමිණ

සුඛෝපභෝගී වාහනයක් ගන්නවද බලු සුරතලෙක් ගන්නවද.....

දිතම මිනිසාගේ සිට සෙවණැල්ල මෙන් සිටියේ සුනඛයාය. විටෙක මේ සුනඛයා හාම්පුතාගේ ආරක්ෂකයාය. විටෙක සුරතලාය. රැකියාවට සහාය වූවකු ද විය. තවත් විටෙක පාළුව තනිකම මකන්නට සිටි මිතුරකු වැනිය.

මේ සුනඛ සුරතලා ගේ පරිණාමය ද ක්‍රමයෙන් වර්ධනය වී ගොස් ඔවුන් ද එක් එක් රටවල දේශගුණයට ඔරොත්තු දෙන පරිදි හැඩයෙන් බැල්මෙන් පෙනුමෙන් වෙනස් වන්නට විය. අද වන විට ලොව පුරා සිටින සුනඛයන් වර්ග සංඛ්‍යාව 200කට ආසන්නය.

අප රටේ සිටින සාමාන්‍ය සුනඛයන් මෙන්ම මේ වන විට නාගරිකව බොහෝ මිල අධික මෙන්ම චණ්ඩ ගති පැවතුම් ඇති සුනඛයෝ විවිධ සාත්තු සප්පායම් ලබමින් දිවි ගෙවති. උන් කිසි විටක නිවෙසින් එළියට පා ගමනින් නොයති. සුපිරි රථ ඔවුන් වෙනුවෙන් සූදානම්ය. විශේෂිත චැනලින් සහිත වෛද්‍යවරුය. එන්නත් කාඩේපත් ද ඔවුන් වෙනුවෙන්ම වෙන් කර ඇත. ආහාර වට්ටෝරු ද ඒ ලෙසින්මය. ඔවුන්ටම විශේෂිත වූ විටමින් වර්ග ද ඇත. මෙය ඇතැමකුට පුදුමයට පත් වන්නට කාරණයක් වන්නට පුළුවන. එහෙත් හොඳ මෝටර් රථයකටත් වඩා මිල අධික සුනඛයෝ මේ වන විට මෙරට වෙළෙඳපොළේ වෙති.

එයින් ද රොට් වයලට් නම් විදෙස් සුනඛයන්ට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එක් අතකින් රොට් වයලට් ස්වාමියාට ඉතා කීකරුය. නිහඬව සිටින අවස්ථා වැඩිය. එමෙන්ම උන්ට ළංවන්නට අනෙක් අයට හැකියාවක් නැත. ළං වුවහොත් මුහුණේ පැත්තක්ම නැතිව යන්නට පුළුවන. එතරම් චණ්ඩ ගති ද මේ අය සතුය.

අපේ සුනඛයන් ගනුදෙනු කරන මේ සමාජයේ රොට් වයලට් කිං ලෙස හඳුන්වන සඳුන් පෙරේරා සතුව මේ වන විට රුපියල් කෝටි 3කට අධික රොට් වයලට් ගහනයක් තිබෙන බව අපට සැල විය.

එමෙන්ම මෙරට කිසිම තැනක නොමැති රුධිර ගණයන්ට අයත් රොට් වයලට් අයකුද සඳුන් පෙරේරා සතුව ඇත. ඒ පසුගිය 2022 දෙසැම්බර් මාසයේදී මෙරටට ආ රොට් වයලට් මිතුරෙකි. නමින් ස්ලැප්කෝය. ඒ ජාඇළ මධ්‍යස්ථානයේ සිටින රොට් වයලට් කෙනෙකි. මිල අධිකම රොට් වයලට් ඔහුය. ඒ සර්බියාවෙන් ආ අමුත්තෙකි.

අපි මේ රොට් වයලට් ගහනය ගැන සොයා බැලුවෙමු. සඳුන් පෙරේරාගෙන්ම ඒ ගැන විමසුවෙමු.

‘‘ ඇත්තටම මම මේක ව්‍යාපාරයක් ලෙසින් ආරම්භ කළේ 2016 අවුරුද්දේ. මගේ අරමුණ වුණේ ලංකාවෙ නැති වර්ග ගෙන ඒම. ඒක හුඟාක් සාර්ථක වුණා. රොට් වයලට් හාම්පුතුන්ට කීකරුව ඉන්නවා. ඒ වගේම තමයි එයාල හරි සැරයි. සුරතලයට එහෙමත් නැත්නම් ආරක්ෂාවට වුණත් ලබා ගන්න අය ඉන්නවා. ‘‘

‘‘ රොට් වයලට් දැක්කහමත් බය හිතෙනවා, කොහෙන්ද මේ අය ගෙන්වන්නෙ‘‘

‘‘ මම සර්බියාවෙන් තමයි මේ වැඩි දෙනෙක් ගෙන්වලා තියෙන්නෙ. ඒ වගේම ප්‍රංශය, ක්‍රොඒෂියාව, හංගේරියාව, යුක්රේන්, බල්ගේරියාව, රුසියාව, පෝලන්තය, ස්ලොවේකියාව වගේ රටවලින් මේ අය ඇවිත් තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕන ලංකාවෙ අපි අභිජනනය කරන පැටවුන් සම්බන්ධයෙන් අපි ලොකු වගකීමක් ගන්නවා. අවුරුද්දක් යනකල් ඒ අයගේ වගකීම අපි ගන්නවා. ‘‘

‘‘සාමාන්‍යයෙන් කොහොමද මේ අයගේ වටිනාකම වෙන්නෙ‘‘

‘‘එක් එක්කෙනා අනුව වෙනස් වෙනවා. කොහොමත් රුපියල් 50,000 ඉදල රුපියල් ලක්ෂ 3ක් දක්වා මිල යන පැටවුන් ඉන්නවා. ඒ වගේම ඇතැම් අය සුරතලයට සතුන් ගන්නවා, ඒ වගේම තවත් අය ප්‍රදර්ශනවලට (Dog Show) ගන්නවා. තවත් අය අපට නොකියා බෝ කිරීමට (අභිජනනය කිරීමට) උත්සාහ කරනවා. ඇත්තෙන්ම සුරතලයට වගේම ප්‍රදර්ශනවලට ගන්න එක එකක්. ඒ වුණත් සුරතලයට කියල බෝ කිරීමට ගැනීම නම් අනුමත කරන්නෙ නැහැ. ඒ වගේම කියන්න ඕන මේ සතුන් විදේශයෙන් ආපු අය ඒ නිසා ඒ අයට කරන සැලකිලි සත්කාර ඒ විදිහටම කරන්න ඕන. අපි ළඟ ඉන්න සියලු දෙනාටම අදාළ එන්නත් කාඩ්පත් තියෙනවා. කොහොමත් අපි පළමු එන්නත (පාර්වෝ) ලබා දීලයි සතුන් ලබා දෙන්නේ. ‘‘

‘‘විශාල පිරිසක් ඉන්නවනේ, කොහොමද මේ අය බලා ගන්නෙ, කොහෙද කට්ටියගෙ නවාතැන වෙලා තියෙන්නෙ. ‘‘

‘‘ අපි ලංකාව පුරාම මේ අය වෙනුවෙන් ස්ථාන වෙන් කරල තියෙන්නෙ, ඒ වෙනුවෙන් මම කණ්ඩායම් පත් කරල තියෙනවා. දැනට අපේ වටිනාම කට්ටිය ඉන්න තැන් ටික මම කියන්නම් ටොම් ඉන්නවා මීගමුවේ, ඒ වගේම රෝමන් ඉන්නවා අනුරාධපුරයේ, පූගොඩ ඉන්නෙ හෙරක්ලිට්, ඇරෝ අතුරුගිරියේ ඉන්නවා වගේම කැලණියේ වගේම ජාඇලත් තවත් වටිනා කට්ටිය ඉන්නවා‘‘

‘‘ලංකාවෙ තැත් තැන්වල මේ අය ඉන්නෙ, කවුද මේ අය බලන්නෙ‘‘

‘‘ඒ හැම තැනකම දෙන්නෙක් බැගින් මේ වෙනුවෙන් මම යොදවල තියෙන්නෙ. එහෙම නැතුව මේ අයට සාත්තු සත්කාර කරන්න බැහැ. ඇත්තෙන්ම මම කාලයක් මේ සේවාව නැවැත්තුවා, කරන්න අපහසුකමටම, නමුත් ඉල්ලුම නිසා ආයිත් ආරම්භ කළා. ඉදිරියේදී ගාල්ල, කුරුණෑගල, පොලෝන්නරුව වගේ තැන්වලත් අපි මධ්‍යස්ථාන ඇති කරනවා.

ඒ වගේම ඕනෑම තැනකින් අපේ සත්වයෙක් හරහා ‘ක්‍රොස්‘ කිරීමට ලබා ගන්න පුළුවන්. අපි අදාළ රුධිර ඝන ආදිය පරීක්ෂා කරල තමයි ලබා දෙන්නෙ. ඒ වගේම තමයි අපි දවස් 365ම විවෘතයි. අපට දෙන එක ඇමතුමකින් අවශ්‍ය සේවාව ලබා දෙන්න පුළුවන්. අපට ආපු ඉල්ලීම් අනුව මේ වන විට සතුන් 100කට අධික සංඛ්‍යාවක් අපි ගෙන්වා දී තියෙනවා.

ඒ වගේම අපි අපනයනය කිරීමටත් කටයුතු කරනවා. විශේෂයෙන්ම සතුන්ට ආදරේ කරන අය කවදාවත් ඒ සතුන් මේ රටේ දාල යන්නේ නැහැ. අපෙන් ඒ වෙනුවෙන් උපකාර ඉල්ලනවා. ඇත්තෙන්ම කියන්න සතුටුයි අපනයන සේවාව මම සම්පූර්ණයෙන්ම නොමිලේ ස්වේච්ඡාවෙන් වගේම සතුටින් කරන්නෙ. නමුත් ඇතැම් අය ඒ වෙනුවෙන් විශාල මුදලක් ලබා ගන්නවා.

තමන්ගේ ආදර සුරතලා ගෙනියන්න උදවු කරන එක ලොකු ආශීර්වාදයක් ලෙස සලකළා මම එහෙම කරන්නේ.

ඇතැම් අය අපට කියල තියෙනවා. මගේ මුළු පවුලම ඉන්නෙ අහවල් රටේ මට යන්න වීසා තියෙනවා, නැත්නම් දුවලා පුතාලා එන්න කියනවා, ඒත් මේ බලු යාළුවො දාල යන්න විදිහක් නැහැ කියලා. ඒ අය ඇත්තටම මේ සතුන්ට ආදරේ නිසා තමයි ඒ විදිහට දුවලා පුතාලා ගාවට පවා නොගිහින් ඉන්නෙ. ඉතින් ඒ අයට අපනයනය කරන්න නොමිලේ උදවු කරල දෙනවා.

විශේෂයෙන්ම ඉතාලිය, කැනඩාව, එක්සත් රාජධානිය, වගේ රටවලට අපි සැලකිය යුතු පිරිසක් අපනයනය කරල දීලා තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වලටත් ඒ සහාය ලබා දුන්නා‘‘

බටහිර රටවල් ඇතුළු රටවල් රැසක උප්පත්තිය ලැබූ සුනඛ සුරතලුන් රැසක් මේ වන විට මෙරටට පැමිණ තිබේ. ඇතැම් සුරතලුන් සුනඛ ප්‍රදර්ශනවලට මෙන්ම තවත් අය හාම්පුතුන්ගේ සුරතලුන් වී ඇත. සඳුන් පෙරේරා පවසන පරිදි සතුන් සමඟ ගනුදෙනු කිරීම කටයුතු කිරීම මිනිසුන් සමඟ ගනුදෙනු කරනවාට වඩා පහසුය.

සුරතල් සතුන් පිණිස අලෙවි කරන සතුන් රැගෙන ගොස් අභිජනනය කරන්නට සැරසෙන්නේ නම් එය සෑම අතකින්ම වංචාවකි. එහෙත් එවන් සතුන්ට නිසි සහතිකයක් ලබා දෙන්නට එම අයට හැකියාවක් නැත. මේ සතුන් ලබා ගන්නා අයගේ එක් ප්‍රධාන අපේක්ෂාවක් වන්නේ එම සතුන්ගේ පැටිකිරිය ලබා ගැනීමය. ඒ සැලකිය යුතු මුදලක් ගෙවා තමන් ලබා ගන්නේ කවුරුන්දැයි ඔවුන්ට දැන ගැනීමට අවශ්‍ය නිසාය.

එමෙන්ම මේ සතුන්ට අවශ්‍ය කැල්සියම්, විටමින් ඇතුළු පෝෂණය හා ආරක්ෂිත එන්නත් ඇතුළු සෞඛ්‍යාරක්ෂාව සිදු කළ යුතු ආකාරය සම්බන්ධය අදාළ නිර්ණායක පියවරෙන් පියවර ලබා දෙන්නට සඳුන් පෙරේරා කටයුතු කර තිබේ. ඔවුන් විසින් අභිජනනය කරනු ලබන පැටවුන්ට වසරක කාලයක් එසේ වගකීමක් ලබා දෙන්නේ ද එහෙයිනි.

රොට් වයලට් මිතුරන් මෙරට අභිජනනය පිණිස අවශ්‍ය වන්නේ නම් ඒ වෙනුවෙන් ද අවශ්‍ය කටයුතු කර දෙන්නට සඳුන් කටයුතු කර තිබේ. ඔහුට අවශ්‍ය වන්නේ තම අවශ්‍යතාව නිවැරැදිව දැනුම්වත් කිරීම පමණකි.

අනෙක් අය කරනා දේම බලමින් ඒ දෙස හූල්ලමින් නොසිට වෙනත් මඟක ගමන් කරන්නට සඳුන් ගෙන ඇති මාර්ගය අගය කළ යුතුය. ඒ එක් අතකින් ඔහු නොමිලේම ලබා දෙන සේවය අගය කරමිනි.

Comments