![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/05/AGRI0270.jpg?itok=ZV-0X69f)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තක්කාලි හා බෝංචි එළවළු සඳහා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි එමෙන්ම ජාත්‍යන්තර වෙළෙදපොලට පවා උචිත නව ප්‍රභේද දෙකක් සහ නව බිම්මල් ප්‍රභේදයක් ද හදුන්වා දී තිබේ.
මීට අමතරව ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලිය හැකි ප්‍රෝටීන් බහුල සෝයාවලින් නිෂ්පාදිත යෝගට් විශේෂයක් ද එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම් විසින් නිපදවනු ලැබ තිබේ.
මෙම නව හදුන්වා දීම ජනගත කිරීම පසුගියදා ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.
Hordi Bean 03 නමින් හැදින්වෙන බෝංචි විශේෂය වැඩි අස්වැන්නක් ලබා දෙන දිවයිනේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි බෝංචි විශේෂයකි. හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 27ක අස්වැන්නක් මෙම බෝංචි ප්‍රභේදය මගින් ලබා ගත හැකිය.
Hordi පොකුරු තක්කාලි ප්‍රභේදය. -මෙම තක්කාලි විශේෂය තුළ ඇති විශේෂත්වය නම් ඝණ ඵලාවරණයක් පැවතීමයි. මේ නිසා අනෙකුත් තක්කාලිවලට වඩා ආරක්ෂිතව තබා ගැනීමේ කාලය වැඩි වේ. එමෙන්ම සෝස් හා ජෑම් නිෂ්පාදන සදහා ඉතාමත් උචිත වන අතර ආහාර පාරිභෝජන ආකර්ශණය සඳහා ඉතාමත් උචිත තද රතු පැහැයකින් යුක්තය. හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 67ක අස්වැන්නක් ලබා ගත හැකිය.
Hordi Musgroom Curly බිමිමල් නව ප්‍රභේදය – ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි බිම්මල් ප්‍රභේද දෙක මිශ්‍ර කිරීමෙන් නිපිදවා ඇති බව ප්‍රභේදයකි. ප්‍රෝටින් බහුලය.
සෝයා යෝගට්.- මෙතෙක් අපේ රටේ සෝයා යෝගට් නිපදවා නැත. පළමුවරට සෝයා ආශ්‍රිතව නිපදවන ලද සෝයා යෝගට් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී තිබේ. ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දීම සඳහා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත මෙම සෝයා යෝගට් රුපියල් 20ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව නිපැයුම් හදුන්වා දීමේ අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් විසින් ලෝකයේ අනෙකුත් රටවලට නොදෙවෙනි නිෂ්පාදන රැසක් මේ වනවිට නිපදවා ඇති බවත් ඒවා ජනගත කිරීම සදහා මේ වනවිට පියවර ගෙන ඇති බවත් සදන් කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ද සහභාගි වුවාය.