චීන හා තායිලන්ත ජාතිකයන් විසින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට ලැබීමට තිබූ අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් නීත්‍යනුකූල ලෙස බදු මුදල් ගෙවමින් සාධාරණව ව්‍යාපාර පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයන්ට ද අසාධාරණයක් සිදුව තිබෙන බව කියති.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආනයනය, අපනයනය සහ ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
කමිටු සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ මැණික් සඳහා විදේශයන්හි පැවැති කීර්තිමත් නාමය නැවත ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ මැණික් අපනයනයෙන් සහ ප්‍රතිඅපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අපේක්ෂාව වූ බවය. මැණික් ප්‍රතිඅපනයන සඳහා ආනයනය කිරීමේදී පනවා ඇති සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දෙන් එම ක්‍රියාවලිය නිදහස් කිරීමට දැනටමත් සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.
මැණික් ප්‍රතිඅපනයනය සඳහා කුරියර් මඟින් ආනයනය කිරීමේදී මෙලෙස සියයට 2.5 ක බදු මුදලක් ගෙවීමට සිදුවුවද ඇමරිකානු ඩොලර් 200ක් පමණක් ගෙවීමෙන් ඉතා විශාල වටිනාකමකින් යුත් මැණික් තොගයක් වුවද අතෙහි ගෙන ඒමට (Hand luggage) හැකි බවද මෙහිදී තොරතුරු අනාවරණය විය. මැණික් ව්‍යාපාරිකයන්ගෙන් මැණික් අපනයනයේදී ලාභය මත අයකරනු ලබන සියයට 30ක ආදායම් බද්ද පිරිවැටුම මත සියයට 2.5 වශයෙන් අයකිරීමට ඇති හැකියාව සලකා බලන ලෙසද ව්‍යාපාරිකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.
රසික කොටුදුරගේ