![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/25/Francesco%20Lollobrigida.jpg?itok=5Cydohar)
ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර මෙරට කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ Mozzarella චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය Francesco Lollobrigida මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වේ.
ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යවරයා ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය Francesco Lollobrigida මහතා හමුවී සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වුනු ප්‍රධාන කරුණු කිහිපයකි.
ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයේ මී කිරිවලින් නිෂ්පාදනය කෙරෙන ලොව පුරා ජනප්‍රිය චීස් විශේෂයක් වන Mozzarella චීස් අප රට තුළ නිෂ්පාදනයට හා සෞඛ්‍ය සම්පන්න තෙල් බෝගයක් වන ඔලිව් තෙල් නිෂ්පාදනය සඳහා ඔලිව් වගාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සොයා බැලීම සම්බන්ධව සාකච්ඡා විය.
මෙම කරුණුවලට අදාලව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මී ගව පාලනය ඉතා හොඳින් සිදු කෙරෙන නිසා Mozzarella චීස් නිෂ්පාදනයට පහසුකම් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා ඉතාලි ආයෝජකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඊට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ඔලිව් වගාවට සුදුසු දේශගුණයක් සහිත ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ තිබෙන බැවින් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සුදුසු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව සුහුරු දේශගුනික කෘෂිකාර්මික පද්ධති පිළිබඳව විශේෂඥ හුවමාරුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි මිදි බීජ හුවමාරු වැඩ සටහනක් සකස් කිරීම හා ඒ සඳහා තාක්ෂණික සහයෝගය ලබා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ රටෙ පාංශු ව්‍යුහයට ගැළපෙන මිදි ප්‍රභේදයක් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ පශු සම්පත් අභි ජනන ක්‍රම වැඩි දියුණු කිරීම, පර්යේෂණ විශේෂඥ හුවමාරුව, ඉතාලියේ ගවයින් ශ්‍රී ලංකාව හා හුවමාරු වැඩ පිළිවෙළක් සකස් කිරීම , ආහාර නිෂ්පාදන අංශය තුළ තිරසාර සංවර්ධනය සහ ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික ශ්‍රම බලකායේ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව අමාත්‍යවරු මෙහිදී අදහස් හුවමාරු කර ගත්තේය.
එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ඉතාලි කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනා කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර අදාල කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළැමීමට ද තීරණය කරනු ලැබීය.