13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වාර්ගික ගැටලු විසඳා ගැනීමට ඇති අවසාන අවස්ථාවයි | Page 5 | සිළුමිණ

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වාර්ගික ගැටලු විසඳා ගැනීමට ඇති අවසාන අවස්ථාවයි

මේ රටේ 1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය. එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද සවිමත් වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම කොටසකි. මේ සංශෝධනයේ වැදගත්ම කාරණය වන්නේ රටේ පළාත් 09හි ආර්ථික සංවර්ධනයට දෙනු ලබන දායකත්වයයි. විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර පළාත්වල ආර්ථිකයට දායකත්වය හා සංවර්ධනය සඳහා සංවෘත්ත ලැයිස්තුවක් හා විවෘත ලැයිස්තුවක් ලබාදී ඇත. මේ වනවිට එම සංශෝධනය සිදුවී දිගු කාලයක් ගත වී ඇත. යුදමය වාතාවරණයත් පහව ‍ගොස් වර්තමානය වන විට රටේ සාමය පවතින අවස්ථාවක ජනාධිපතිවරයා මෙය විසඳීමට ක්‍රියාකාරීව දායක වීම පිළිබඳව ඇත්ත වශයෙන්ම කෘතඥතාව පළ කළ යුතුයි. මෙතෙක් පත්වූ නායකයන් යම් යම් පොරොන්දු දීම මිස ඒවා ක්‍රියාත්මකභාවයට පත් නොකරන ලදී. 

වර්තමාන ජනාධිපතිවරයා විසින් ඉතා හොඳින් එම කළමණාකරණය හැසිරවීම සාධනීය ලක්ෂණයකි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා ලබාදී ඇති අතර වර්තමානයේ එම පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා පළාත් සභාවල සම්මත කර ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් පවා ඒ පළාත්වල සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කරනු ලැබීම ද යහපත් ලක්ෂණයකි. මෙහිදී සලකා බැලිය යුතු කරුණක් වන්නේ උතුරු නැඟෙනහිර ක්‍රියාත්මක වන සියලු දේශපාලන පක්‍ෂ සමඟ ජනාධිපතිවරයා සාකච්ජාවක් ආරම්භ කිරීමයි.

ඒ සාකච්ජාවේදී විවිධ ඉල්ලීම් ද කර ඇත. එමෙන්ම ජනාධිපතිවරයා ඊළඟට සිවිල් සංවිධානත් සමඟ සහ උතුරේ ක්‍රියාකාරී ස්වේච්ඡා සංවිධානත් සමඟ සාකච්ජා සිදු කරන්නේ නම් එය තවදුරටත් යථාර්ථවත් වෙනු ඇත.

මෙහිදී වැදගත් කාරණයක් මතු කර දැක්විය යුතු වේ. ඉඩම් බලතල මෙන්ම මූලික වශයෙන් ගත්විට පොලිස් බලතල පිළිබඳව ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුය. ඉඩම් බලතල සම්බන්ධයෙන් කතා කළ විට පෞද්ගලික ඉඩම්වල ඉතා පැහැදිලිවම පවතින්නේ තේසවලාමේ නීතියයි. එහිදී තේසවලාමේ නීතියට අපිට කිසිදු බලපෑමක් කළ නොහැකිය. 1947 පූර්වත්‍ර ආඥාපනතෙන් ඒවා ක්‍රියාත්මක වීම එයට හේතුවයි. එසේම රජයේ ඉඩම් සම්පූර්ණයෙන්ම ඉඩම් ප්‍රතිසංවිධාන කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක වෙයි. එමෙන්ම යුද සමයේදී හමුදා කඳවුරු සහ වෙනත් ආරක්‍ෂක අවශ්‍යතාවන් සඳහා ලබාගත් ඉඩම් වෙයි. එම ඉඩම් මේ වනවිට නිදහස් කරමින් පවතී. ඒ අනුව මේ ඉඩම් ගැටලුව බොහෝ දුරට විසඳා ගැනීමට හැකියාව ඇත. මෙහිදී මතු වී ඇති ප්‍රධාන කාරණය නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සහ ඒකීය භාවය රැක ගැනීමට හැකි ක්‍රමවේදයක් ලෙස පොලිස් බලතල පෙන්වා දිය හැකි වීමයි. මේ රටේ සිටින්නේ එක් පොලිස්පතිවරයෙකි. ඒ පොලිස්පතිවරයා හරහා පොලිස් බලතල කේන්ද්‍ර වෙයි. එහිදී තවදුරටත් පොලිස් බලතල මෙහිදී සඳහන් වන ආකාරයටම ලබා දෙන්නේ නම් එහිදී පාර්ලිමේන්තුවේ 2/3ක් හෝ සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ගේ කැමැත්තෙන් එය ක්‍රියාත්මක කරවීම දක්වා මේ සාකච්ඡාව මෙහෙයවීම ඵලදායක වෙයි. මේ සාකච්ඡාව ඵලදායක වන බව සඳහන් කිරීමට හේතු කාරණාවක් තිබේ. එනම් උතුරු නැඟෙනහිර පොලිසිවල බහුතරයක් රාජකාරී කරන්නේ ඒ ප්‍රදේශවල ජීවත් වන නිලධාරීන් වීමය. එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෝ පුනරුත්ථාපනය කර ඒ පොලිස් ස්ථානවල සිටිනු ලබති. එහිදී රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ මේ යෝජනාව පාර්ලිමේන්තුව තුළින් ගෙන ඒම වැදගත් බවයි. පාර්ලිමේන්තුව තුළදී සාකච්ඡා කර සියලු පක්‍ෂ නායකයන්ගේ කැමැත්තත් ඇතිව ඒ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට යම්කිසි යන්ත්‍රණයක් යෙදිය යුතුයි. මක්නිසාදයත් වරින්වර ඉන්දියාවේ විදේශ අමාත්‍යවරු හා මුදල් අමාත්‍යවරු මෙරටට පැමිණ ලංකාවෙන් ඉල්ලීම් කරනු ලබන්නේ මේ බලතල ලබාදෙන ලෙසයි. එහිදී බලතල ලබා දෙනවිට ව්‍යවස්ථාවේ සහ ප්‍රායෝගික තත්ත්වයක් පවතී. එහිදී මේ ප්‍රායෝගික තත්ත්වය සමස්ත රටටම බලපානු ලබයි. මෙලෙස රටටම බලපානු ලබන කරුණකදී සියලුදෙනාගේම එකඟතාව ලබා ගැනීම වඩා වැදගත් වෙයි.

එහිදී මූලික වශයෙන්ම විය යුත්තේ ටීඑන්ඒ සංවිධානයත් සම්පූර්ණ මස් රාත්තලම ඉල්ලා නොසිට සාකච්ඡාවේදී යම්කිසි ආකාරයකට කැපවීමක් කිරීමයි. දේශපාලඥයෙක් ලෙස ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති කරුණක් නම් මේ ගැටලු ඊළඟ පරපුර දක්වා රැගෙන නොයන බවයි. නොඑසේ නම් මේ ප්‍රශ්නය මැතිවරණයක් ආසන්නයේ මතු වෙයි. මෙය මැතිවරණයක දේශපාලන පොරොන්දුවකට වඩා ජනාධිපතිවරයා යම්කිසි පැහැදිලි දැක්මක් සහ ප්‍රතිපත්තියක් අනුව කතා කරමින් මේ ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උගතුන් ප්‍රාමාණික බුද්ධිමතුන් සහ සිවිල් ජනතාව ලෙස අපිට එකඟ විය හැකියි. මක්නිසාද යත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ව්‍යවස්ථාවේම කොටසක් වන හෙයිනි. එය සත්‍ය නීතියක් නොවන බවට කිසිවකුට තර්ක කළ නොහැකියි.

එහිදී මෙය ක්‍රියාත්මක කර ගැනීමේ යන්ත්‍රණය ජනාධිපතිවරයා ඉතා සංයමයකින් සහ සංවේදී ආකාරයටත්, රටට අවශ්‍ය ආකාරයටත් ඉදිරිපත් කර ඇත. එසේම සියලුදෙනා සමඟ සාකච්ඡා කිරීමක්ද සිදුවේ. ඒ සාකච්ඡාවට යම්කිසි දායකත්වයක් ලබාදී එය ක්‍රියාත්මක වීම තුළ රටටම වාසිදායක වන ආකාරයට එය යොදා ගැනීම වැදගත් වෙයි. රටේ ආර්ථිකයට එසේම සංහිඳියාව සම්බන්ධයෙන් අපි ක්‍රියා කළ යුතුයි. ජනාධිපතිවරයා විසින් ජාතික සංහිඳියාව ප්‍රතිසන්ධානය සම්බන්ධ ආයතන මීට පෙරත් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලදී. යළිත් එම ආයතන බලාත්මක කළ යුතුයි. ජාතික සංහිඳියාව, භාෂා සංහිඳ­ියාව ඇති කරන යන්ත්‍රණයට නව පණක් දීම ඉතා වැදගත් කරුණකි. නව පනතකින් මෙය ක්‍රියාත්මක වනවිට මූලික වශයෙන්ම ආර්ථිකය ගොඩනඟා ගැනීමත් සමඟ මේ දේශපාලනමය ගැටලු විසඳාගත හැකිය. එවිට ආසියාවේ ඉහළ ම රටක් ලෙස අපිට ගමන් කළ හැකියි. එසේ නොමැතිව මේ ප්‍රශ්න පිළිබඳව විපක්‍ෂය එක් ආකාරයකටත්, අනෙක් වාමාංශික පක්‍ෂ තව ආකාරයකටත්, රට පාලනය කරන පක්‍ෂ තවත් ආකාරයකටත් ගමන් කළහොත් එය රටට බරක් විය හැකියි. ඒ බරින් අපි කෙසේ හෝ නිදහස් විය යුතුයි. උදාහරණයක් ලෙස යාපනයේ ගොවියා තමන්ගේ ප්‍රදේශයේ වගාව සශ්‍රික කර ගැනීම උදෙසා කෙසේ හෝ වෙහෙස වී කටයුතු කරයි. ඒ පළාත් දියුණු කර ගැනීම සඳහා විශාල වෙහෙසක් දරයි. උතුර දකුණ යාකරන යාල්දේවි දුම්රිය නැවත ඇති කිරීම හරහා යම්කිසි සංහිඳියාවක් ඇති වෙයි. ඒ අනුව ප්‍රවාහනය යන මාධ්‍යයත් මෙහිදී වැදගත් වෙයි. ඒ දුම්රියත් සමඟම උතුරු දකුණු යා කිරීමක් ඇති විය. ඒ සංහිඳියාවට, ඒ එකතු කිරීම ඉතා වැදගත් වෙයි.

එසේම අතුරුදහන් වූවන් සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රශ්නයක් නඟයි. ඒ නිසා ඒ අතුරුදහන් වූවන් සම්බන්ධව පවා සත්‍ය සෙවීමේ සහ ගවේෂණය කිරීමේ කොමිසමක් ඇති කිරීම ඉතාමත් වැදගත් වෙයි. එවැනි කොමිෂන් දකුණු අප්‍රිකාවේ සහ රුවන්ඩාවේ ද ක්‍රියාත්මක විය. අප්‍රිකාවේ එය ක්‍රියාත්මක වන්නේ ඒ අයගේ සංස්කෘතියත් සමඟයි. මක්නිසාද යත් ඒ රටේ බහුතරයක්ම කතෝලික පිරිස නිසා ඒ රටේ බයිබලය අනුව එවැනි දේ ක්‍රියාත්මක කරයි. ඒ අනුව අපිට රටක් ලෙස පවතින මේ ක්‍රමවේදයට අනුව මෙවැනි කොමිසමක් නිර්මාණය කිරීමට හැකියාව ඇත. මේ කොමිෂන්වලට පණ දීම අපි කළ යුතුයි. නමුත් 2009 මැයි මාසයෙන් පසුව එකී ක්‍රියාමාර්ග අපිට මඟ හැරිණි. එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහොත් ජීනීවා කොමිසමේදීත් අපිට විශාල සහයෝගයක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ තුළින් අපිට විශාල අවකාශයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙයි.

විශේෂයෙන්ම ඉන්දියාව අපට සහයෝගය ලබා දෙන බවට යම් විශ්වාසයක් වෙයි. ණය ගෙවීමට වුවත් යම් කාලයක් අපට ලබාදී ඇත. මින් පෙර දේශපාලන අරමුණු සමඟ ඇතැම් දේ සිදු වුවත්; මේ ප්‍රශ්න විසඳා ගැනීම අත්‍යවශ්‍යයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධව සාකච්ඡා පැවැති අතර පසුගිය කාලයේ ලබාදුන් නඩු තීන්දුව අනුව අපිව නැවත එකතු කිරීමට නොහැකියි. එසේ එකතු කිරීමක් සිදු කරන්නේ නම්; නම් එය කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් නොවන අතර, දේශපාලන පක්‍ෂ සමඟත් සාකච්ඡා කර ඒ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3 ක බහුතරය තුළින් හෝ එසේ නොමැති නම් ජනමත විචාරණයකට හෝ එළැඹීමෙනි. මේ පිළිබඳ ප්‍රශ්නය නිට්ටාවටම සුව කර දීමට අවශ්‍ය නායකත්වය වර්තමාන ජනාධිපතිවරයා ලබා දී ඇත. ඇත්ත වශයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්‍ෂත්, දකුණේ ක්‍රියාත්මක දේශපාලන පක්‍ෂත් විසින් මැතිවරණයක් ආසන්නයේදී පමණක් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සුක නොවිය යුතුයි. එසේ නොකොට ඒ සාකච්ඡාව මේ වන විට ආරම්භ කර තිබීම ඉතා වැදගත් වෙයි. මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යද්දී මේ සඳහා පාර්ලිමේන්තුව හරහා දිය හැකි බලතල ලබාදීමත් එසේම එක් පොලිස්පතිවරයෙක් යටතේ ඒකීය රටක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් මගේ අදහසයි.

මෙහිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ නැවත වතාවක් මේ ආකාරයට සියලු බලතල ලබාදීම තුළ මතු වන ගැටලුවක් නම් ඊට විරුද්ධ වෙනත් කණ්ඩායම් නැඟී සිටීමට ඇති හැකියාවයි. එයට හේතු වන්නේ යුද්ධයෙන් දිනාගත් රට ඇයි අපි දෙන්නේ, අපි යුද්ධ කළේ මන්ද යන්න ගැටලුවක් මතු කරන බැවිනි. රට දිනාගෙන තිබුණත්, යහපත් පරිසරයක් නිර්මාණය කර තිබුණත්, කිසිවකු තේරුම් නොගන්නා කරුණක් නම් බලතල විමධ්‍යගත කිරීමේ සංකල්පයයි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලොකු සටනක් ඇතැම් අවස්ථාවල ගෙන ගියත් අපි කළ යුත්තේ නැවත අළු යට ඇති ගිනි මතු නොකිරීමයි. මේ ප්‍රශ්නය නියමාකාරයෙන් විසඳීමට හැකි ආකාරයට සංහිඳියා කොමිසමක් හරහා ඔවුන්ට මතුවන ප්‍රශ්න විසඳීමයි. එසේම ජාතික සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය සම්බන්ධව ඇති කරනු ලබන ඒ ආයතනය පූර්ව සියලු දේශපාලන පක්‍ෂවලින් සමන්විත ඒ පිරිස්වල නියෝජිතයන් සමඟ ඉදිරියට යා යුතුයි. එසේ බලතල දුන්නත් දැඩි තැනකට එනම් රට බෙදීම වැනි සංකල්පයකට ඔවුන් නැවත පැමිණෙතැයි මා විශ්වාස කරන්නේ නැත.

කෙසේවෙතත් රට බෙදීමක් කිසිසේත් සිදු නොවෙයි. එයට හේතුව පාර්ලිමේන්තුව හරහා මේ දේවල් සිදුවිය යුතුයි. මේ ප්‍රශ්න මතු කරන්නේ කවුද යන කරුණ ඉතා වැදගත් වෙයි. ඉන්දියානු බලපෑමට යට වී ඇති බව ඇතැම් අයගේ අදහස විය හැකියි. අපි ඉන්දියාවත් සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. අලුත් රටක් බිහි වනවිට මේ ගැටලු නැවත මතුවෙතැයි යන සැකයකින් අපි ක්‍රියා නොකළ යුතුයි. ද්වි භාෂා අධ්‍යයනය කිරීම තුළින් මේ ගැටලුව විසදාගත හැකියි. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුයි. මේ සන්නිවේදන හිඩැස් අපි දුරස් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය භාෂාවක් යනුවෙන් 13 වැනි ව්‍යවස්ථාවේ ද සඳහන් වෙයි.

නමුත් එය ක්‍රියාත්මක නොවීම ගැටලුවකි. අපේ ප්‍රශ්න විසඳාගත හැකි අවසාන වතාව මෙයයි. වාර්ගික ගැටලු මතු නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. ගැටලු විසඳා ගැනීමට අපි වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන් ද්‍රවිඩ සංවිධානය එකට එකතු වී මේ ගමන යායුතු බව අවබෝධ කර ගත යුතුය. මේ සඳහා ජාතික සංහිඳියාව ගොඩනඟා ගැනීමට සත්‍ය සෙවීමේ සහ ගවේෂණය කිරීමේ කොමිසමත්, ජාතික සංහිඳතාව ප්‍රතිසන්ධානය ජාතික ඒකාබද්ධතාව ගොඩනඟන ආයතනයත් ඇති කළ යුතුයි. හිත්වල, සිතුවිලිවල වෙනසක් ඇති කරගත යුතුයි. දේශපාලනයෙන් තොරව එකතු වී මේ ගැටලුව විසඳා ගෙන රට ගොඩනැඟිමට සියලු දෙනා දායක විය යුතුයි.

Comments