
ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් බඳු බෲස් ලීගේ අභිරහස් මරණයට ඊයේ පෙරේදා අඩසිය වසක් සම්පූර්ණ විය. අවුරුදු 32ක් වැනි තරුණ වියේදීම ඔහුට ජීවිතය හැර යෑමට සිදු වීම අදටත් ප්‍රහේලිකාවක් බව වසර 50ක් පිරුණු බෲස් ලිගේ මරණය ගැන ලොව පුරා විවිධ රටවල මාධ්‍ය වාර්තා කර තිබිණි. විශ්වයේ සංකේතයක්, 'මනඃකල්පිත වස්තුවක් නොඑසේ නම් සටන් කලාවේ ප්‍රතිමූර්තිය මේ කෙබඳු ආකාරයෙන් හඳුන්වනු ලබන ඔහුගේ ජීවිත කාලය කෙටි වුවත්, ඔහුගේ සටන් කලා ශෛලීය, හොලිවුඩය ඔසවා තැබූ ක්‍රියාදාම සිනමා නිර්මාණ අදටත් ලොව පුරා කතාබහට ලක් වෙයි. එපමණක් නොව වරින් වර ඔහු විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශ පසුකාලීනව උදාන පාඨ බවට ද පත් වී ඇත.
‘මගේ වතුර වීදුරුවේ රස බලන්න කලින් ඔබේ වතුර වීදුරුව හිස් කරලා ඉන්න‘
බෲස් ලීගේ බොහෝ ප්‍රකාශ උදාන පාඨ බවට පත් වී ඇත්තේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාවෙන් බව ඔහුගේ ජීවිතය හා සටන් කලාව සම්බන්ධව අධ්‍යයනය කළ බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ. 1973 වසරේ ජූලි 20 වැනිදා එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හොංකොං දේශයේ කොවුලූන් නුවරදී මේ දාර්ශනිකයා අකල් මරණයකට ගොදුරු වූයේ ඔහුගේ මරණයේ අබිරහස මෙන්ම ජීවිතය ගැන තවත් බොහෝ දේවල් සිතන්නට ඉතිරි කර තබමිනි. පනස් වසරක් ගෙවුණත් බෲස් ලී අදටත් ජීවමාන චරිතයක් වී ඇත්තේ එනිසාය.
ඔහුගේ අනපේක්ෂිත මරණය ලොව පුරා දැඩි කම්පනයට ලක් වූ සිදු වීමකි. ඔහු ජීවතුන් අතර සිටියේ නම් අද වන විට ඔහුට අවුරුදු 83කි. එහෙත් මේ අරුම පුදුම මිනිසා ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ ඔහුගේ සමකාලීනයෝ අතර පමණක් නොවේ. වසර 2000න් පසුව උපන් තරුණ පිරිස අතර ද බෲස් ලී ජනප්‍රිය පුද්ගලයෙකි. හෙතෙම කියැවීමට අසීරු චරිතයකි.
මරණයෙන් පසු හොංකොං දේශයට අභිමානවත් පුත්‍රයකු ලෙසත්, ජපාන විරෝධී ජාතිකවාදියකු ලෙසත්, ආසියාව සහ අමෙරිකාව එකට යා කළ යදම් පුරුකක් ලෙසත්, සුදු ජාතිකයන්ගේ මර්දනයට එරෙහි කළු ජාතිකයන් හා ලතින් අමෙරිකානු ජාතිකයන්ගේ සටන්කරුවකු ලෙසත්, සංවර්ධනය වෙමින් පවතින රටවල හිතවාදියකු ලෙසත්, යටත් විජිතවාදයට එරෙහිව හඬ නඟන්නකු ලෙසත් ලොව පුරා ඔහු සම්බන්ධව මත පළ වීම නිසා බෲස් ලී යනු හුදෙක් සටන් කලාවේ පුරාවෘත්තයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය පුළුල් වපසරියක කොටස්කරුවකු බව අවිවාදිතය. එය ඔහුගේ ජීවිතයට වෙනම අගයක් එක් කළ සාධක බවට පත් වූ අතර, එනිසාම ඔහුගේ අකල් මරණය ගැන සැක පහළ වූ කරුණු කාරණාවලට ද වටිනාකමක් ලැබී තිබිණි.
ලෝක පොප් සංගීතයේ කිරුළු පලන් රජු වන එල්විස් ප්‍රෙස්ලි සහ ලෝක සිනමාවේ ගිනි සිළුව මර්ලින් මොන්රෝ වැනි සමාජයට බලපෑම් කිරීමට තරම් ප්‍රබල තවත් චරිතයක් බවට පත් වී ඇති බෲස් ලී එවැනි කීර්තියක් අත්කර ගත් එකම ආසියාතික නළුවාය. හොලිවුඩය අතික්‍රමණය කළ ප්‍රබලතම පිටස්තරයා ය.
‘ඔබ ජලය මෙන් වෙන්න. ජලයට හැඩයක් නැත. ඊට හැඩයක් ලැබෙන්නේ එය පුරවන බඳුනේ හැඩයට අනුවයි.‘ ඔහුගේ උදාන පාඨ අතර අතිශයින්ම ජනප්‍රිය උදාන පාඨය ඔහුට දාර්ශනිකයකු ලෙසත් සිය ප්‍රතිරූපය ගොඩනැඟීමට ඉවහල් විය. ආසියාවට ඔහු වැදගත් වන්නේ හොලිවුඩය ජයගත් සාර්ථකම ආසියාතිකයා වීම නිසාම නොවේ. ඔහු අමෙරිකාවේ ආසියානු විරෝධී ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රබලත්වය නිසාය. ඔහු ආසියානුවන්ගේ ගෝලීය භූමිකාව බවට පත්වූයේ ද ඒ නිසාමය. බෲස් ලී යනු වචන කිහිපයකට හෝ ලිපියකට ලඝු කළ හැකි ආකාරයේ චරිතයක් නොවන බව නොකියාම බැරිය.
ඊයේ පෙරේදා ඔහුගේ පනස්වැනි අනුස්මරණය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා ගණනාවකට එක් වූ දැනට ජීවමානව සිටින එකම දරුවා ෂැනොන් ලී සිය පියා ගැන තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. බෲස් ලී මිය යන විට ඇගේ වයස අවුරුදු 4කි. ඔහුගේ එකම පුත්‍රයා වූ බ්‍රෙන්ඩන් ලීට අවුරුදු 8කි. පසුකාලීනව සිය පියාගේ අඩිපාරේ යමින් හොලිවුඩ් සිනමාවට එක්වූ සටන් නළු බ්‍රෙන්ඩන් ලී පියා මෙන්ම අබිරහස් මරණයකින් ජීවිතයෙන් සමුගත්තේය. ඔහු මිය ගියේ චිත්‍රපටයක වෙඩි තැබීමේ සිදු වීමක් රූගත කරමින් සිටි අවස්ථාවකදීය. ව්‍යාජ වෙඩි උණ්ඩයක් වෙනුවට පිස්තෝලයට ඇතුළු කර තිබුණේ සැබෑ උණ්ඩයකි. එය වෙනම කතාවකි. 1964දී බෲස් ලී සමඟ අතිනත ගත් අමෙරිකානු ජාතික ලින්ඩා එමරි ද අද ජීවතුන් අතර නැත. එබැවින් බෲස් ලීගේ උරුමයේ එකම අයිතිකාරිනිය දියණිය ෂැනොන් පමණි. ඔහුගේ උරුමය නොනැසී පවත්වාගැනීමට ඇය හුදෙකලා සටනක නිරතව සිටින්නීය. බෲස් ලී පවුලේ සමාගම්වල හිමිකාරිනිය වන ෂැනොන් චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරන අතර, ඇය කියන්නේ සිය පියාගේ ශ්‍රේෂ්ඨත්වය තවත් අවුරුදු පනහකට නොනැසී පවතිනු ඇති බවය.
1940 නොවැම්බර් 27දා අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර උපත ලැබූ බෲස් ලීගේ සැබෑ නම ලී ජුන් ෆාන්ය. සැබෑව නම් ඔහුට නම් තුනක් තිබීමය. ජුන් ෆාන් නමෙහි අර්ථය නැවත පැමිණීම යන්නය. එනම ඔහුට තබනු ලැබුවේ ඔහුගේ මව විසිනි. එපමණක් නොව විවිධ විශ්වාසයන් ඇදහූ කාන්තාවක වන ඔහුගේ මව සයි ෆොන් ලෙස තවත් නමක් ඔහුට තැබුවාය. එහි අර්ථය කුඩා ෆීනික්ස් කුරුල්ලා යන්නය. මේ නම් ද්විත්වයම ඔහුගේ ජීවිතයට බෙහෙවින් බලපෑ බව පෙනේ. බෲස් යන ඉංග්‍රීසි නාමය ඔහුට තබනු ලැබුවේ වෛද්‍යවරියක වන මේරි ග්ලෝවර් විසිනි. පසුකාලීනව ඔහු ලොව ජයගත්තේ එනමිනි. බෲස්ට මාස 4ක් වන විට 1941දී ලී පවුල යළි හොංකොං බලා ගිය අතර, ඉදිරි වසර 4 ඇතුළත ජපානය සහ චීනය අතර ඇතිකරගත් විරසකය දෙවැනි ලෝක මහා යුද්ධයට මුල පිරීමත් සමඟ ජීවිතය අතිශය දුෂ්කර වී තිබිණි.
බෲස් ලීගේ පියා ලී හොයි චුවෙන් දකුණු චීනයේ ඔපෙරා නළුවකු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා වියේදීම රංගනයට පිවිසීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි. අවුරුදු 18 වෙද්දී හෙතෙම චිත්‍රපට 20කට පමණ රංගනයෙන් දායක වීමට බෲස් ලීට හැකි විය. මුල් කාලීනව කිසිදු ආකාරයේ සටන් ශිල්පයක් හදාරා නොතිබූ ඔහුට සටන් කලාව ප්‍රගුණ කිරීමට යොමු කරනු ලැබුවේ පියා විසින් බවත්, එය සිදු වූයේ අවුරුදු 16දී මිතුරන් සමඟ රස්තියාදු ගැසීමේදී වීදි සටන්වලට යොමු වීම නිසා බව කියැවේ. හොංකො දේශයේ සිටියදී වීදි සටන්වලට යොමු වීමෙන් බෲස් ලී බොහෝ දේ ඉගෙන ගත්තේය. ඉවසීම එහි ප්‍රමුඛස්ථානයේ විය.
නොම්මර එකේ කුන්ෆු සටන් ශිල්පියකු වූ බෲස් ලී බොක්සිං ක්‍රීඩකයකු සහ චා චා නර්තන ශිල්පියකු බව දන්නේ අතළොස්සක් පමණි. ඔහු 18 හැවිරිදි වියේදී හොංකොං පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ඊට පෙර වසරේ ශුරයා පරාජය කරමිනි. ඒ වසරේදීම හොංකොං චා චා නර්තන ශූරතාව දිනාගනු ලැබුවේ ද ඔහු විසිනි.
සිය නව යොවුන් වියේදී වීදි සටන් බෲස් ලීගේ දෛනික ජීවිතය බවට පත් වී තිබූ අතර, වරක් ඔහු ඒ වන විට හොංකො දේශයේ නම ගිය අපරාධ කල්ලියක් මෙහෙයවනු ලැබූ ට්‍රයඩ් පවුලේ පුත්‍රයකුට නොසෑහෙන්න පහර දුන්නේය. ට්‍රයඩ් යනු එවකට චීනය පදනම් කරගත් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලියකි.
විදි සටන්වලින් පිරී ගිය බෲස් ලීගේ නව යොවුන් විය ඔහුගේ පාසලට ද හිසරදයක් බවට පත් වී තිබූ අතර, වරක් ඔහු පාසල් ගොඩනැගිල්ලේ වහලය මත නැඟ තවත් සිසුවකුගේ දත් කැඩෙන්නට පහර දීමෙන් පසු තත්ත්වය වඩාත් බරපතළ විය. තුවාල ලැබූ සිසුවාගේ මාපියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු බෲස්ගේ මව පොලිසියට ගොස් පුත්‍රයාගේ ක්‍රියාකලාපයේ සම්පූර්ණ වගකීම බාරගන්නා බවට ලිපියකට අත්සන් තැබුවාය. උපතින්ම අමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටි බැවින් සිය පුත්‍රයා නැවත අමෙරිකාවට පිටත් කිරීමට ඇය තීරණය කළේ ඉන් පසුවය. බෲස් ලීගේ ඉරණම තීන්දු කළ අමෙරිකානු ගමන සිදු වූයේ ඒ අනුවය.
ඊළඟ දශකයේදී බෲස් ලී සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී සිය අනාගතය තහවුරු කර ගත්තේය. ඔහු ජිට් කුන් දෝ සටන් කලාව දර්ශනයක් බවට පත් කරගත් අතර, සෙන් බුද්ධාගම සහ පුරාතන චීනයේ පැරැණිතම ආගමක් වන තාඕවාදය නොඑසේ නම් ඩාඕවාදය අනුගමනය කිරීමට පටන් ගත්තේය. එය ඔහුගේ ජිවිතයට නව එළියක් බවට පත් වූ අතර, පසුකාලීනව දාර්ශනිකයකු ලෙස ලොවට උදාන පාඨ බෙදා හැරීමට එය හේතුවක් වන්නට ඇත.
වසර 1961 මාර්තුවේදී වොෂින්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නාට්‍ය කලාව, දර්ශනය, මනෝවිද්‍යාව හැදෑරූ බෲස් ලී සටන් කලාවෙන් නමක් දිනා ගැනීමෙන් පසු රූපවාහිනි චිත්‍රපට ක්ෂේත්‍රයට එකතු වීමට අවස්ථාව උදා වී තිබිණි. ඔහුට නළුවකු ලෙස නැඟී සිටීමට ඉවහල් වූයේ ‘දි ග්‍රින් හෝනට්‘ රූපවාහිනි චිත්‍රපට මාලාවය. එය ඔහුගේ රංගන ජීවිතයේ ප්‍රේක්ෂකයන් අතරට ගිය පළමු අවස්ථාව ද විය. අනතුරුව ඔහුගේ ජීවිතය අමෙරිකාව සහ හොංකොං දේශයේ දෝලනය වූ අතර, ලොව පුරා අතිශය ගෞරවයට හා කීර්තියට පත් නළුවකු බවට පත් විය.
පසුකාලීනව ‘ද බිග් බොස්, ෆස්ට් ඔෆ් ෆියුරි, ද වේ ඔෆ් ද ඩ්‍රැගන්, එන්ටර් ද ඩ්‍රැගන්, ගේම් ඔෆ් ඩෙත් වැනි චිත්‍රපට රැසකින් හොලිවුඩය ජයගත් හෙතෙම අකල් මරණයට ගොදුරු වූයේ 1973 ජූලි 20 වැනිදාය. හොං කොං හි කොවුලූන් නුවර පිහිටි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි තායිවාන නිළියක වූ බෙටී ටිං පෙයිගේ කාමරයේදීය.
ඇය ඔහුගේ චිත්‍රපට සහාය නිළියකි. ඔහු ඇගේ කුටියට ගොස් ඇත්තේ චිත්‍රපට තිර රචනයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට බව කියැවේ. එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායකවීමට තෝරා ගෙන තිබුණේ බෙටීය. ඔහු ඇය සමඟ කතාබහ කරමින් සිටි බවත්, දරුණු හිසේ කැක්කුමක් ගැන කී විට ඇය ඔහුට වේදනා නාශක පෙති කිහිපයක් පානය කිරීමට දුන් බවත් පසුව අනාවරණය වී තිබිණි. ගෝල්ඩන් හාවස්ට් චිත්‍රාගාරයේ හිමිකරු රේමන්ඩ් චෝ එදින රාත්‍රි ආහාරයට බෲස් ලීට ඇරියුම් කර තිබිණි. රේමන්ඩ් සහ බෲස් ලි සමීප මිතුරන් වූ අතර, බෙටී සමඟ සාකච්ඡාවෙන් පසු දෙදෙනා මුණ ගැසීමට නියමිතව සිටි බවත් වාර්තා විය. එහෙත් දරුණු හිසදරයෙන් පසු බෙටී දුන් වේදනා නාශක පෙති පානය කිරීමෙන් පසු බෲස් ලී නින්දට වැටුණු බවත්, පසුව ඔහු ඇහැරවීමට ඇය ගත් උත්සාහය අසාර්ථක වීම නිසා රේමන්ඩ් කැඳවීමට බෙටී කටයුතු කළ බවත් කියැවේ. රේමන්ඩ් පැමිණ ලීගේ පෞද්ගලික වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් දීමට ගත් උත්සාහය සාර්ථක නොවීමෙන් පසු බෙටී සිය පුද්ගලික වෛද්‍යවරයා නිවාස සංකිර්ණයට කැඳවා තිබේ. බෲස් ලීගේ තත්ත්වය බරපතළ බැවින් රෝහලගත කිරීමට පිරිස තීරණය කිරීමෙන් පසුව ගිලන් රථයක් පැමිණීමට තවත් කාලයක් ගත වී තිබේ. අවසානයේදී ඔහු රෝහල් ගත කර ඇත්තේ බෙටී දුන් වේදනා නාශක පෙති පානය කිරීමෙන් පැය 6කට පසුවය.
ඔහුගේ සිරුරේ බාහිර තුවාලයක් නොතිබුණු බව සඳහන් වේ. එහෙත් ඔහුගේ මොළය දරුණු ලෙස ඉදිමී තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය. ඊට මාස දෙකකට පෙර එනම් මැයි 10 වැනිදා හොංකොං දේශයේ ගෝල්ඩන් හාවස්ට් චිත්‍රාගාරයේදී දරුණු හිසරදයකින් බිම ඇද වැටුණු බෲස් ලී මස්තිෂ්කය ඉදිමීමේ තත්ත්වයකට ගොදුරු වී ඇතැයි වෛද්‍යවරු නිගමනය කර තිබූ බැවින් ඔහුගේ මරණයට හේතුව එය බවට වෛද්‍යවරු තහවුරු කළේය. කතාවේ හැටියට එය ස්වභාවික මරණයකි. ඔහු මිය ගියේ මස්තිෂ්කය ඉදිමීමෙනි.
එහෙත් නොකී කතාව ඊට වෙනස්ය. ඔහුගේ මරණින් වසර ගණනාවකට පසුවත්, ඊයේ පෙරේදා අඩසිය වසක් සම්පූර්ණවීමෙන් පසුවත් කරළියේ යළි යළිත් ජීවමාන වන්නේ එකම කතාවකි.
බෲස් ලී මැරුණා ද? මැරුවා ද? එය විවාදයට තුඩු දෙන ආකාරයේ කතාවකි.
ඔහුගේ මරණය සම්බන්ධව ගෙතුණු අබිරහස් රැසකි. සැකයට තුඩු දෙන ආකාරයෙන් බෲස් ලී මිය යෑම නිසා ඒවා හොංකොං දේශයේ ජනතාව අතර මෙන්ම ජාත්‍යන්තරයේ ද වරින් වර කතාබහට ලක් විය.
ඇතැමුන් කියන්නේ බෲස් ලී ගේ මරණය සැලසුම් සහගත ඝාතනයක් බව ය. ඔහු සිය යොවුන් වියේදී හොංකොං දේශයේ නම ගිය අපරාධ කල්ලියක් වූ ට්‍රයඩ් පවුලේ පුත්‍රයකුට පහරදීම හේතුවෙන් වසර ගණනාවක් පුරා සිදු කළ සැලසුම් සහගත ඝාතනයක් බවය. බෲස් ලීගේ පහරදීමට ලක් වූ එවකට චීනය පදනම් කරගත් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලියක් වූ ට්‍රයඩ් පවුලේ පුත්‍රයා මේ ඝාතනය සැලසුම් කරන්නට ඇතැයි ද, ඒ සඳහා තායිවාන නිළියගේ සහය ලබාගන්නට ඇතැයි ද මත පළ වී තිබිණි. බෲස් ලී මිය යෑමට පෙර තායිවාන නිළිය සමඟ ලිංගිකව එක්වූ බවටත්, ඇය ඔහුගේ අනියම් පෙම්වතිය බවටත් එවකට චෝදනා එල්ල වී තිබූ අතර, ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම බෲස් ලී මිය ගිය දිනයේ රාත්‍රී ආහාරයට ඔහුට ඇරියුම් කළ ඔහුගේ මිතුරකු වූ ගෝල්ඩන් හාවස්ට් චිත්‍රාගාරයේ හිමිකරු රේමන්ඩ් විසින් තායිවාන නිළිය යොදා සැලසුම් සහගතව බෲස් ලී ඝාතනය කරන්නට ඇතැයි ද මත පළ වී තිබිණි. රේමන්ඩ්, තායිවාන නිළිය හා ට්‍රයඩ් පවුල එක්ව බෲස් ලී ඝාතනය සැලසුම් කරන්නට ඇතැයි ද තවත් අදහසක් ඉස්මතු වී තිබිණි.
සටන් කලාවේ පුරාවෘත්තයක් බඳු බෲස් ලී මිය යෑමෙන් අඩසියවසක් ගෙවී ගියත් ඔහුගේ මරණය ගැන පළ වන මෙවැනි විවිධ මත රැසකි. ලොව බොහෝ ජනප්‍රිය පුද්ගලයන්ගේ අබිරහස් මරණ මෙන්ම ඉතිහාසයේ වැළලී ගිය ද බෲස් ලීගේ අබිරහස් මරණය වසරින් වසර නැවත ඉස්මතු වන්නේ ජනතාවට සිතන්නට යමක් ඉතිරි කරමිනි. ඉතිහාසය පුරා ඔහුගේ ප්‍රතිරූපයට සහ උදාන පාඨවලට ඇති වටිනාකම තව තවත් ඉහළ දමමිනි.
‘යම්කිසි දෙයක් ගැන සිත සිතා වැඩිපුර කාලය මිඩංගු කරන්නේ නම් ඔබට එය කිසිදිනෙක ඉටුකර ගත නොහැකිය. ඔබේ ඉලක්කය කරා යෑමට දවසකට එක වතාවක් හෝ පියවරක් ඉදිරියට තබන්න.‘