![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/22/NW03-2.jpg?itok=T5yFcHrl)
හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක සිටිය දී අතුරුදන් වු මවගේ සහ දරුවාගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක සිටි 24 හැවිරිදි මවක සහ මාස 11ක බිළිඳියක අතුරුදන්ව සිටියේ පසුගිය 18වැනිදා සිටය. මෙම කාන්තාවගේ සැමියා එදින රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ සිය බිරිඳගේ සහ දරුවාගේ අතුරුදන් වීම සම්න්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගනු ලැබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා පිළිබඳ සැක මතුව තිබු අතර, ඔහු නිවසින් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
ඒ අනුව ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අද උදෑසන සැකකරුගේ වරකාගොඩ පිහිටි නිවසට ගොස් තිබිණි.
එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට උත්සහ කර ඇති අතර ,එය වැළැක්වීම හේතුවෙන් ඔහු තියුණු ආයුධයෙන් තමාටම තුවාල සිදු කරගත් බවද පොලිසිය පවසයි.
සැකකරු මේවන විට පොලිස් භාරයේ හොරණ රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.