තේ දල්ලෙන් ලෝකයක් දිනූ විසල් මිනිාසාගේ නික්ම යෑම | Page 5 | සිළුමිණ

තේ දල්ලෙන් ලෝකයක් දිනූ විසල් මිනිාසාගේ නික්ම යෑම

ශ්‍රී ලාංකේය තේ කර්මාන්තය ලෝකයට රැගෙන ගිය ඒ විසල් මිනිසා, පසුගිය 20 වැනිදා උදෑසන සියල්ල හැර දමා දෑස් පියා ගත්තේ ය.

වයසට ආ ලෙඩ හැරෙන්නට ඔහු අවුරුදු 91ක් වන තුරු ම ක්‍රියාශීලී පුද්ගලයකු වූයේ ය. සිය පදනම මඟින් සිදු කෙරෙන සමාජ සද්කාර්යයන් විමසන්නට දකින්නට සිය පුතුන් දෙදෙනා සමඟ රට පුරා සංචාරය කළේ ය. ඇවිදින්නට බැරි වන විට ඔහු සිය මලික් සහ ඩිල්හාන් පුතුන්ගෙන් ඒවායේ තත්ත්වය පිළිබඳ නිරන්තර විමසී ය. 

ඩිල්හාන් පුතුගේ බිරිය සෙරීනා පසුගිය දිනෙක ඔත්පලව සිටි මාමණ්ඩියට යමක් කීවේ ඔහු සතුටු කරන්නට සිතාගෙන ය.

"තාත්තේ! අපි තාත්තගේ පදනමෙන් පිළිකා රෝහලේ දරුවන්ගේ මවුපියන්ට ඉන්න 'සුව අරණ' ගොඩනැගිල්ලට කාමර අටක් හදලා දුන්නා. දැන් දුර පළාත්වලින් එන අම්මලාටයි දරුවන්ටයි ප්‍රතිකාර ඉවර වෙන කල් එක ළඟ ඉන්න පුළුවන්..."

එහෙත්, සතුට වෙනුවට සෙරීනා දුටුවේ ඔහු දුක් වන ආකාරය යි. 'අටක් මදි දුව, දාහක්වත් හදන්න ඕනේ. මේ රටේ මිනිස්සු හරියට දුක් විඳිනවා...'

" තාත්තට ඕනෙ වුණේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනවා ම හරි දෙයක් කරන්න. විශේෂයෙන් ලෙඩ වෙච්ච දරුවන්, down syndrome වැනි ආබාධවලින් පෙළෙන දරුවන් ජීවිත කාලය ම ඒ විදියට ගත කරන එක ගැන තාත්තට තිබුණේ පුදුම දුකක්. ඒ අයව ටිකක් හරි නඟා සිටුවන්න පුළුවන් විදියක් ගැනයි හැම වෙලාවෙම කල්පනා කළේ. ඒ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කළේ..."

1930 ඉපදී අවුරුදු 93ක් ආයුෂ විඳි, Dilmah නිර්මාතෘ, මෙරිල් ‍ජෝසෆ් ප්‍රනාන්දු හෙවත් එම්. ජේ. ප්‍රනාන්දු යනු, ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ පුරාවෘත්තය යි.

'ඇයි ඔබට මිනිස්සු එහෙම කියන්නේ...' දිනෙක මා ඔහුගෙන් විමසූයෙමි.

'තේ කර්මාන්තයේ හැම අහුමුල්ලක් ම දන්නා නිසා වෙන්නත් ඇති. සේරටම වඩා කවුරු හරි මාව ලෙජන්ඩ් කෙනෙක් විදියට දකිනවා නම් දකින්න ඕනෙ, ම‍ගේ ව්‍යාපාර දර්ශනය නිසයි. ඒ දර්ශනය, ව්‍යාපාරිකයා වෙච්චි මං විතරක් හැදෙන එකක් නෙවෙයි. මං ජීවත් වන මේ මිනිස් සමාජයේ දුප්පතුන් හා බැඳුණු විසල් දර්ශනයක්...'

දුප්පතුන්ට සැලකීමේ ගුණය ඔහු උගත්තේ මවුපියන්ගෙනි.

'ඉස්සර ගමේ උදවිය හුඟ දෙනෙක් අපේ ගේ ඉස්සරහින් ගියේ ඒ ගෙවල්වල හැදුණු ගඩා ගෙඩියක් හරි අපේ අම්මට දීගෙන. අම්මා ඒ අයගේ ළමයින්ට, තාත්තා මට ගෙනැත් දෙන ටොෆි - චොක්ලට්වලින් බාගයක්ම දුන්නා. මං ඒකට තදින්ම විරුද්ධ වුණා. ‘පවු පුතා! ඒ ළමයි මේවා දැකලවත් නැතුව ඇති. ටිකක් දෙමු...’ අම්මා කිව්වෙ එච්චරයි. ඒ තමයි, මම අම්මගෙන් ඉගෙන ගත්තු බෙදා හදා ගැනීම...'

ජීවිත විනය ඔහු උගත්තේ තාත්තගෙනි. එහෙයින් සිය ජීවිත කාලය පුරා කිසිවකුගේ හිත් නොරිදවීම පිළිබඳ ඔහුට ඇත්තේ අප්‍රමාණ සතුටක් බව දිනෙක ඔහු ම කීවේ ය.

"හැම ඉරිදම පාන්දර හතරහමාරට නැඟිටලා පහ වෙද්දි පල්ලියට ගියා. 'මුළු දවසෙම අපි නිකන් ඉන්නෙ, මේ හැටි පාන්දර නැගිට්ටවා ගෙන පල්ලි යන්න කියන්නේ ඇයි...?’ දවසක් මං ඇහුවා.

‘ඒක තමයි සිරිත. සතිය පටන් ගන්න පළමු දවසේ දෙවියන් වෙනුවෙන් මේ යුතුකම අපි කරන්නම ඕනෙ පුතා...’ ඒ තමයි, තාත්තාගේ උත්තරේ. විනය කියන දේ අපේ ජීවිතවලට කා වැද්දුවේ තාත්තා. අනික මං ඉගෙන ගත් මීගමුව මාරිස්ටෙලා සහ මරදාන සෙන්ට් ජෝසෆ් කොලේජ් පාසල්වලින් මගේ ජීවිතයට එක් වූ දෑ අපමණයි...",

තේ සහ ඔහුගේ බැඳීම ඇරැඹෙන්නේ පූඬළුඔය සිය මිතුරෙකුගේ තේ වත්තේ ගත කළ නිවාඩුවක දී ය.

" දුෂ්කර ජීවිතයක් වුණත් වතුවල ගැහැනු දලු කැඩුවේ හිනා වෙවී. එතැන සතුට තිබුණා. ඒ සීතල පරිසරයේ තේ ගස් අතර ඇවිදින කොට අපේ රටේ මේ තරම් ලස්සන - ප්‍රයෝජනවත් වගාවක් කරන්න පුළුවන් වීම ගැන සතුටක් දැනුණා. ෆැක්ටරි ළඟින් යනකොට නහයට දැනෙන තේ කොළ සුවඳ මං ආසාවෙන් විඳගත්තා. මේ හැම දේම එකතු වෙලා අවුරුදු දාහතරක ළමයෙක් වෙච්ච මට, තේ ගැන ලොකු ළැදියාවක් දැනෙන්න ගත්තා. ‘තේ කියන්නේ මගෙත් දෙයක්.’ මං හිතන්න ගත්තා..."

ඒ සිතිවිල්ල වෙනුවෙන් ඔහු බොහෝ දෑ කළේය. බොහෝ දුෂ්කර ක්‍රියා කොට ‘ටී - ටේස්ටර්’ කෙනකු වූයේ ය.

" රට අපේ වුණාට ඒ කාලෙ සිංහල අයව සුද්දගෙ සමාගම්වලට බඳවා ගත්තේ නැහැ. ගත්තත් ගත්තේ කොළඹ හතේ ලොකු පවුල්වල තරුණයන්ව. කොච්චිකඩෙන් ආපු මාව ඒ කාලෙ මට ම දැනුණෙ ගොඩේ මනුස්සයෙක් ගාණට. ඒ තරමට ඒ සමාජය වෙනස්. හැබැයි මාත් හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබලා තිබුණු නිසා, ඉංග්‍රීසිකාරයෙක් ගාණටම ඉංග්‍රීසි කතා කළා. අවුරුදු දෙකක් මම ටී ටේස්ටින් ඉගෙන ගත්තා..."

තවත් දුෂ්කර වසර ගණනාවකින් පසු 1962, ‘මෙරිල් ජේ. ප්‍රනාන්දු කම්පනි ලිමිටඩ්..’ නමින් ඔහු සිය සමාගම පටන් ගත්තේ ය. තමන්ගේ ම බ්‍රෑන්ඩ් එකක් ලෙස, 1988දී තේ ලෝකයට Dilmah හඳුන්වා දුන්නේ ය.

Dilmah යනු, Dilhan සහ Malik මගේ පුතාලා දෙන්නගේ නම්වල එකතුව. අද මුළු ලෝකයම ‘ඩිල්මා’ කිව්වම, සිලෝන් ටී කියලා දන්නවා. කර්මාන්තයට ඇවිත් අවුරුදු 35කට පස්සෙයි මං බ්‍රෑන්ඩ් එකක් හැදුවේ. ඒ කියන්නේ මට වයස 58 දි. 

පුංචි කාලෙ ඉඳලා මං මගේ පුතාලා දෙන්නට තේ ගැන හැඟීම ඇති කළා. ඒ නිසා දෙන්න ම ව්‍යාපාරයට ආවේ හොඳ පදනමක් සහ හැඟීමක් ඇතිව. ව්‍යාපාරවලින් ඔබ්බට ගිය අපේ සමාජ සද්කාරක වැඩසටහන් සියල්ලට අද ඒ දෙන්නගෙ ම පූර්ණ දායකත්වය ලැබෙනවා. ව්‍යාපාරය තුළ මං හැදූ වටිනාකම් ඒ දෙන්නත් ඒ දෙන්නගෙ දරුවොත් ඉදිරියට අරන් යාවි. මට ඒ ගැන බයක් නැහැ..."

Dilmah හැදුවේ තේ පමණක් නොවේ. දුප්පතුන්ගේ ආර්ථිකය නඟා සිටුවනු වස් බොහෝ වැඩසටහන් ඔහු ක්‍රියාත්මක කළේ එම්. ජේ. ප්‍රනාන්දු පදනම ඔස්සේ ය.

සමාජයෙන් කොන්ව ජීවත් වන්නට සිදුව ඇති down syndrome සහ ආබාධිත දරුවන් මෙන්ම තරුණ තරුණියන් උදෙසා මඩකලපුව, රාජගිරිය සහ මොරටුව එම්.ජේ. ප්‍රනාන්දු මධ්‍යස්ථානවල විශේෂ වැඩසටහන් ගණනාවක් ඔහු පවත්වාගෙන ගියේ, ඒ එම ජීවිත නඟා සිටුවන සුවිශේෂී අධ්‍යාපන සංවර්ධන සේවාවක් ලෙසිනි.

එම මධ්‍යස්ථාන හරහා දුගී දුප්පත් පවුල්වල දරුවන් සුදුසුකම් ලත් වෘත්තීය සූපවේදීන් බවට පත් විය. දලු නෙළන අයගේ දරුවන් අතරින් වෛද්‍යවරයකු ද බිහි වූයේය.

අනාථ - ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනයේ සිට සුළු ව්‍යවසායකයන් බිහි කිරීම දක්වා, මිනිසුන් ලක්ෂ ගණනක ගේ ජීවිත වෙනස් කරන්නට ඔහු ගේ පදනමට හැකි වී තිබේ.

එසේ ජීවත් වීමට සුදුසු වෘත්තීයක් ඉගෙන එම දරුවන් සහ තරුණ තරුණියන් සංවර්ධනය වනවා දකින විට ඔහු ලද සතුට අප්‍රමාණ විය. වයස 91 වන තෙක් ම සතියට දෙතුන් දිනක් හෝ ඔහු කාර්යාලයට ගියේ ය. ඇවිදින්නට පුළුවන් තාක් කල් තේ වතුවල සහ කර්මාන්තශාලාවල ඇවිද්දේ ය. තේ කෝප්පයක නියම රස සහ ගුණය විඳ ගැනීමට සීනිත් කිරිත් නැතිව දවසකට තේ කෝප්ප හත අටක්වත් බීවේ ය. ඉඩක් ලද සෑම විටම කටුබැද්දේ මධ්‍යස්ථානයට පැමිණ එහි කටයුතු දෑසින් දැක ගත්තේ ය. විශේෂයෙන් කටුබැද්ද නගර මධ්‍යයේ අක්කර ගණනක පැරැණි වෙලෝනා ඉඩමේ ඔහු නිර්මාණය කළ වෘක්ෂලතාවලින් සපිරි මහ වනාන්තරයේ ටික වේලාවක් හෝ ගත කළේ ය.

ඩිල්හාන් මලික් පුතුන් පමණක් නොව මේ ගමන් සඳහා ඔහු සිය වැඩිමල් මුනුපුරු අම්රිත්ව ද සහභාගී කර ගත්තේ ය. අම්රිත්, තමන් අනුගමනය කරමින් ඩිල්මා තුන්වැනි පරම්පරාව ලෙස වැඩ පටන් ගෙන තිබීම පිළිබඳ ඔහු බොහෝ සෙයින් ආඩම්බර විය.

අම්රිත් මෙන්ම කියාරා, ටාෂා, අමායා සහ ඩෙවින් යන මුනුපුරු මිනිබිරියන් පස් දෙනා ද ඔහුගේ ජීවිතය සතුටින් තබන්නට හේතු වුයේ ය.

මලික් ලොකු පුතුගේ බිරිය කිමාර්ලිත්, ඩිල්හාන් දෙවැනි පුතුගේ බිරිය සෙරීනාත් දියණියන් නැති ඔහුට දියණියන්ම විය.

"දෙවියන් වහන්සේ දීපු දවසේ හැම වෙලාවක් ම මට හොඳ වෙලාවක්. රටවල් 110කට, ගුවන් සමාගම්, තරු හෝටල්... ලොකු කොම්පැනි හැම එකකටම ඩිල්මා තේ යවන මේ මොන බිස්නස් එකක්වත් මම පටන් ගත්තේ වෙලාවල් බලලා නෙවෙයි. පවු කළොත් කොයි වෙලාවෙ හරි ගෙවන්න වෙයි. හොඳක් කළොත් ඒක ලැබෙයි. එච්චරයි.

ඔබ ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් මගේ ව්‍යාපාර දර්ශනය හදාරන්න. එවිට, ඔබත් දියුණු වෙන ගමන් ඉපදුණු රටට වැඩ කරන්න පුළුවන් අනේක විධි ඔබට පෙනේවි. අනෙක තමයි ඔබ මොනතරම් කෝටිපතියෙක් වුණත් වැඩක් නැහැ, ඔබට බැහැපත් ජීවිතයක් ගත කරන්න බැරි නම්..."

සිය වසකට වසර කිහිපයක් අඩු ඔහු ජීවත් වූ මේ කාල පරිච්ඡේදය තුළ ඔහුගේ ජීවිතය පිළිබඳ සියලු තොරතුරු සහ ඡායාරූප ඇතුළත් පිටු 400ක ස්වයං අපදානය පසුගියදා එළි දැක්වූයේ පසුගිය මැයි 06 වැනිදා ට යෙදුණු ඔහුගේ උපන් දිනයට සමගාමීව ය.

ඒ පොත ඔහු අවසන් කර තිබුණේ ඩිල්මා ලෝකයට ගෙන යන්නට ඔහුට සහාය වූ සැමට ස්තුති කරමිනි.

'මේ පොත බොහෝ දෙනකුට උපහාරයක්. ඔවුන්ගෙන් සමහරක් දැන් අප අතර නැත. මගේ මවුපියන්, සහෝදර සහෝදරියන්, මගේ මිතුරන්, දශක ගණනාවක් මා සමඟ කරට කර වැඩ කළ අය, මගේ පුතුන් වන මලික් සහ දිල්හාන්, ඔවුන්ගේ දරුවන් සහ අපේ වතු කම්කරුවන් සහ ගොවීන් ද ආදරයෙන් සිහිපත් කරමි.

මගේ කතාව ලොව පුරා සිටින තරුණ ව්‍යවසායකයන් සඳහා පිළිගන්වමි. යහගුණ සමඟ අඛණ්ඩව ඔබේ ආශාවන් හඹා යෑමට මේ පොත ඔබව දිරිමත් කරනු ඇත.

වැදගත්ම දෙය නම්, මම බලාපොරොත්තු සුන් වී යාඥා කළ විට මට ප්‍රඥාව ලබා දුන්, සියල්ල නැති වී යැයි සිතන විට මට අවස්ථා ලබා දුන්, කරුණාවේ වැදගත්කම මට කියා දුන් මගේ ස්වාමින් වහන්සේට මේ පොත කැප කරමි...'

ඉතින්, ඩිල්මා හැදූ මෙරිල් ජේ. ප්‍රනාන්දු යනු ඉතිහාසයේ පරිච්ඡේදයකි. ජීවිත පාඩම් රැසක් කියා දෙන පරිපූර්ණ පුස්තකයකි.

සීත කඳුකරයේ වැඩෙන තේ දලුවකට ජාත්‍යන්තර වටිනාකමක් එක් කළ පුරෝගාමියා, මේ මොහොතේ සිට අප අතර නැතත් ඔහු කියවන්නට වත්මන් ව්‍යවසායක පරම්පරාවට බාධාවක් නැත. ඒ තරමටම ඔහු ඉතිරි කර ගොස් ඇති දෑ බොහෝ ය.

මෙරට ව්‍යාපාර නායක ලැයිස්තුවේ ඉහළින් ම සිටි මෙරිල් ‍ජෝසෆ් ප්‍රනාන්දු හෙවත් ඩිල්මා සභාපති, ජාතික පුවත්පතකට සිය ජීවිතය සහ සාර්ථකත්වය පිළිබඳ කතා කළ පළමු අවස්ථාව වූයේ, 2016 වසරයි. ඒ මා සිළුමිණට ලියූ ව්‍යාපාර නායකයන් පිළිබඳ ලිපි පෙළ සඳහා ය. එදා පටන් අප අතර ගොඩනැඟුණු හිතවත්කම ඔහු මියෙන තෙක්ම පැවතිණි. එහෙත් ඔහුගේ ජීවිතයේ අවසානයත් මෙසේ සටහන් කරන්නට සිදු වේ යැයි කිසි විටෙක නොසිතූයෙමි.

කෙසේ වෙතත් මීගමුව පල්ලන්සේන ගමේ මධ්‍යම පාන්තික කතෝලික පවුලක ඉපිද, මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවට පත් එම්. ජේ. ප්‍රනාන්දු අවුරුදු 93 ක් පුරා ගත කළ අර්ථපූර්ණ ජීවිතයට සමු දී, ජූලි 22 වැනි ඉරිදා හැන්දෑ යාමයේ සිය ගමේ පල්ලිය වන පල්ලන්සේන ශාන්ත මරියා දෙව් මැදුරු සුසාන භූමියේ සදහට ම මිහිදන් වනු ඇත.

එහෙත් ලාංකේය තේ කර්මාන්තයේ පුරාවෘත්තයක් ලෙස ඔහු යුග යුග ජීවත් වනු ඇත.



Comments