කිලෝමීටර් 4000ක් එපිට මහ මුහුද මැද මරණය පෙනි පෙනී හලාවත ධීවරයා කළ හටන | සිළුමිණ

කිලෝමීටර් 4000ක් එපිට මහ මුහුද මැද මරණය පෙනි පෙනී හලාවත ධීවරයා කළ හටන

ඔහු වෙනුවෙන්ම වෛද්‍ය  කණ්ඩායමක් සමඟ ගු වන් යානයක් ලංකාවට එවලා

බහුදින යාත්‍රාව ආපහු හරවනවා කියන්නේ ලක්ෂ 40ක-45ක පාඩුවක්

අශේන් පුතා - 3 බහුදින යාත්‍රාවේ හිමිකරු අශේන්, රවීස් තරුෂගේ ජීවිතය බේරා ගන්න කඩිනමින් සියල්ල ඉටු කරලා. ධීවර හා ජලජ සම්පත්  දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන හැකි උපරිම ඉක්මනින් අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරලා

 

වර කර්මාන්තය කියන්නෙ ජීවිතයත් මරණයත් එක්ක කරන සටනක් කියල අතීතයේ සිටම බොහෝ දෙනා අතර මතයක් තිබුණි. යාන්ත්‍රික බෝට්ටු නැති ඒ කාලෙ දවසක් නැත්නම් දෙකක් මුහුදේ ඉඳල මත්ස්‍ය අස්වැන්න ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරන්නට පැරණි ධීවරයෝ කටයුතු කළහ. දින දෙක තුනකට පමණ සරිලන සේ ජලය හා ආහාර රැගෙන ගොස් ගොඩබිම පෙනෙන නොපෙනෙන ගැඹුරු දියඹට යෑම එම ධීවරයන්ගේ සිරිත විය. එකල මුහුදු යද්දී ඔවුහු තම ජීවිතය ‘ශාන්ත අන්තෝනි මුනිඳුන්ට ‘ බාර කළහ.

 

එහෙත් තාක්ෂණය දියුණු වීමත් සමඟම මේ තත්ත්වය වෙනස් විය. බහුදින යාත්‍රා, ට්‍රෝලර් යාත්‍රා ධීවර කර්මාන්තයට එක්වීමෙන් පසුව සති ගණන් මාස ගණන් මුහුදු යන්නට ඔවුහු සමත් වූහ. එහි ප්‍රතිඵලයන් ලෙස මේ ධීවරයන්ගේ මුහුදු ගමන් අන්තර්ජාතික සාගරයන් දක්වා ඇදී ගියේය. අද වන විට නවීන සන්නිවේදන හුවමාරුන් නිසා නාවික සැතපුම් දහස් ගණනක් දියඹට ගොස් ආපසු එන්නට ඔවුහු කටයුතු කරති. ඒ වෙනුවෙන් මාස දෙකක් පමණ ඔවුහු මුහුදේ රැඳී සිටිති. එම කාලයට සරිලන පරිද්දෙන් අවශ්‍ය ආහාර පාන, ඇතුළු සැපයුම් ද්‍රව්‍ය ද ගෙන යාමට ඔවුහු කටයුතු කරති. එසේ යන අතරමඟදී යම් අයකුට අදාළ යාත්‍රාවේදී ප්‍රතිකාර ලබා දිය නොහැකි අසනීපයක් වුවහොත් සන්නිවේදන ක්‍රම හරහා දැනුම් දී අදාළ රෝගියා නාවික හමුදා යාත්‍රාවකින් හෝ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරේ.

එහෙත් අප මේ කියන්නට යන කතන්දරය මෙරට ධීවර ඉතිහාසයේ කිසිදා නොවූ විරූ කතාවකි. එය අන්තර්ජාතික වශයෙන් රටවල් දෙකක් අතර ඇති වූ පුදුමාකාර බැඳීමක් වශයෙන්ද හඳුන්වා දිය හැකිය.

සිදුවීමේ ආරම්භය සටහන් වන්නේ පසුගිය මැයි 16 වෙනිදාය. ඒ ‘අශේන් පුතා - 3 නම් යාත්‍රාව මාස දෙකක පමණ කාලයක් අන්තර්ජාතික මුහුදේ මසුන් මරන්නට වෙන්නප්පුව වෙල්ලමංකර ධීවර වරායෙන් පිටත්ව යාමත් සමඟය.

යාත්‍රාවේ හිමිකරු වන අශේන් මේනුක යාත්‍රාව පිටත් කර හැරියේ ස්කීපර්වරයා, ධීවරයන් 4 දෙනෙක් සහ ඊට අමතරව ඉවුම් පිහුම් මෙන්ම අනෙකුත් කටයුතුවලට සහාය දෙන රවීස් තරුෂ නම් තරුණයකු ද සමඟය.

යාත්‍රාව දියඹට ගොස් ඉන්දියානු සාගරයෙන් ඔබ්බට ගියේය. ඉමක් කොනක් නොපෙනන මහ සයුරේ ඈතින් ගමන් කළ නෞකාවක් හැරෙන්නට ඔවුන්ට දැකගත හැකි යමක් නොවීය.

දින සති වශයෙන් ගෙවී ගියේය. ඒ වන විට යාත්‍රාව තිබුණේ අරාබි මුහුදේ මැද හරියට වන්නටය. මත්ස්‍ය අස්වැන්න ද ටිකෙන් ටික ලැබෙමින් තිබුණි.

දිනය ජූලි 1 වෙනිදාය. පන්නෙ ගසමින් සිටි රවීස් තරුණයාට යම් අපහසුවක් දැනුණි. ඔහු තමන්ට බඩේ අමාරුවක් තිබෙන බව යාත්‍රාවේ ස්කීපර්වරයා වූ තම මාමා වන රන්දිල්ට දැනුම් දුන්නේය. පසෙකට වී විවේක ගන්නා ලෙස ස්කීපර්වරයා වූ රන්දිල් විසින් රවීස්ට පවසා ඇත. රවීස් විවේක ගැනීමට ගිය ද යටි බඩෙන් මතුව ආ දැඩි වේදනාකාරී කැක්කුම් තත්ත්වය එන්න එන්නම වැඩි විය. කුමන වේදනා නාශකයක් ලබා දුන්න ද එය යටපත් නොවුණු අතර දිනෙන් දිනම වේදනාව එන්න එන්නම වැඩිවන ලකුණු පහළ විය. රවීස් පරීක්ෂා කර බැලූ ස්කීපර්වරයා දුටුවේ රවීස්ගේ යටි බඩ ඉදිමී ඇති බවයි. තත්ත්වය එතරම් හොඳ නැති බව දැනගත් ඔහු ඒ බව ගොඩබිමට දැනුම් දුන්නේය. ඔහු පළමුව දැනුම් දුන්නේ අශේන් පුතා යාත්‍රාවේ හිමිකරු වන අශේන් මේනුකටය.

‘‘රවීස්ට අමාරුයි. පුළුවන් තරම් බේත් කරා, ඒත් හරි ගියේ නැහැ. බෝට්ටුව හරවගෙන එන එක හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අනික් එක අපට මේ වෙලාවෙ මාලදිවයින හරහා එන එක තමයි ඉක්මනින් කරන්න තියෙන්නෙ. ඒකට අපට අවසර නැහැ. ‘‘

යාත්‍රාවේ හිමිකරු වන අශේන් විසින් ඒ බව බහුදින ධීවර යාත්‍රා සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දුට දැනුම් දුන් අතර අශේන් මේනුක ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයකට ගියේය.

හය දෙනකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් සහිත අශේන් පුතා බහුදින ධීවර යාත්‍රාව ඒ වන විට ගොඩබිමින් නාවික සැතපුම් 1800ක් පමණ දුරකින් අරාබි මුහුදේ (කිලෝමීටර් 3333ක්) ස්ථානගතව තිබුණි. මාස දෙකක පමණ කාලයක් මුහුදේ සිට මත්ස්‍ය අස්වැන්න නෙළාගෙන පැමිණීම ඔවුන්ගේ අපේක්ෂාව විය. සාමාන්‍යයෙන් බහුදින ධීවර යාත්‍රාවක් එසේ මාස දෙකක් පමණ අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට පැමිණෙන්නේ මසුන් කිලෝ 5000ක් 6000ක පමණ අස්වැන්නක් ලබා ගෙනය. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ඔවුහු රැගෙන යති.

මාස දෙකක් පමණ මුහුදේ රැඳී සිටින්නට වැය කරන මුදල අතිවිශාලය. එහෙත් අශේන් පුතා ඒ වන විට තීරණය කර තිබුණේ ඒ සියල්ල පසෙක ලා රවීස්ගේ දිවි බේරා ගැනීම වෙනුවෙන් යාත්‍රාව ගොඩබිම කරා ගෙන එන්නටය.

මේ තත්ත්වය මත ඉදිරි පියවර ගැනීම වෙනුවෙන් සිද්ධිය රුවන් ප්‍රනාන්දු හා සාකච්ඡා කිරීමට යාත්‍රාවේ හිමිකරු විසින් කටයුතු කර තිබුණි.

‘‘මම සිද්ධිය පවුලේ අයට එකපාරම දැනුම් දුන්නේ නැහැ. බෝට්ටුවෙන් ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා. ඒත් එක්කම මම ධීවර මෙහෙයුම් නිරීක්ෂණ ස්ථානයකටත් ගියා. මේ සිද්ධිය ගැන ඉදිරි කටයුතු අපේ ලේකම්වරයා හා එක්ව සිදු කළා. මගේත් ප්‍රධාන අරමුණ වුණේ රවීස් බේරා ගැනීමයි. සාමාන්‍යයෙන් බහුදින ධීවර යාත්‍රාවක් හරවනවා කියන්නෙ ලොකු මුදලක් වතුරේ යන එකයි. ඒත් කරන්න වෙන දෙයක් තිබුණෙ නැහැ”

අශේන්ගේ දැනුම් දීම මත ක්‍රියාත්මක වූ රුවන් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික මෙහෙයුම් භාරව සිටින එම්. එම් ආරියරත්න වෙත දැනුම් දෙන ලදි.

‘‘ඒ වෙනකොට බෝට්ටුව තිබුණු ඉසව්වේ හැටියට මාලදිවයින හරහා එන්නත් දවස් ගණනාවක් යන බව මට තේරුණා.

සාමාන්‍යයෙන් අරාබි මුහුදට අපි යනකොට අනිවාර්යයෙන්ම දියෝගාගර්ෂියා දූපතේ සිටින සාගර මෙහෙයුම් ආරක්ෂක අංශයට ඊ මේල් පණිවිඩයක් යවනවා ‘‘එහිදී පැමිණෙන යාත්‍රාව, එය පිටත්වන දිනය, ස්කීපර්ගේ නම, පැමිණෙන සංඛ්‍යාව ඇතුළු විස්තර, යාත්‍රාවේ ඇති ඉන්ධන ප්‍රමාණය, ආහාර ප්‍රමාණය වැනි දේවල් විස්තරාත්මකව යොමු කරනවා. පසුව එයාල අපිට පිළිතුරු එවනවා. එම කලාපයට යම් කාලසීමාවකදී ඇතුළු වීමට අනුමැතියත් දීල යම් කාලසීමාවකදී පිටවීමට අනුමැතියත් දීලා.

එම නිසා මම ධීවර දෙපාර්තමේන්තුවේ ආරියරත්න මහත්තයට කතා කරලා කිවුවේ මේ වෙලාවෙ යාත්‍රාව තියෙන ඉසව්ව හැටියට මාලදිවයින හරහා එන්නත් දින ගණනාවක් යනවා. ඒක නිසා දියෝගාගර්ෂියා දූපත හරහා උපකාරයක් ලබා ගැනීම සුදුසුයි කියලා.

ආරියරත්න මහත්තය කඩිනමින් ඒ කටයුත්ත වෙනුවෙන් වෙහෙසුණා. ඒ අනුව තමයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පසුව ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කරන්න කල්‍යානි හේවාපතිරණ අධ්‍යක්ෂ (මෙහෙයුම්) දැනුම්වත් කළේ. ඇය හරහා මේ කාර්යය කඩිනමින් කෙරුණා. ආරියරත්න මහතාත් දවල් රෑ නැතිව වෙහෙසිලා මේ කාර්යය වෙනුවෙන් වැඩ කටයුතු කළා. ඇත්තෙන්ම රජයේ නිලධාරීන්ට සමාජයෙන් දොස් ආවත් පැය කිහිපයක් තුළ දවල් රෑ නොබලා කළ මේ මෙහෙය අගය කරනවා. ඒ විතරක් නෙමෙයි මෙහිදී එංගලන්ත රජය ජීවිතයක් වෙනුවෙන් කළ සේවයට අපි එංගලන්ත රජයටත් දියෝගාගර්ෂියා දූපතේ සියලු දෙනාටත් පැමිණි වෛද්‍යවරුන්ටත් විෂය භාර ඇමැති හා රාජ්‍ය ඇමැතිවරයාටත් ස්තුතිය පුද කරනවා.”

මේ මෙහෙයුමේ විශාල බරක් අදින ලද්දේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ (අන්තර්ජාතික) එම්. එම්. ආරියරත්නයි. මෙහෙයුම ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.

‘‘ ලංකාවේ හැම බහුදින යාත්‍රාවකම තියෙනවා විශේෂ ගුවන් විදුලි පණිවුඩ හුවමාරුවක්. අපි ඒ හුවමාරුව SSB (සිංගල් සයිඩ් බෑන්ඩ් රේඩියෝ) නමින් හඳුන්වන්නෙ. ඒ වෙනුවෙන් අපටම වෙන් වූ සංඛ්‍යාත පරාසරයක් TRC එකෙන් දීල තියෙනවා. ඒකෙන් දෙපැත්තටම කතා කරන්න පුළුවන්. බහුදින යාත්‍රා නිරතුරුවම ඒ සංඛ්‍යාත පරාසයේ තමන්ගේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරුව ක්‍රියාත්මක කරගෙන සිටිනවා. පණිවුඩ සියලු යාත්‍රාවලට සවන් දීමට පුළුවන්. ඊට අමතරව ධීවර දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන 21කින් ගොඩබිම සිට ඒවාට සවන් දෙනවා. ඒ පණිවුඩය අනිවාර්යයෙන්ම මේ එක් මධ්‍යස්ථානයකට හෝ ලැබෙනවා.

ඒ විදිහට රෝගියකු වෙනුවෙන් බෝට්ටුවකින් උදවු ඉල්ලන බව අපට ජූලි 4 වෙනිදා දැන ගන්නට ලැබුණා. ඒ වන විටත් යාත්‍රාවේ හිමිකරුත් එම පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයකට පැමිණ තිබුණා, බෝට්ටුව හා සම්බන්ධ වීම සඳහා.

අශේන් පුතා -3 කියන මේ බෝට්ටුව ආපහු හරවමින් තිබුණෙ. සාමාන්‍යයෙන් බහුදින යාත්‍රාවක් ලේසියෙන් හරවන්නෙ නැහැ. මොකද ඒ යාත්‍රාව මුහුදට යන්නෙ මාස දෙකකට විතර අවශ්‍ය දේවල් අරගෙන. ගොඩබිමින් නාවික සැතපුම් 2000ක් විතර දුරකට ගිහින් ආපහු එන්න මාස දෙකක් විතර යනව වගේම ඒකට විශාල වියදමක් යනවා. යාත්‍රාවේ ඉන්ධන, ආහාර පාන, ජලය, ගෑස් මේ සේරටම සාමාන්‍යයෙන් ලක්ෂ 40ක් 45ක් විතර එක් ගමනක් වෙනුවෙන් වැය කළ යුතු වෙනවා. ආපහු එනවා කියන්නෙ ඒ සේරම වතුරේ. නමුත් මේ යාත්‍රාව ඒ වෙනකොට තිබුණු තත්ත්වය උඩ ආපහු එන්න පටන් අරගෙන තිබුණෙ. මාලදිවයින මුහුදු කලාපයෙන් එන්න අවසර දෙන්න කියලා ඒ අය ඉල්ලීමක් කළා. මම බැලුවා මාලදිවයිනට එන්නත් එයාලට දවස් 7ක් 8ක් විතර යනවා. නමුත් අපව දැනුම්වත් කළ හැටියට ඒතරම් කාලයක් මේ රෝගියා තබා ගැනීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්.

ඒක නිසා මම ඊමේල් පණිවුඩයක් යැවුවා දියෝගාගර්ෂියා බලධාරීන්ට, දැඩි සේ ගිලන් වුණු රෝගියකු සිටින බවත් ඔහුට ප්‍රතිකාර කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් කියලා. මම රෑ 10.00ට තමයි ඒ පණිවුඩය යැවුවෙ.

එයාලගෙන් කඩිනමින් පිළිතුරු ආවා. එහි කියලා තිබුණෙ කඩිනමින් මාලදිවයිනේ රෝහලකට යොමු කරන්න කියලා. දියෝගාගර්ෂියා දූපතක් නිසා එහි පහසුකම් සහිත රෝහල් නැති බවටත් එහි දැක්වුණා.

පසුව මම අන්තරාදායක තත්ත්වය ඒ අයට වඩාත් තේරුම් යන ආකාරයේ කටයුත්තක් කළා. මේ යාත්‍රාවල තියෙනවා VMS හෙවත් වෙසල් මොනිටර් සිස්ටම් කියලා සන්නිවේදන ක්‍රමවේදයක්. එයින් යාත්‍රාවක් තිබෙන තැන නිරීක්ෂණය කළ හැකියි. මම ඒ විදිහට අදාළ යාත්‍රාව තියෙන ස්ථානයේ ‘ස්ක්‍රීන් ෂොට්‘ එකක් අරගෙන යළිත් ඊ මේල් එකක් යැවුවා. රෝගියා අනතුරේ සිටින බව දැනුම්වත් කිරීමටත් යාත්‍රාව වඩාත් ආසන්න දියෝගාගර්ෂියාවලට බව පැහැදිලිව දැනුම්වත් කිරීමටත්.

ඒ සඳහා කඩිනමින් ලැබුණ පිළිතුර වූයේ ‘අපේ විශේෂ යාත්‍රාවක් මේ වන විටත් පිටත්ව ගොස් තිබෙන බවත් අදාළ යාත්‍රාවේ නියමුවා දැනුම්වත් කරන්න‘ කියලා. ඒ එක්කම IMS නැත්නම් ඔමොමැටික් අයිඩින්ටිෆිකේෂන් සිස්ටම් නමින් හඳුන්වන යාත්‍රාවක් ස්වයංක්‍රීයව සොයාගත හැකි සන්නිවේදනය ක්‍රියාකාරීත්වයේ තබා ගන්නා ලෙසත් එහි දන්වා තිබුණා.

රාත්‍රී 10.00ට පමණ මේ යාත්‍රා දෙක හමුවෙලා තියෙනවා. පසුව නෞකාවේ පැමිණි වෛද්‍යවරුන් දෙදෙනෙක් බහුදින යාත්‍රාවට ඇවිත් රෝගියා පරීක්ෂා කර බලා නැවෙන් දූපතට රැගෙන ගොස් තිබෙනවා. බහුදින යාත්‍රාවට ඔවුන්ගේ මුහුදු සීමාවෙන් පිටතට යන ලෙසත් දැනුම් දී තිබෙනවා.

රෝගියාට මූලික ප්‍රතිකාර ලබා දී ඔහුගේ අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කිරීමට විශේෂ ගුවන් යානයක් කැඳවා තිබෙනවා.

එමෙන්ම එම යානය පැමිණි විගසම ඔවුන්ට ආපසු යාමට අවශ්‍ය බවත් දන්වා තිබුණා. නමුත් අන්තර්ජාතික නීතිය අනුව සාමාන්‍යයෙන් ගුවන් යානයක් එසේ පැමිණීමෙන් පසු පූර්ණ පරීක්ෂාවෙන් පසුවයි අදාළ ගුවන්තොටුපොළෙන් ගුවන් ගත කරන්නෙ. එම නිසා එතන ගැටලුවක් මතු වුණා. ඒ අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර මහතා ට මේ ගැන දැනුම් දුන්නා. ඔහු වහාම ක්‍රියාත්මක වී අදාළ ගුවන් යානය පැමිණි විගස පරීක්ෂා කර කඩිනමින් ආපසු යැවීමට පියවර ගත්තා. ‘‘ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර විසින්ද මේ හදිසි අවස්ථාවේදී සිදු කළේ මහඟු මෙහෙයකි. ඒ බව ඔහු අපට මෙසේ පැවසුවේය.

‘‘ මට මේ පණිවුඩය ලැබුණු විගස මම ක්‍රියාත්මක වුණා. මොකද මේක මිනිස් ජීවිතයක් රැක ගැනීම වෙනුවෙන් කළ යුතු කාර්යයක්. මම වහාම සිවිල් ගුවන් සේවා අධිකාරියටත් ඒ වගේම කටුනායක ගුවන්තොටුපොළටත් කතා කරල කිවුවා අදාළ ගුවන් යානය පැමිණි වහාම එයට ආපසු යාමට අවශ්‍ය කටයුතු සලසන්න කියලා. මේ ලෙසින් ධීවරයෙක් වෙනුවෙන්ම විදේශ රටක සිට වෙනම ගුවන් යානයකින් රෝගියෙක් මීට පෙර රැගෙන පැමිණ නැහැ. වෙන එකක් තියා කටුනායක ගුවන්තොටුපොළේ සිට රෝගියා රෝහලට ගෙන ගිය ගිලන් රථයටත් මුදල් ගෙවා තිබෙන්නේත් ඔවුන් විසින්. ඒ නිසා එංගලන්ත රජය හා දියෝගාගර්ෂියා දූපතේ අය විසින් කළ මේ කර්තව්‍ය මම ඉහළින්ම අගය කරනවා”

දැන් අප අවධානය යොමු කළ යුත්තේ රවීස් ගේ මව වන හලාවත ඉරණවිල තොඩුවාව පදිංචි නිල්මිණි සුමුදු නදිෂානි වෙතටය. තම වැඩිමල් පුතා වන රවීස් දැඩි සේ ගිලන්ව ඇති බව ඇයට පණිවුයක් ආවේය. ඇයට දෙලොව රත්විය‍.

‘‘පුතාට අසනීපයි කියල මට කට්ටිය කිවුවෙ එයා නැවට භාර දෙන්න ඔන්න මෙන්න තියලයි. මං බයවෙයි කියල ඒ අය මට කිවුවෙ නැහැ, මගේ මල්ලි කෙනෙකුත් බෝට්ටුවෙ ගියා, ඒ වුණත් ඒ පණිවුඩය අහපු ගමන් මට උන්හිටි තැන් අමතක වුණා. කොහෙන් කියල යන්නද? මහ මුහුද මැද, පිටරටක හිටිය නම් අඩුගානෙ පාරෙ යන කෙනෙක් හරි බලයි හිතන්න පුළුවන්. කොහොම හරි පුතා මට කිවුව අම්මේ මට අමාරුයි මාව බෙහෙත් කරන්න නැවට දැම්ම කියල.

ඒ නැවේ බෙන්තර පැත්තෙ අපේ ඥාතියෙකුත් සේවය කරල තියෙනවා. දියෝගාගර්ෂියා මුහුදු සීමාවට අනවසරයෙන් එන විදේශ යාත්‍රාවල අය වෙනුවෙන් භාෂා පරිවර්තකයන් නැවේ ඉන්නවා. ඒ කාර්යය කරන කෙනෙක් තමයි අපේ ඒ ඥාතියා. එයා හරහාත් පුතා මට කතා කළා. මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ එතකොට තමයි.

තාත්තත් නැතුව මම පුදුම දුකක් විඳල මේ දරුවො තුන් දෙනා හදන්නෙ දුව මේ පාර සාමාන්‍ය පෙළ කරන්නෙ. පුතාටත් තාම 18ක් වත් නැහැ. ලොකු පුතාටත් අවුරුදු 21යි. මමත් මෙහේ සැමන් කර්මාන්ත ශාලාවක වැඩට යනවා.

පුතා ලංකාවට එනකල් ඇත්තෙන්ම මම උදේ හවස ගින්දරෙන් හිටියෙ. මම මේ වෙලාවෙ විශේෂයෙන් ස්තුති කරනවා දරුවා බේරගන්න උදවු කරපු එංගලන්ත රජයටත් ඒ වෙනුවෙන් දවල් රෑ නැතුව වැඩ කරපු ධීවර දෙපාර්තමේන්තුවෙත් අනෙක් අංශවලත් සියලු අයට. ඒ වගේම මේ වෙනුවෙන් දවල් රෑ නැතුව වෙහෙසුණු ධීවර සමිතියේත් යාත්‍රාවේ හිමිකරුටත් ස්තුතිය පුද කරනවා.

රවීස් තරුෂ ප්‍රනාන්දු තවමත් අවුරුදු 21ක තරුණයෙකි.

‘‘මොකද වුණේ?‘‘

‘‘මම පන්නෙ ගගහ ඉන්නකොට බඩේ අමාරුවක් ආවා. අසමෝදගම් බිවුවා, එක එක ප්‍රතිකාර කළත් හරි ගියේ නැහැ. මම හරිම අමාරුවෙන් හිටියෙ. අපේ යාත්‍රාව ආපහු හරවගෙන එන්න පටන් ගත්තා. ඒ අතර පණිවඩයක් ලැබුණා දියාගෝගර්ෂියා දූපත දෙසට අපේ යාත්‍රාව පදවන්න කියලා. නැවක් ඇවිත් මාව භාර ගත්තා. ඒ නැවේදී මට ඇඳෙන් බහින්නවත් දුන්නේ නෑ. වෛද්‍යවරු විනාඩි 5 න් 5ට මාව පරීක්ෂා කළා. මාව අරගෙන ගියේ දියාගෝගර්ෂියා දුපත්වලට. එහෙදී තමා මම දැන ගත්තේ මට හැදිලා තියෙන්නේ "හර්ණියා" රෝගය කියලා. එතනදි ප්‍රතිකාර කළා. පසුව ඔපරේෂන් කරන්න ඇහුවා. මම අම්මට කතා කරල කිවුවහම අම්මා කිවුවා. එහෙදි ඔපරේෂන් කරන්න එපා. ළඟ කවුරුත් නැති නිසා පුළුවන් තරම් ඉක්මනින් එන්න කියලා.

පසුව රෝගීන් ප්‍රවාහනය කරන විශේෂ ගුවන් යානයකින් මාව ලංකාවට එවන්න ඒ අය කටයුතු කලා. මම ආපු ගුවන් යානයේ වෛද්‍යවරයෙක් වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක්ම හිටියා. ඒ අය මට ඉතාමත්ම හොඳින් කන්න බොන්න දී බෙහෙත් ලබා දුන්නා. මේ උපකාරය නැත්නම් මම මුහුද මැද්දේ දී මැරෙනවා. කටුනායකට ආවට පස්සෙ ගිලන් රථයකින් ගුවන්තොටුපළේ සිට මාව මීගමුව මහ රෝහලට යැවුවා. පසුව මම හලාවත රෝහලට මාරු වුණා. 18 වෙනිදා ඔපරේෂන් කළා. බ්‍රහස්පතින්දා තමයි රෝහලෙන් පිටවුණේ. මම හිතන්නෙ ඉතිහාසයේ මේ විදිහට ආපු එකම තැනැත්තා මම විතරයි. මේ වෙනුවෙන් මට උදවු කරපු සියලු දෙනාට මම ගෞරව පූර්වකව ස්තුති කරනවා.”

ඇත්තෙන්ම මෙරටට මෙවන් විශේෂත්වයක් මීට පෙර ලැබී නොමැත. ආරියරත්න මහතා විසින් යවන ලද ඊ මේල් පණිවුඩයට දියාගෝගර්ෂියාවෙන් පණිවුඩය ලැබෙන්නට පෙර එය එංගලන්ත රජයට වාර්තා කර ඇති බවට තොරතුරු ලැබී ඇත. එහිදී එංගලන්ත රජය විසින් කඩිනමින් පියවර ගැනීම ගැන ඇත්තෙන්ම අප කෘතගුණ දැක්විය යුතුය.

මුහුදෙන් ගොස් වීසා, ගමන් බලපත්‍ර, ගුවන් ප්‍රවේශපත්‍ර කිසිවක් නැතිව විශේෂිත ගුවන් යානයකින් පැමිණි රමේෂ් තවත් පැත්තකින් වාර්තාවක්ද තබා ඇත.

 

තාරක වික්‍රමසේකර

Comments