
ප්‍රතිශක්තිකරණය වඩන ඖෂධය රත කල්කය
රතගාය රෝගය අලුත උපන් දරුවන් කෙරෙහි මෙන්ම වැඩුණු බාලයන් කෙරෙහිද ඇති විය හැකි රෝග අවස්ථාවකි. රත යනු, රක්තයයි. ගාය යනු, වේදනාව, කැක්කුම, ඉදිමුම, නොරිස්සනසුළු ගති ඇති රෝගය යන්න මෙහි අර්ථයයි. ඒ අනුව බලන කල රතගාය රක්තය හා සම්බන්ධ රෝගී තත්ත්වයකි. මෙහිදී සම සම්බන්ධ කරගෙන දැවිල්ල, ඉදිමුම, වේදනාව, උණ, සම රතුවීම යන ලක්‍ෂණ මතු වේ. මේ සඳහා ලබාදෙන දෙසඳුන් කල්කය හෙවත් රත කල්කය යනු අලුත උපන් දරුවන්ට මෙන්ම වැඩුණු දරුවන්ට ඇති වන විවිධ රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ලබාදෙන වටිනා ඖෂධයකි. සුදු සඳුන් සහ රත් සඳුන් අන්තර්ගත බැවින් මෙය දෙසඳුන් කල්කය ලෙස හැඳින්වෙන අතරම ඊට අමතරව කොල්ලූ, වද කහ, වැල්මි, සහිඳ ලූණු යන ආදී ද්‍රව්‍යයන්ද මෙහි අන්තර්ගත වේ. දරුවන් තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නීරෝගි දරුවන්ටද ලබා දෙන රත කල්කය ළදරුවන්ට ඇති වන වලිප්පුව මෙන්ම උග්‍ර රතගාය වැනි අවස්ථාවලදී විශේෂයෙන් ලබා දේ.
රත කල්කයේ සුවිශේෂි ගුණාංග ලෙස කුසගින්න ඇති කරයි, මලබද්ධය නැති කරයි, ආහාර රුචිය වැඩි කරයි, ආහාර දිරවීම පහසුකරයි, පණු රෝග සෙම් රෝගවලින් ආරක්ෂා කරයි. සුවිශේෂීවූ ගුණයක් වන්නේ ස්වාභාවික ප්‍රතිශක්තිය ආරක්ෂා කිරීමයි. මීට අමතරව රත කල්කය භාවිත කරන්නේ කුඩා දරුවන්ට ඇතිවෙන රතගාය තත්ත්වයටයි.
රතගාය ඇති වීමට හේතු අපේ රටට ආවේණික වූ ආහාරපාන භාවිත නොකිරීම. වස විෂ රසකාරක සහිත කෘත්‍රිම ආහාර මෙන්ම මාංස ආහාර භාවිතය මවුකිරි හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් දැක්විය හැකිය. ළදරුවන් සැමවිට ඉතා පිරිසිදුව තබා ගත යුතු අතරම මවුකිරි දෙන මවක් සෑමවිටම ඇයගේ ආහාර පාන පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ආයුර්වේදයට අනුව උෂ්ණ සීත ලෙස මෙන්ම ස්‌වාභාවික සීත ආහාර වර්ග නම් කෙරෙන අතරම මවුකිරි දෙන මවක් උෂ්ණ අධික අපත්‍යය ආහාර වලින් ඈත් වීම වැදගත් වේ. රතගායේ විවිධ ප්‍රභේද පෙන්නුම් කරන ලක්‍ෂණවලට අනුව නම් කර ඇති අතර ඒ ගල් රත, දුවන පනින රත, ලේ රත, ගෙඩි රත, කරප්පන් රත ආදී වශයෙනි.
මේ තත්ත්වයේදී ළදරුවාට මෙන්ම මවට ද ප්‍රතිකාර සිදු කරන අතරම ඇතැම් අවස්ථාවලදී ගැබිනි සමයේ සිටම මවට මේ ඖෂධය ලබා දීම තුළින් දරුවාට රතගාය ඒම වැළැක්වීමට පියවර ගනී. එසේම මවක් මලබද්ධය, මුත්‍ර බද්ධය ඇති නොවන පරිදි තම ආහාර රටාව මෙන්ම පැවැත්ම සකස් කරගත යුතු අතර දිනපතාම තමාගේ ආහාරය වස විස නැති ස්වාභාවික නිර්මාංස ආහාර ගත යුතු අතර තමාටත් අන් අයටත් හානි නොවන දේ පමණක් කළ යුතුය.
රතගායේ බාහිරින් පෙන්නුම් කරන ලක‍්ෂණ ලෙස සම රතු වීම, සම යට රතු පැල්ලම්/ලේ පැල්ලම් මතුවීම, වැලමිට/උදර ප්‍රදේශවල රත් පැහැ කුඩා බිබිළි මතුවීම, කම්මුල්/තට්ටම්/ උදර ප්‍රදේශවල රත් පැහැ පැල්ලම් සහිත බිබිළි මතුවීම පෙන්වාදිය හැකිය. මේ සඳහා රතගාය මතුවීමට පෙර සිටම රත කල්කය ලබා දීම වැදගත්ය.
රත කල්කය ළදරුවෙකු හට උපතින් සති දෙකකට පසුව ලබා දිය හැකි අතරම එහි සාමාන්‍ය මාත්‍රාව ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයයි. එය මවුකිරි සමඟ දියකර ළදරුවාට ලබා දිය හැකිය. මෙම මාත්‍රාව ඇතැම් විට වෙනස් විය හැකිය. එබැවින් සැමවිටම වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමට කටයුතු කළ යුතු වේ. තවද නොමේරූ ළදරුවන්ට මෙන්ම අඩු බර ඇති දරුවන්ට රත කල්කය ලබා දිමේදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.
දරුවන් ඖෂධ ජලයෙන් සෝදන්න. ඒ සඳහා වෙනිවැල් ගැට, නිදිකුම්බා, අමුකහ වැනි ඖෂධීය ශාක තැම්බු ජලය යෝග්‍ය වේ.
රතගාය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණහොත් පීනස, මොළයේ ආබාධ, තොල්, කට වණ වීම, මුත්‍රාබාධ වැනි තත්ත්ව ඇති විය හැකිය.
රත කල්කයේ ගුණාත්මකබව ආයුර්වේදයේ සායනිකව තහවුරු කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පිළිගැනීමට ලක්ව ඇත. අතීතයේ විවිධ ප්‍රදේශවල ලාංකේය ආයුර්වේද වෛද්‍යවරයාගේ අනුදැනුම මත ඔබගේ දරුවාගේ නීරෝගිබව ආරක්ෂා කරගැනීමට රතකල්කය භාවිතා කරන්න.
බිලිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේවන් හිම එක බරවන්නේ
සිදුහට ගනිමින් හරිබර වූ තැන ලිකුච යුෂින් අඹරා ගන්නේ
ළපටින් ළදරුම වලිප්පු උනදුට කොත්තමල්ලි තම්බා දෙන්නේ
නිය තින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ
(වටිකා ප්‍රකරණය කවි අංක20)
දණහිස් ආතරයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර
ශරීරයේ විශාලතම හා ශක්තිමත්ම සන්ධිවලට ආතරයිටිස් බලපෑම් කළ හැකි අතර මෙය බරපතඝ රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. ඒ අතරින් දණහිස් සන්ධියේ ආතරයිටිස් යනු වයස සමඟ නරක අතට හැරෙන බරපතළ වේදනාකාරී රෝගයකි. මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ දණහිස් සන්ධියේ ඇතිවන වේදනාව, ඉදිමීම සහ තද ගතියයි. මෙම රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා උපකාර කළහැකි බොහෝ ප්‍රතිකාර ක්‍රම තිබේ. මෙහිදී ඇතිවන වේදනාව ඉදිමුම තද ගතිය හා චලනය කිරීමට ඇති අපහසුව මඟ හරවා ගැනීමට ප්‍රතිකාර කළ හැකිය.
දණහිස් සන්ධිය සෑදී ඇත්තේ අස්ථි තුනක් එකට එකතු වීමෙනි. ඒ කලවා අස්ථිය හෙවත් ඌර්වාස්ථියේ කෙළවර, ජංගාස්ථියේ ආරම්භ වන ස්ථානය හා පුස් ඇටයක් වැනි පැතලි දණහිස් ඇටය ආදියෙනි. කාටිලේජ නම් සුමට ද්‍රව්‍ය මේ අස්ථිවල කෙළවර ආවරණය කරයි. එය අස්ථි අතර කොට්ටයක් මෙන් ක්‍රියාත්මක වන අතර, ඉන් අස්ථි එකිනෙක ඇතිල්ලීම වළකයි. ඔස්ටියෝ ආතරයිටිස් මඟින් ඔබේ දණහිස් සන්ධියේ අස්ථි තුන අතර කුෂන් කර ඇති මේ කාටිලේජය ඉවත් කරයි. එම ආරක්ෂාව නොමැති වූ විට ඔබේ අස්ථි එකිනෙක ඇතිල්ලීමට පටන් ගනී. මේ නිසා වේදනාව, තද ගතිය සහ චලනය කිරීම සීමාවේ. කාලයත් සමඟ ඔස්ටියෝ ආතරයිටිස් නරක අතට හැරේ.
පශ්චාත් කම්පන ආතරයිටිස් යනු ඔස්ටියෝ ආතරයිටිස් වර්ගයකි. ඔබේ දණහිසට කම්පනය වීමෙන් පසු කාටිලේජ තුනී වීමට පටන් ගනී ( රිය අනතුරකින්, වැටීමකින් හෝ ක්‍රීඩා කිරීමේදී සිදුවන තුවාලයක් නිසා). මින් ඔබේ අස්ථි එකට ඇතිල්ලීමට පටන් ගන්නා අතර, එය ඔස්ටියෝ ආතරයිටිස් රෝගී ලක්ෂණ වන වේදනාව, තද ගතිය සහ සීමිත චලනය වැනි ලක්ෂණ ඇතිකරයි. මෙම රෝග ලක්ෂණ කම්පනයෙන් වසර ගණනාවකට පසුව ආරම්භ විය හැකිය. රූමැටොයිඩ් ආතරයිටිස් යනු ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයකි.
ඔබට වයස අවුරුදු 50 ක් හෝ ඊට වැඩි නම්, ඔබට දණහිසේ ආතරයිටිස් වැලඳීමේ වැඩි අවදානමක් ඇත. පිරිමින්ට වඩා කාන්තාවන්ට දණහිසේ ආතරයිටිස් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත. දණහිසේ ආතරයිටිස් අදියර 4 කි.
1- පළමු අදියරදී දණහිස් සන්ධියේ යම් ක්‍රියාදාමයක් ඇති වෙමින් තිබේ. මෙම අදියරයේදී ඔබට වේදනාව නොදැනිය හැකිය.
2- දෙවන අදියර මෘදු අවධිය වන අතර ඔබට වේදනාව සහ තද ගතිය දැනෙන්නට පටන් ගනියි. නමුත්, තවමත් ඇටකටු ස්පර්ෂ නොවන පරිදි කාටිලේජ පවතී.
3- තුන්වන අදියරේ ඔබ සිටී නම්, ඔබට වැඩිපුර වේදනාවක් දැනේ, විශේෂයෙන් දිවීමේදී, ඇවිදීමේදී, දණගැසීමේදී සහ දණින් වැටීමේදී ඔබට එය දැනෙනු ඇත. මේ වන විට කාටිලේජය පටු වී ඇති නිසා සහ අස්ථි ස්පර්ශ වීම ඇති නිසා ඔබ බොහෝ විට දැඩි වේදනාවකින් පෙළිය හැකිය.
4- හතරවැනි අදියරේදී දරුණු ඔස්ටියෝ ආතරයිටිස් ය. මෙය කාටිලේජය නැති වී ඇති තත්ත්වයයි. දණහිස දැඩි වේදනාකාරී සහ ඇතැම් විට නිශ්චල වීමට පත්වේ. මේ තත්ත්වයේදී ඔබට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය විය හැකිය.
දණහිස් ආතරයිටිස් රෝග ලක්ෂණ බොහෝමයක් තිබේ. දණහිසේ ශබ්ද ඇති කිරීම, ඇවිදීමට අපහසු වීම, කාලගුණය අනුව වෙනස් වන (වඩා හොඳ හෝ නරක අතට හැරෙන) සන්ධි වේදනාව, තද බව, දණහිස් බකල් වීම, දණහිස් සන්ධි වේදනාව සෙමින් වර්ධනය වීම හෝ හදිසිසේ ඇතිවන වේදනාව, සමේ
රතු පැහැය, ඉදිමීම, එය චලනය කිරීමට උත්සාහ කරන විට දණහිස අගුලු වැටීම හෝ ඇලවීම.
උණුසුම් සම, වේදනාව සමඟ ඉදිමීම දණහිස් ආතරයිටිස්හි පොදු රෝග ලක්ෂණ වේ. සමහර ප්‍රතිකාර මඟින් ඔබේ රෝග ලක්ෂණවල බරපතළකම අඩු කිරීමට වගේම එහි වර්ධනය වීම නතර කිරීමට පවා පුළුවන.
දණහිස් ආතරයිටිස් රෝගය සඳහා ගෙදරදී සකස් කරගත හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් - මුරුංගා පොතු, රණවරා පොතු,අමුකහ අල,එළ කහඹිලිය දලු, එළ ඔලිඳ දලු යන සියල්ල සම සමව ගෙන එයට සහිඳ ලුණු ස්වල්පයක් මිශ්‍ර කොට වංගෙඩියක දමා හීන්වනතුරු කොටන්න. අලුත් මැටි හට්ටියක් ගෙන රත්වෙන්නට තබා කොටාගත් බෙහෙත් ටික හට්ටියට දමා පලා මලවන ආකාරයට මලවාගන්න. එය මඳ උණුසුම්ව සවස 7.00ට පමණ දණහිසේ බැඳ උදේ 7.00 ට (පැය දොළහක් යනතෙක් තබා) පමණ ඉවත් කරන්න. මෙලෙස දින 8- 10 අතර කාලයක් දිනපතා සිදු කරන්න.
කොලෙස්ටරෝල් පාලනය කරන අපේ අත් බෙහෙත්
නොවන රෝග අතරින් බහුලවම පවතින රෝගී තත්ත්වයක් ලෙස මේද වෘද්ධිය හෙවත් කොලෙස්ටරෝල් හැඳින්විය හැකිය. මේ සඳහා බලපාන ප්‍රධානතම හේතුව වන්නෙ අප ගන්නා ආහාර හා නිසි ව්‍යායාම ශරීරයට නොලැබීමය. ආහාර විහරණය (භාවිතය) නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේද වෘද්ධිය හට ගනී. එසේම අන්තරාසර්ග පද්ධතිය තුළ ඇති වන හෝමෝන තත්ත්වයන්ද මේ සඳහා බලපායි. නමුත් ප්‍රබල ලෙසම මේ සඳහා හේතු වන්නේ අප එදිනෙදා ලබා ගන්නා ආහාරය. අප ලබා ගන්නා ආහාරවලට සරිලන ආකාරයට ශරීරයට ව්‍යායාම් නොවීම නිසා මේ තත්ත්වය ඇති වේ. මේදය දහනය නොවීම සහ ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීමෙන් මේ තත්ත්වයට ගොදුරු වේ.
අප එදිනෙදා ගන්නා ආහාරවලින් මේ සඳහා විශේෂයෙන්ම බලපාන්නේ මේදය හා පිෂ්ඨයයි. අප හොඳින් නිරීක්ෂණය කර බලන්නේ නම් අපේ ආහාරයේ වැඩිපුරම ඇත්තේ මේ දෙවර්ගයයි. අප ආහාර ගන්නා විට ජීර්ණයෙ නොවන මේද කොටස් සේම මේදය සහිත ආහාර නිවුණු පසු ආහාරයට ගැනීම නිසාත් මේ තත්ත්වයට පහසුවෙන් ගොදුරුවේ. එසේම ආහාර ගැනීමෙන් පසු ශීත කළ ආහාර අතුරුපස ලෙස ගැනීමද මේ සඳහා බලපායි. පැරැන්නන් ආහාරයට ප්‍රථම තැම්බුන් හොද්දක් බීමට පුරුදුව සිටියේ මෙවැනි රෝගවලින් ආරක්ෂවීම සඳහාය. දෙමළ ජනයා ආහාර ගැනීමේදී රසම් පානය කරන්නේද මේ නිසාය. එසේම අප ආහාර සඳහා යොදා ගන්නා එනසාල්, කුරුඳු, කරාබුනැටි, සුදුලූනු, ගම්මිරිස් වැනි කුළුබඩු ද මේ තත්වය මඟ හරවා ගැනීමට මහෝපකාරී වේ.
අද බොහෝදෙනා වියළි රතු මිරිස් කෑමට රුචියක් දක්වති. මේ තත්ත්වයෙන් වැළකීම සඳහා කෙඳි සහිත ආහාර වැඩියෙන් ආහාරයට එකතු කර ගැනීම යොග්‍ය වේ. එනම් පලා කොළ, කෙසෙල් මුව, කෙහෙල් බඩ, නෙළුම් අල, කොහිල අල, කොහිල දලු, කැරන්කොකු, මඬුකොකු ආදීය යි. එසේම මාංස ආහාර ගැනීමේදී ශරීර බර අනුව දිනකට ලබාගත යුතු ප්‍රමාණයට වඩා ගැනීම නුසුදුසුය. අනෙක් අතට ක්ෂණික ආහාර සහ අවන්හල්වලට ගොස් ආහාර ගැනීමෙන් ද මේද වෘද්ධිය ඇති වේ. මන්ද ආපන ශාලාවල ආහාර සැකසීම සඳහා යොදා ගන්නා තෙල් කවර මට්ටමක පවතිනවාද යන්න අප කිසිවකුත් නොදන්නා නිසාය. ලාභය අරමුණැතිව ඔවුන් විසින් සිදු කරන ඇතැම් දේ නිසා ශරීරයට අහිතකර මේද (LDL) ආහාරයට එකතු වී තිබිය හැකිය. එමෙන්ම අනවශ්‍ය නින්ද හා නින්දට නිසි කාලයක් නොදීමද රුධිරගත මේදය ඉහළ යාමට හේතුවේ.
මෙම රෝගී තත්ත්වෙයන් මිදීම සඳහා අපට නිසේදීම සකස් කර ගත හැකි ඖෂධ කිහිපයකි.
* හොඳට පැසුණු බෙලිකොළ, කරපිංචා කොළ සහ වී පොරි ග්‍රෑම් 50 බැගින් සම සමව ගන්න. අනතුරුව බෙලි කොළ සහ කරපිංචා කොළ පවනේ වේලා (මඳ අව්වේ) සිහින්ව කුඩු කරගන්න. වී පොරි ද කුඩුකර ගන්න. එසේ කුඩුකරගත් බෙලි කොළ හා කරපිංචා මිශ්‍රණයෙන් තේ හැන්දක් සහ වී පොරි කුඩු මේස හැදි බාගයක් නටන උණුවතුරට දමා හොඳින් කළවම් කර තැම්බෙන්ට හරින්න. එය උදේ හවස පානය කරන්න.
* සුදුලූණු උළුහාල්, නිදිකුම්බා මුල් සහ ගැටතුඹ මුල් (ගැට තුඹ මුල් හෝ නිදිකුම්බා මුල් දෙකින් එකක් තිබීමද ප්‍රමාණවත්ය) සම සමව ගෙන තම්බා උදේ සවස පානය කරන්න.
* කුරුඳු පොතු සහ කළුදුරු සමසමව ගෙන කුඩු කර මේස හැඳි එකක් වතුර කෝප්ප දෙකකට දමා රත් කර තරමක් හිඳුණු පසු උදේ හවස බීමට ගන්න.
* යකිනාරං කොළ කැඳ, මොනරකුඩුම්බිය කොළ කැඳ, හීන් බෝවිටිය කොළ කැඳ , ගැටතුඹ දලු කැඳ සහ ගැටතුඹ දලු මැල්ලුම ආහාරයට ගන්න.
* කරපිංචා,ගොරකා, සියඹලා, සුදුලූනු , උළුහාල්, කළුදුරු, කුරුඳුපොතු සමව ගෙන ඇල්දියෙන් අඹරා නෙල්ලි ගෙඩියක පමණ ප්‍රමාණයක් උදේ සහ රාත්‍රී කෑමත් සමඟ ගන්න. මෙය රසවත් කර ගැනීම සඳහා මින්චි දලු එක්කර ගැනීමද යහපත්ය.
* මින්චි දලු ටිකක් පොඩි කර වතුර කොප්පයකට දමා දෙහි බිඳු දෙකක් දමා බීමට ගන්න.(ගැස්ට්‍රයිටිස් ඇති අය මෙය පානය නොකරන්න)
* කිරිඅඟුන කොළ, ජපන් බටු කොළ පලාවක් ලෙස ගැනීම මඟින් රුධිරගත මේදය අඩු කර ගත හැකිය.
මීට අමතරව සියඹලා ගොරකා පානයද මේ සඳහා යෝග්‍ය වන අතර දිනපතා පානය කිරීම නුසුදුසුය. මෙමඟින් රුධිරගත මේදය සැලකිය යුතු ආකාරයකින් පහළ දැමිය හැකි අතර එය නිට්ටාවට සුව කර ගැනීමට නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.