ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී…” මේ දිනවල ඉතාමත් ලස්සන කාන්තා කට හඬකින් ඇහෙනවා. හැබැයි ඔබ දන්නවද මේ ගීතයේ රී මේක් එක කළේ කවුද කියලා. ඒ තමයි ඉරෝෂි සූරියසේන. ඉරෝෂි කියන්නෙ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරීයසේනගේ ආදරණීය දියණියක්. එහෙම කිව්වේ ප්‍රියා. ප්‍රියා සූරීයසේන අපේ ආදරණිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියාට දියණියන් තිදෙනෙක් සහ එක පුතෙක් ඉන්න නිසා.
“ඈත රන් විමන්“ තුළින් ගීතය ගැයීමත් එක්කයි ඉරෝෂි ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තියෙන්නේ. මෙච්චර කල් කොහෙද හිටියේ සහ මොනවද කළේ ?
මම වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකාරිණියක් විදියට කටයුතු කරනවා. මම අධ්‍යාපන කටයුතු කරලා රැකියාව කරගෙන හිටියා මිස ලොකුවට සංගීත පැත්තට යොමු වුණේ නැහැ. මීට අවුරුදු දෙකකට විතර කලින් ආසාවට ගීත දෙකක් කළා. ඒ වෙද්දීත් ගොඩක් අය කිව්වා අප්පච්චිගේ සින්දුවක් කරන්න කියලා. මොකද ගායකයෙකුගේ ගීතයක් දුවෙක්ගේ හඬින් කරද්දී වෙනසක් නිසා. හැමෝම වගේ කියන නිසා ඒ වෙනස කරලා බලන්නත් එක්ක මම අප්පච්චිගේ සින්දු හතර පහක් අරගෙන චමත් සංගීත් ළඟට ගියා. එතැනදී එයා මගේ හඬට දැන් යන අලුත් ට්‍රෙන්ඩ් එකටයි ගැළපෙන විදියට “ඈත රන් විමන්“ සින්දුව තමයි තෝරා ගත්තේ.
කොහොමද මේ වෙද්දී ගීතයට ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ගොඩක් අය කියන එකක් තමයි මුල් සින්දුවට කිසිම හානියක් නොකර ඒ රසය ඒ විදියටම පවත්වාගෙන ගීතය ප්‍රතිනිර්මාණය කරලා තිබෙනවා කියලා.
අප්පච්චි මොකද කිව්වේ?
අප්පච්චි ලස්සනයි කියලා කිව්වා. ඊට වඩා වැඩි දෙයක් කිව්වේ නැහැ. කොහොමත් මම මුල ඉඳලා අප්පච්චිගේ උපදෙස් අරගෙන තමයි ගීතය නිර්මාණය කළේ. ඒ නිසා අප්පච්චිට හරි සතුටුයි. අප්පච්චි හැමදාම කියන්නේ පුතේ ආසාවට මගේ සින්දු කිව්වට නම් කමක් නැහැ. ඒ හැර මගේ සින්දු කර කර ඉඳලා නම් හරි යන්නේ නැහැ කියලා. ඔයාගෙම සින්දු දෙක තුනක් කරලා ඉදිරියට යන්න බලන්න කියලා. ඔහු එහෙම කියන්නේ පැවතීමක් තියෙන්නේ තමන්ගේ නිර්මාණ එක්ක නිසා.
පවුලේ ඉන්න හැමෝටම සින්දු කියන්න පුළුවන්ද?
මට ඉන්නේ අක්කයි, නංගියි, මල්ලියි. අක්කා වෛද්‍යවරියක්, මල්ලි මේ දිනවල USA ඉන්නේ, නංගි මානව සම්පත් කළමනාකාර අංශයේ සේවය කරන්නේ. අපි හතර දෙනාටම සින්දු කියන්න පුළුවන්. මල්ලි නිවාඩුවට ආවම අප්පච්චි එක්ක වැඩසටහන්වලට එහෙම යනවා. එයා ලංකාවට ආවම සින්දු කියනව කියලා ඉන්නේ. නංගි අනාගතයේ කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. මමත් ඉතින් ටිකක් කල් ගිහින් නේ සින්දු කියන්න පටන් ගත්තේ.
මෙතනින් එහාට ඉරෝෂි දිගටම සින්දු කියන්නද ඉන්නේ?
ඔව්. ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. තව මගේම අලුත් නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා. දැනෙන වෙනසක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතර අප්පච්චිගේ ගීත කියන්නත් බලාපොරොත්තු වෙනවා.
රටේ ජනප්‍රිය ප්‍රවීණ ගායකයෙකුගේ දුවෙක් වුණ ඉරෝෂි ආස කළාද තාත්තාට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ලබන්න?
අප්පච්චි අපිට හැම තිස්සෙම කිව්ව දෙයක් අපි මෙහෙම ඉන්නේ අපිට ඉන්න රසික රසිකාවියන් නිසයි කියන එක. හැබැයි අප්පච්චි අපි හතර දෙනාටම කිව්වේ ඉගෙන ගෙන ඉවරවෙලා සින්දු කියන්න කියලා. ඒ නිසා අපි හතර දෙනාම හොඳටම ඉගෙන ගත්තා.
ඉරෝෂි කැමති මොන වගේ ගීත නිර්මාණ කරන්නද?
මම ඉතින් අලුත් ට්‍රෙන්ඩ් එකට ගැළපෙන නිර්මාණ කරන්න හිතාගෙන ඉන්නේ.
ඉරෝෂි රුවෙනුත් හරි ලස්සන කෙනෙක්, රංගනයට ඇරයුම් ලැබිලා නැද්ද?
තවම නම් නැහැ. හැබැයි රඟපාන්න ඇරයුමක් ලැබුණොත් භාර ගන්න කැමැත්තෙන් ඉන්නවා.
ඉරෝෂිගේ පෞද්ගලික තොරතුරු මොනවද?
මම විවාහකයි. සැමියත් පෞද්ගලික බැංකුවක ඉහළ නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.
කොහොමද සැමියාගෙන් ලැබෙන සහයෝගය?
සැමියා මුකුත් කියන්නේ නැහැ. ඔහු කියන්නේ මට ගායනය පැත්තෙන් දෙයක් කරන්න කියලා.
මේ කාලයේ ප්‍රසංගවලට ඇරයුම් ලබෙනවද? ඒවා භාර ගන්නවද?
ඔව්. ප්‍රසංගවලට ඇරයුම් ලැබෙනවා. විදෙස් සංචාරත් දැනට භාර ගෙන තියෙනවා.
මේ අවුරුද්දේ ඔයාගෙම සින්දුවක් අහන්න ලැබෙයිද?
ඔව්. මම හිතාගෙන ඉන්නවා මේ අවුරුද්ද අග වෙද්දී මගේම නිර්මාණයක් එළිදක්වන්න.
අනාගත බලාපොරොත්තු මොනවද?
සංගීත ක්ෂේත්රයේ ඉදිරියට යන්න තව අලුත් නිර්මාණ දෙක තුනක් කරන එක තමයි බලාපොරොත්තුව. විශේෂයෙන් අප්පච්චිගේ නම ගෙනියන දුවෙක් විදියට මේ ක්ෂේත්රය තුළ ඉදිරියට එන්න ආසයි. මල්ලිත් අනිවාර්යෙන් මේ ක්ෂේත්රයේ දිගු ගමනක් යයි.