
ව්‍යාපාරික අවස්ථා ප්‍රවර්ධනය වෙනුවෙන් කොළඹ වරායේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ තූත්තුකුඩියේ V.O.Chidambaranar Port Authority (VOC Port Authority) වෙත තෙදින ව්‍යාපාර ප්‍රවර්ධන සංචාරයක් සිදුකළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දකුණු ආසියා ගේට්වේ පර්යන්තය සහ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ නියෝජිතයින් ද එක්විය. 2023 ජූලි 10 සිට ජූලි 13 දක්වා මෙම සංචාරය සිදුකෙරිණි.
මේ හා සමගාමීව දක්ෂිණ භාරත ගේට්වේ පර්යන්ත පුද්ගලික සමාගම (Dakshin Bharat Gateway Terminal Private Limited) සමඟ සංවිධානය කරන ලද පළමු සැසිය VOC වරාය අධිකාරියේදී පැවැත්විණි. VOC වරාය භාරයේ නියෝජ්‍ය සභාපති බිමල් කුමාර් ජා මහතා සාකච්ඡා පැවැත්වීය.
තූත්තුකුඩියේ සත්‍යා නිකේතනයේ දී කොළඹ වරාය සහ තූත්තුකුඩිය අතර ශක්තිමත් වෙළෙද ජාලයක් ස්ථාපිත කිරීමේ අරමුණින් පැවති වෙළෙඳ අන්තර් ක්‍රියාකාරී සැසිවාරයට මෙම නියෝජිත පිරිස ද සහභාගි වූහ. මෙම සැසිය සඳහා තූත්තුකුඩියේ වෙළෙද සහෝදරත්වය මෙන්ම නැව් මාර්ග ප්‍රධානීන්, පෝෂක සේවා සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගී විය.
සැසිවාරයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ් මහතා විසින් කොළඹ වරායේ දැනට සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු ද, පර්යන්තවලට ලබාදී ඇති පහසුකම් ද සහ එහි ඉදිරි සැළසුම් පිළිබඳව ද අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) - ලාල් වීරසිංහ මහතා, අධ්‍යක්ෂ (අලෙවි සහ මාධ්‍ය) - කේ.ජී. සරත් දයානන්ද, South Asia Gateway Terminals' (SAGT) ප්‍රධාන විධායක නිලධාරී - රොමේෂ් ඩේවිඩ් මහතා, ප්‍රධාන වාණිජ නිලධාරී (CCO) - ටෙඩ් හිරාන් මුත්තයියා මහතා, සහකාර කළමනාකරු - වාණිජ - කලණි දසනායක මෙනවිය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත (CICT) ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - කැට්‍රියෝනා ජයසුන්දර මෙනවිය, වාණිජ හා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඒ.එම්.පී. චන්දිම ආර්. බී. සෙනෙවිරත්න, සහකාර, වාණිජ හා අලෙවි කළමනාකරු - ඔෂිනි පෙරේරා මෙනවිය සහ බටහිර බහාලුම් ජාත්‍යන්තර පර්යන්තයේ ප්‍රධාන විධායක නිලධාරී හරික්‍රිස්නන් සුන්දරම් මහතා ද මෙම සංචාරයට සහභාගී වූහ.