
මේ සති අන්තෙවත් ටිකක් විවේකෙන් ඉන්න ඕනැ."
"මොකක් ? සති අන්තෙ විවේකෙන් ඉන්න? අපට නම් සති අන්තය කියන්නෙ ඉතින් හුස්ම ගන්න වත් වෙලාවක් නැති දවස් දෙකක් තමයි"
ඒ සති අන්තය ගැන අප සිතන අන්දමය. ඇතමෙකුට අනුව එය මනසුව සැලසෙන කදිම විවේකයකි. එහෙත් ඒ සති අන්තයම තවකෙකුට මහා වැඩ කන්දරාවක් හිතේ හිසේ දරාගත් කාර්යබහුලම දෙදිනක් වෙයි. ඇතමෙකුට එය මිහිරිය. ඇතමෙකුට එය සිහි කරන්නට පවා අකමැති තරම් වෙහෙසකරය.
සැබවින්ම සති අන්තය යනු කුමක්ද ? අපට එයින් ඇත්තේ කවර අන්දමේ ප්‍රයෝජනයක් ද? එයින් අප නිසි ප්‍රයෝජන ගන්නවාද යනාදී වශයෙන් ඇතමෙකුගේ සිත තුළ ප්‍රශ්න ගණනාවක් නැඟෙන්නට පුළුවන.
අපට සති අන්තයක් අවශ්‍ය ඇයි? මූලිකවම අපට සති අන්තයක් අවශ්‍ය වන්නේ අර ඒකාකාරි වෙහෙසකර ජීවන රටාවෙන් විවේකයක් ලබන්නටය. සිරුර යතාවත් කරන්නට පමණක් නොව මනසටද අවශ්‍ය විවේකය ලබා දෙනු පිණිස සති අන්තය නිර්මාණය වී යැයි සිතීම වරදක් නොවේ. රොචෙස්ටර් සරසවියේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචර්ඩ් රයන් ඒ ගැන දරන්නේ මෙබඳු අදහසකි. " ඉහළ තෘප්තියක් සහිතව සතුටුදායක රැකියාවක යෙදෙන අය වූවත් බොහෝම ආශාවෙන් බලා ඉන්නෙ සති අන්තය එනතෙක්. සැහැල්ලු කටයුතුවල යෙදෙමින්, අනෙක් අය සමඟ මනා ලෙස සම්බන්ධතා පවත්වාගෙන යමින්, විනෝදාංශයක යෙදෙමින් ගත කළ හැකි මේ කාලය මූලික මානසික අවශ්‍යතා සපුරා ගන්නටත් කදිමය. ඉතින් මේ සති අන්තයත් වැඩවලින් පුරවා ගන්නෙ නැතුව ඉන්න එක මිනිස්සුන්ගෙ වැඩක්. "
අවාසනාවකට මෙන් අප වැටී සිටින තරගකාරී ජීවන රටාවට අනුව සති අන්තයක සැනසිල්ල නිස්කලංක බව හා විවේකය ලබා ගන්නට අපට නොහැකි වී තිබේ. අප ඒ හැටි බරපතළ ලෙස නොසලකන්නේ නමුදු සති අන්තය යනු ගත මෙන්ම මනස ද සුවපත් කරන්නකි. එබැවින් , සති අන්තය මනා ලෙස කළමනාකරණය කර ගැනීම අප නො හිතනවාට වඩා වැදගත් ප්‍රතිපලයක් අපට ලබා දෙයි.
සති අන්තය අපට ලැබෙන්නේ පෙර කී කාර්යබහුල රටාවෙන් මිදෙන්නට විවේකය වැඩි වශයෙන් ලබාගන්නටය. එමෙන්ම, එය ඉතා විවේකීව ඔබේ දවසේ කටයුතු කර ගන්නට කදිම යෝගයකි. සති මැද දවස්වල අපේ කෑම වේල ද ගැනෙන්නේ ඉතා කඩිමුඩියේ ය. එහෙත් සති අන්තය සතියේ දවසක් තරමටම කාර්යබහුල කර නොගත්තොත් එහි වාසිය අපටම ය. විවේකීව දිවා ආහාරය ගන්නට, සිතට සුවදායී එළිමහනක ඇවිද යන්නට එය කදිම ය. සති මැද උපන් ආතතිය හා වෙහෙස නිවා ගන්නට සුදුසු ක්‍රීඩාවක, විනෝද ක්‍රියාකාරකමක යෙදෙන්නට ද සති අන්තයෙන් කොටහක් වෙන්කර ගත යුතු ය. එහෙත් සති අන්තයේ අප අතින් සිදු විය හැකි අතපසුවීමක් වන්නේ කෑම වේල් මග හැරී යාම ය. සතියේ දිනවල නිශ්චිත හෝරා අනුව ආහාර පාන ලබා ගැනීම සිදු වුවද සති අන්තයේ සීමා මායිම් නොමැතිකම නිසා බොහෝ විට ආහාර වේල් ප්‍රමාද කිරීම හෝ මග හැරීයාම සිදු විය හැකි ය. එය දීර්ඝ කාලීනව ඔබේ සෞඛ්‍යයට බලපාන්නකි. ඔබේ සති අන්තය වඩා සෞඛ්‍ය සම්පන්න වන්නට නම් ආහාර වේල සතියේ දවසක මෙන් නිසි වේලාවට ගන්නට හුරුවීම අගේ ය.
බොහෝ දෙනා කල්පනා කරන්නේ සතියේ දිනවල කෙරෙන නිදි මැරිල්ල අල්ලා ගන්නට සති අන්තය කදිම බව ය. එහෙත් එය දිගු කාලීනව හුරු වන්නට හොඳ පුරුද්දක් නොවේ. මහ දවල් වන තුරු නිදා ගැනීමෙන් උදේ කෑම වේල මග හැරෙන්නට පිළිවන.
එළිමහන් පරිසරයේ සැරි සරන්නට සතියකට වරක්වත් ඉඩ හදා ගන්නට හැකිනම් කදිම ය. බොහෝ දෙනා සතියේ දින පහ ගත කරන්නේ ගොඩනැඟිල්ලකට වැදී ය. ආපසු නිවෙසට එන්නේ අඳුරු වැටුණු පසුව ය. එබැවින් හිරුඑළිය පොදක් සිරුරට වැටෙන්නට ඉඩ ලැබෙන්නේ සති අන්තයේ පමණි. හිරු එළිය විටමින් ඩී සිරුරට ලබා දෙන අතර, එළිමහනේ ඇවිදීම මානසික සෞඛ්‍යයට යහපත් බව බොහෝ අධ්‍යයනවලින් හෙළිදරවු වී තිබේ. එමෙන්ම සිරුරට ව්‍යායාම ලබා දීම සඳහා ද සති අන්තයෙන් හෝරාවක් හමාරක් වෙන් කර ගැනීමද හොඳ පුරුද්දකි.
බොහෝ බටහිර පෝෂණවේදීන් පවා පවසන්නේ සති අන්තය මත්පැන් පානය සඳහා යොදා ගැනීම නො කළ යුත්තක් බව ය. ඇතැම් පිරිස්, සති අන්ත විවේකය මත්පැන් සාද සඳහා වෙන් කරගෙන සිටිති. එමෙන්ම සෞඛ්‍යයට අහිතකර වෙනත් රසකාරක , වර්ණකාරක යෙදූ පාන වර්ග වැඩි වැඩියෙන් ගිල දමන්නටද සති අන්තයේ දී ඉඩ ලැබෙනු ඇත. ජලය හෝ වෙනත් පෝෂ්‍යදායි පානයක් හැරුණු කල වෙනත් අහිතකර පානවර්ග වලින් සති අන්තය බේරා ගන්නට හැකි නම් එය කදිම ය.
විවේකීව සිටීමට කාලය සොයා ගන්නේ කෙසේද? අවම වශයෙන් පැයක් හෝ දෙකක්වත් නිදහසේ ගත කරන්නට සැලසුම් කර ගත යුතු ය. ඒ කාලය ඔබේ සිරුරට නව ජවයක් ලැබෙන ආකාරයේ ක්‍රියාකාරකමක යෙදීම සඳහා යොදා ගත යුතු වෙයි. ඔබ ප්‍රියකරන විනෝදාංශයක යෙදීම, චිත්‍රපටයක් නැරඹීම හෝ නිහඬව විවේක සුවයෙන් පසුවීම යනාදී ඕනෑම කටයුත්තක් සඳහා යොදා ගන්නට ඔබට පුළුවන. එය ඔබේ මනසට සුවයක් ගෙන එනවා පමණක් නොව වඩා පහසුවෙන් ම මානසික ආතතිය දුරලා ගන්නට ද උදව් වෙයි. අනෙක් අතට මෙසේ විවේක සුවයෙන් ගත කරන කාලය තුළ අපට ඊළඟ සතියේ වැඩ සැලැස්ම සකසා ගන්නට ද පිළිවන. එය ද ආතතියෙන් තොරව සතිය ගෙවන්නට ඔබට උදව්වකි. එළඹෙන සතිය සඳහා සැලසුමක් බෙහෙවින් වැදගත් ය. මේ සඳහා ඇති කදිම, පහසුම ක්‍රමය වන්නේ සති අන්තය නිසි ලෙස කළමනාකරණය කිරීම ය. ඊට සති අන්තයේ හෝරාවක් දෙකක් කැප කිරීම සඳුදා සිට සිකුරාදා දක්වා දවස් පහම ඔබේ සිතේ සතුට රැක දෙන්නට හේතු වෙයි. සාරාංශයක් වශයෙන් ගතහොත් සති අන්තය අපේ ක්‍රියාශීලීබව පවත්වාගෙන යන්නට කදිම ඉඩක් ලෙසද සැලකිය හැකිය. ඒ සඳහා ගැළපෙන ව්‍යායාම , ක්‍රියාකාරකම් හෝ ක්‍රීඩා තෝරා ගන්නට අපට හැකි වෙයි. ඊළඟට පෝෂණයයි. වැඩිපුර එළවළු පළතුරු ටිකක් කන්නට මෙන්ම වතුර නිසි ප්‍රමාණයට බොන්නට සති අන්තය අපට යොදා ගත හැකි වෙයි.
අප මුහුණ පා සිටින අභාග්‍ය නම් මේ සති අන්තය අපට වුවමනා ලෙස කළමනාකරණය කර ගන්නට බැරි වී සිටීමය. ඇතැම් විට කොහෙන් පටන් ගන්නටදැයි නොතේරෙන තරමට එය පැටලිලි සහගතය. එහෙත් එක් හෝරාවක් හෝ අපේ මනසුව වැඩෙනු පිණිස වෙන් කර ගන්නට හැකි වේ නම් එය අපේ පුද්ගලික ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.