ලෝක ආර්ථික සංවර්ධනයට මං පෙත් විවර කළ අපේ විද්වතා නිර්මාණය කළ මෙරට ආර්ථිකය නංවන්න මඟ පෙන්වන ගාමණී කොරයා පදනම | සිළුමිණ

ලෝක ආර්ථික සංවර්ධනයට මං පෙත් විවර කළ අපේ විද්වතා නිර්මාණය කළ මෙරට ආර්ථිකය නංවන්න මඟ පෙන්වන ගාමණී කොරයා පදනම

කොළඹ හෝර්ටන් පාරේ බොහෝ දේ වෙනස් වී ඇතත්, අවුරුදු 148ක් තිස්සේ සියලු දේ දකිමින් 'Horton Lodge' නිවෙස තවමත් එලෙසම ය. 

ජාත්‍යන්තර කීර්තියට පත් ලාංකික මහා බුද්ධිමතකු වන ආචාර්ය ගාමණී කොරයා විද්වතාණන්ට සෙවණ දුන් ඒ 'හෝර්ටන් ලොජ්' නිවෙස, සිය හාම්පුතුගේ අන්තිම කැමැත්ත ඉටු කරමින් අදත් නිහඬව මහා මෙහෙවරකට උර දී හිඳියි.

ඒ්, ශ්‍රී ලංකා ආර්ථිකයේත් දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය උදෙසාත් යොදා ගත හැකි විවිධ උපාය මාර්ගික ක්‍රියාකාරකම් සිදුකරන 'ගාමණී කොරයා පදනමේ' මූලස්ථානය ලෙස ක්‍රියාත්මක වෙමිනි.

1875 වසරේ ඉදිකර ඇති අතිශය පෞරාණික වටිනාකමක් සහිත මේ 'හෝර්ටන් ලොජ්' නිවෙස ඇතුළු පරම්පරාවෙන් උරුම වූ සියලු දේපළ වත්කම් ඔහු සිය පදනමට ලීවේ ය. තමන් මිය ගිය ද, තම නිවෙස කේන්ද්‍ර කොටගෙන ආර්ථික සංවර්ධනයේ උන්නතියට අඛණ්ඩ සේවයක් ලබා දීම ඔහුගේ එකම අරමුණ විය.

ඒ අනුව, GCF හෙවත් ගාමණී කොරයා පදනම ආරම්භ කරන ලද්දේ, 2000 පෙබරවාරි මස 10 වැනි දින ඔහු ජීවත්ව සිටි සමයේ ඔහු විසින්ම ය. තවත් විදියකට කීවොත් ඔහුගේ GCF පදනම හරහා මෙසේ ප්‍රායෝගික වී ඇත්තේ සංවර්ධනය සම්බන්ධ බහුවිධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, උසස් තත්ත්වයේ පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම් ලබන රටවල සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා වූ ඔහුගේ ආශාව ඉදිරියට ගෙන යාම ය. එකී අරමුණු ඉදිරියට ගෙන යෑම සඳහා ගාමණී කොරයා පදනම ක්‍රියාත්මක වන්නේ, ගරු සේවයක නිරත අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟිනි.

ආචාර්ය ගාමණී කොරයා සමඟ දීර්ඝ කාලයක් එක්ව වැඩ කළ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු එහි සභාපතිවරයා ය. ලෝක බැංකුවේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය හර්ෂ අතුරුපාන, ගාමණී කොරයා පදනමේ උප සභාපතිවරයා ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සහ විගණනය යන ක්ෂේත්‍රවල වසර 28කට වැඩි පළපුරුද්දක් ඇති හරීන් ද සිල්වා විජයරත්න, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ (IPS) විධායක අධ්‍යක්ෂ සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ ප්‍රධානී ආචාර්ය දුෂ්නි වීරකෝන්, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ ප්‍රතිපත්ති හා පර්යේෂණ මධ්‍යස්ථානයේ කළමනාකරණ මණ්ඩලයේ සහ ජාතික විද්‍යා පදනමේ සමාජ නවෝත්පාදන කමිටුවේ සාමාජික, මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හිමි, තානාපති සේවා අත්දැකීම් ඇති ක්ෂේත්‍ර ගණනාවක ප්‍රාමාණිකයකු වන ආචාර්ය රවිනාථ පී. ආර්යසිංහ, සෙසු අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරති. 

ආර්ථික සංවර්ධනය උදෙසා වන කාර්යභාරය පිළිබඳ, ගාමණී කොරයා පදනමේ උප සභාපති, ආචාර්ය හර්ෂ අතුරුපාන පැවසුවේ මෙවැනි අදහසකි.

"ඔහුගේ ජීවිතයම කැප වුණේ ආර්ථික විද්‍යාව වෙනුවෙන්. ඉතින්, එතුමාට ඕන වුණා ඔහුගේ දේපළ ආර්ථික විද්‍යා පර්යේෂණ වෙනුවෙන්ම යොමු කරන්න. ඒ සඳහා ආයතනයක් හදන්න. අවුරුදු 75දී විතර තමයි එතුමා මේ පදනම ආරම්භ කළේ. එතුමාගේ ඉලක්කය වුණේ මුලින්ම ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න. ඊට පස්සේ මධ්‍යම ආදායම් සහිත රටවල් සංවර්ධන ඉලක්ක කරා දිරි ගන්වන්න.

එතුමා පිටරට ඉගෙන ගෙන ඇවිත් මුලින්ම වැඩ කළේ ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා එක්ක. ඉන් පස්සේ ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ රණසිංහ ප්‍රේමදාස කියන සියලු අගමැතිවරු සහ ජනාධිපතිවරු එක්ක එතුමා වැඩ කළා.

එතුමාට මගේ නෑකම තිබෙන්නේ මගේ මවු පාර්ශ්වයෙන්. එතුමා එක්ක සමීපව වැඩ කළේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරන කාලයේ. ඒ කාලේ දේශීයව සහ ජාත්‍යන්තරව තිබූ ආර්ථික ප්‍රශ්න ගැන අපි කතා කළා. එතුමාගේ අත්දැකීම් මා සමඟ පැවසුවා. ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි සඳහා මං කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියා. PhD කරන කාලේ තවත් කිට්ටුවෙන් මට එතුමාව ඇසුරු කරන්න ලැබුණා. ඇත්තටම කිව්වොත් මම ආර්ථික විද්‍යාව තෝරා ගන්නත් ඒ ඇසුර මට ලොකු උත්තේජනයක් වුණා. 

ඔහු පදනම ගැන හිතන කාලේ ආචාර්ය ගොඩ්ෆ්‍රි ගුණතිලක, ආචාර්ය ලොයිඩ්, ආචාර්ය නිමල් සඳරත්න වැනි ජ්‍යෙෂ්ඨයන් එක්ක ළඟින් වැඩ කළා. ඒ සාකච්ඡාවලට එතුමා මාවත් සම්බන්ධ කරගත්තා.

ඒ කාලේ හිටපු ආර්ථික විද්‍යා ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනඥයින් සමඟ අපි ළඟින් ඇසුරු කළා. ඔය කාලේ එතුමා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළා.

2021 වසරේ අපි මාර්ගා පර්යේෂණ ආයතනයත් එක්ක අධ්‍යයනයක් පටන් ගත්තා. මාර්ගා කියන්නේ ආර්ථික විද්‍යා සංවර්ධනය පිළිබඳ පර්යේෂණ කරන ආයතනයක්. 1970 මේ ආයතනය බිහිකළේ ආචාර්ය ගාමණි කොරයා, ආචාර්ය ගොඩ්ෆ්‍රි ගුණතිලක සහ තවත් දෙන්නෙක් එකතු වෙලා. අන්තිම කාලේ එතුමා අසනීප වුණා. එවිට ගොඩ්ෆ්‍රි ගුණතිලක සභාපති ලෙස පත් වුණා.

ආචාර්ය ගුණතිලකට දැන් වයස 97ක්. තවමත් ඉතා හොඳ කල්පනාවක් තිබෙන විද්වතෙක්. ඊට පස්සේ ආචාර්ය නිමල් සඳරත්න සභාපති වුණා. අවුරුදු අසූ ගණනක් නිසා එයත් කැමැත්තෙන් විශ්‍රාම ගත්තා. ආචාර්ය ලොයිඩ් ෆර්නැන්ඩු පත් වුණේ ඊට පස්සේ. මේ සියලුම දෙනා ආචාර්ය ගාමණි කොරයා එක්ක ළඟින් වැඩ කරපු අය.

එතුමා නැති වුණාට පස්සේ අපි ඔහුගේ අරමුණු ඉදිරියට ගෙන යෑම සඳහා විවිධ වැඩසටහන් ව්‍යාපෘති කළා. එතුමාගේ උපන් දිනය යෙදෙන සෑම නොවැම්බර් මාසයකම වාර්ෂික දේශන කිහිපයක් අඛණ්ඩව සිදු කරනවා. එය හඳුන්වන්නේ ගාමණී කොරයා memorial lecture නමින්.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, දිවංගත මහාචාර්ය කැලෑගම, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය ලොයිඩ් ෆර්නැන්ඩු සහ මම මේ වන විට එම දේශන පවත්වා තිබෙනවා. ඒවා, රටේ ප්‍රශ්න පිළිබඳ ගැඹුරින් හදාරා විශ්ලේෂණය කර ඉදිරිපත් කරන, ප්‍රතිපත්ති සැලසුම්වලට අදාළ සාර්ව ආර්ථිකය, ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව, කෘෂි ආර්ථික විද්‍යාව, උසස් අධ්‍යාපනය වැනි පුළුල් පරාසයන් දක්වා විහිදෙන මාතෘකාවලින් සමන්විත විවෘත දේශන. මේ වන විටත් ගාමණී කොරයා පදනමෙන් රටේ ආර්ථිකයට අදාළ එවැනි අධ්‍යයන විස්සක් සිදුකර තිබෙනවා.

විශේෂයෙන් ආගන්තුක සත්කාර සේවා, දිළිඳු බව තුරන් කිරීම, කාන්තාවන් සහ ළමුන්, ආර්ථික විද්‍යාව, අධ්‍යාපනය වැනි රටේ ආර්ථිකයට ඍජුව බලපාන ප්‍රධාන අංශ තෝරා ගෙන ඒවායේ ප්‍රශ්න හඳුනා ගෙන විශ්ලේෂණය කර, ප්‍රතිපත්තිමය විසඳුම් සහ මූල්‍යමය විසඳුම් යෝජනා කිරීමයි මෙහිදී සිදු වන්නේ. ඒ වගේම, මේ අවස්ථාවේ ලෝකයේ වෙනත් රටවල් එම ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය සංසන්දනය කර සාර්ථක ක්‍රම ඉදිරිපත් කරනවා. රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාව වර්ධනය කරන්නේ කෙසේද වැනි යෝජනා පවා එම පර්යේෂණ සහ දේශනවලින් අප හඳුන්වා දී තිබෙනවා.

මේවා අපි රටට ඉදිරිපත් කළාම එහි ප්‍රයෝජනය විශ්වවිද්‍යාල මට්ටමේ අයට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ගත හැකියි. ඒ ඉදිරිපත් කිරීම් අපි අදාළ අමාත්‍යාංශය වෙත භාර දෙනවා. 

උදාහරණයක් ලෙස, මගේ උසස් අධ්‍යාපන දේශනයේ ඉදිරිපත් කිරීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දුන් විට ඒ අයට පුළුවන් ලංකාවේ අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඒ ව්‍යාපෘති පාවිච්චි කරන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සංවර්ධන වැඩපිළිවෙළවල් කිහිපයක් ක්‍රියාත්මක කළා. ලෝක බැංකුවෙන් අරමුදල් පවා ලැබුණා. ඒ අතරේ ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියකුත් තිබුණා.

Teaching Learning වර්ධනය කරන ආකාරය, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ Research and Innovation Commercialise වැනි අංශ දියුණු කළ යුතු ආකාරයේ ව්‍යාපෘති අපි ඉදිරිපත් කර තිබෙනවා.

ඇත්තටම අපි කරන්නේ ආර්ථික විද්‍යා පර්යේෂණ සහ සමාජ විද්‍යා පර්යේෂණ. රට ගැන හිතන ඕනෑම දේශපාලකයකුට, දේශපාලන පක්ෂයකට හෝ රජයට පුළුවන් මේ අධ්‍යයන වාර්තා පාවිච්චි කර රටේ ආර්ථික සංවර්ධනයට වැඩ කරන්න. ඔවුන්ට බැරි කොටස තමයි අපි පර්යේෂණ මට්ටමින් සොයා දෙන්නේ. ඇත්තටම මේවා Think Tank සංකල්ප. රටක් දියුණු කිරීමට අවශ්‍ය විද්වත් සොයාගැනීම් තමයි මෙහි අන්තර්ගත වී තිබෙන්නේ. ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය, ඇඩ්වොකාටා ආයතනය, ආර්ථික විද්‍යාඥයින් ගේ සංගමය, මාර්ගා ආයතනය, වෙරිටේ රිසර්ච් වැනි පර්යේෂණ ආයතනවලටත් අප මේ කරන දේ ඉතාම වැදගත්. ඔවුන්ගේ ඉදිරි ඉලක්ක සඳහා මෙම දේශන විශාල මගපෙන්වීමක් සපයනවා. ඒ වගේම මේ හැම ඉදිරිපත් කිරීමකදී ම විදෙස් විද්වතුන් online හරහා අප සමඟ සම්බන්ධ වනවා.

ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, දියුණු වෙමින් පවතින රටවල් අපි මේ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිමය සැලසුම් සහ පර්යේෂණ දේශන ප්‍රයෝජනයට ගන්නවා.

හුඟක් අය කතා කරනවා 1965 ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළේ ලංකාවෙන් ඉගෙන ගෙන කියලා. කවුරුත් නොදන්නවාට ගාමණි කොරයා මහත්තයා තමයි ඒ වෙලාවේ ලංකාවේ ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්. ලී ක්වාන් යූ තමන්ගේ රට දියුණු කළේ ගාමණී කොරයා මහත්මයාගෙන් උපදෙස් අරන්. ඔහු ඒ ආර්ථික උපදෙස් තමන්ගේ රටට සාර්ථකව ආදේශ කළා. නමුත් ගාමණී කොරයා මහත්තයට ඔහුගේ යෝජනා ඉදිරියට ගෙන යන්නට ලංකාවේ අවස්ථාවක් ලැබුණේ නැහැ. 

1970 වන විට සමාජවාදී ආණ්ඩුවක් ආවා. සමාජවාදී ප්‍රතිපත්ති අනුව රටක ආර්ථිකය දියුණු කරන්න බැරි බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. ලංකාවට වුණේ ඒ දේ.

අන්තිම කාලේ එතුමාට ඕනේ වුණා, එයාගේ අම්මා වෙනුවෙන් දුප්පත් කාන්තාවන් ගේ ආර්ථික සහ සමාජ තත්ත්වය නඟාසිටුවන දෙයක් කරන්න. ඒ අරමුණ ක්‍රියාත්මක කරමින් කාන්තාවන් බලගන්වන එම වැඩසටහන මේ දිනවල අප ආරම්භ කර තිබෙනවා. තමන්ගේ පළාතේ ප්‍රධාන දියුණුවකට දායකව සිටින කාන්තාවන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකියි. එය ඔහු නම් කළේ Freda Corea Awards නමින්. ඊට අදාළ විස්තර අපගේ වෙබ් අඩවියේ තිබෙනවා..."

ආචාර්ය ගාමිණි කොරයා යනු, මෙරට ප්‍රභූන් ගණනාවකට ලේ නෑකම් ඇත්තෙකි. 1953 - 1956 දක්වා ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ සර් ජෝන් කොතලාවල ඔහුගේ මාමා ය. එනම් සර් ජෝන් ගේ එකම සහෝදරී, ආචාර්ය ගාමිණී කොරෙයා ගේ මව ෆ්‍රීඩා ය. ඇය විවාහ වූයේ, වෛද්‍ය සී. වි.එස් කොරයා හෙවත් සිද්ධාර්ථ කොරයා සමඟ ය. සිද්ධාර්ථ කොරයා ගේ පියා වික්ටර් කොරයා ද මෙරට සිටි ප්‍රකට චරිතයකි.

හලාවත ප්‍රදේශයෙන් පැවත එන කොරයා පරපුර, පෘතුගීසින්ට එරෙහිව යුද්ධ කළ ඩොමිනිකස් කොරයා හෙවත් එදිරිල්ල රාළගෙන් පැවත එන්නන් ය.

ඩොමිනිකස් කොරයාගේ සීයා වන එදිරිල්ල අරච්චි රෝමානු කතෝලික ආගම වැලඳගත් හෙයින්, බව්තීස්ම නාමය 'එම්මැනුවෙල් කොරයා' ලෙස වෙනස් විය. එනයින්, වර්තමාන කොරයා පරම්පරාවේ සිට තවත් පරම්පරා දහයක් පමණ ආපස්සට ගිය විට 'කොරයා' වාසගම පිළිගත් පළමුවැන්නා වන එම්මැනුවෙල් කොරයා' මුණ ගැසේ.

අන්තර්ජාලයේ ඇති, හලාවත කොරයා පරම්පරාවේ Family Tree හෙවත් 'පවුල් ගසෙන්' ඊටත් එහා පරම්පරා 17ක් දක්වා විහිදී ඇති ආකාරය දැක ගත හැකිය.

ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ මෙරට ජ්‍යෙෂ්ඨ සහ විශිෂ්ටතම ඉංග්‍රීසි නිවේදකයකු වන විජය කොරයා, ඔහුගේ එකම සහෝදරයා ය. එකම පියා ගේ දරුවන් වුවත් මවුවරු දෙදෙනෙකි. සිය එකම සොහොයුරු පිළිබඳ විජය කොරයා මහත්මා මතකය අවදි කළේ මෙලෙසිනි.

"මගේ සහෝදරයා ඉතාම කරුණාවන්ත කෙනෙක්. කවමදාවත් කෙනකුට ඇඟිල්ල දිගු කළේ නැහැ. මිනිස්සු පහත් කර කතා කළේ නැහැ. රිදවන වචනයක් ඔහුගේ මුවින් පිට වුණේ නැහැ.

හැම නත්තල් දවසක ම දවල් කෑමට හෝර්ටන් ලොජ් එයාගේ මහ ගෙදර දී අපි හමු වුණා. ජනවාරි පළමු වැනිදා පුරුද්දක් විදියට මම අයියා බලන්න ගියා. පුංචි කාලේ නම් අපිට එකට ඉන්න ලැබුණේ නැහැ. එයා ඉපදුණේ 1925. මම 1943. අපි දෙන්න අතරේ වයස් පරතරය අවුරුදු 18ක්. එයා හිටියේ එයාගේ අම්මා ෆ්‍රීඩා කොරයා මහත්මිය එක්ක. ඒ මහගෙදර අයියගේ අම්මගේ පරම්පරාවෙන් ආ එකක්. හැබැයි අයියා ගේ අම්මයි, මගේ අම්මයි ඥාති සොයුරියන්. මගේ අම්මා එමිබෙල් කොරයා. කොහොමටත් කොරයා පරම්පරාවේ කෙනෙක්. ෆ්‍රීඩා ආන්ටියි, සර් ජෝන් කොතලාවලයි, අයියයි නංගියි නිසා ඒ දෙන්නාගේම මාමා ඩී එස් සේනානායක. ෆ්‍රීඩා ආන්ටි බොහොම හොඳ කෙනෙක්. ඇය මටත් බොහොම ආදරෙන් සැලකුවා.

අයියා ඇත්තටම නිවුණු ගති ඇති කෙනෙක්. එයා ආසාවෙන් ම කළේ, ගොල්ෆ් ක්‍රීඩාව. ඒ කාලේ නිතරම ගොල්ෆ් සෙල්ලම් කරන්න ගියා. බොහොම සරල ජීවිතයක් ගත කළේ. අපි අම්මලා දෙන්නකුගේ වුණාට එකම තාත්තෙකුගේ දරුවෝ. ඇත්තටම අයියා කෙරෙහි මට තිබෙන්නේ විශාල ගෞරවයක්. ඔහු ඉතා හොඳ වැඩිමල් සහෝදරයෙක්..."

කෙසේ වෙතත්, ගාමණී කොරයා යනු අසාමාන්‍ය ජයග්‍රහණ රැසක් ලබා ගත් වෘත්තිකයෙකි. අවිවාහක දිවියක් ගෙවූ ඔහු, සිය 88 වැනි උපන් දිනයට එක් දිනක් තිබිය දී, ජීවිතයෙන් සමුගත්තේ ය.

ඒ, තමන් මිය ගිය ද රටේ සංවර්ධනයට වැඩ කළ හැකි සාර්ථක වැඩපිළිවෙළක් රටට ඉතිරි කර ය. ගාමණී කොරයා පදනම යනු, ඒ සාර්ථක වැඩපිළිවෙළයි.

ඉන් ප්‍රයෝජන ගැනීම මේ රටේ පුරවැසියන්ගේ සහ අදාළ වගකිවයුත්තන් ගේ යුතුකම යි.


Comments