ලංකාවට වහවැටුණු මාෂල් ටිටෝගේ මුණුබුරා සොයා සිළුමිණ ගිය ගමන | සිළුමිණ

ලංකාවට වහවැටුණු මාෂල් ටිටෝගේ මුණුබුරා සොයා සිළුමිණ ගිය ගමන

යුගෝස්ලෝවියාව ගැන කී පමණින්ම සිහිපත් වන්නේ දශක ගණනාවකට පෙර ලොව ප්‍රබලතම කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කිරීමට පෙරමුණ ගත් පසුකාලීනව ලොව පුරා බටහිර රටවලට හිසරදයක් වූ දේශපාලන නායක ජොසිප් බ්‍රොස් හෙවත් මාෂල් ටිටෝ ය. හෙතෙම ලෝ පුරා ජනප්‍රියත්වයට පත්වූයේ ටිටෝ නමිනි. මේ ප්‍රතිපත්තිගරුක සහ උදාර මානුෂික ගුණාංගවලින් පිරිපූර්ණ වූ මිනිසා ඇතැම් රටවලට ඒකාධිපති පාලකයකු වුවද, බොහෝ රටවලට නම් රට වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ පරිත්‍යාගශීලි ජන නායකයෙකි.

යුගෝස්ලෝවියාව සහ මාෂල් ටිටෝ ගැන මතකය යළි අලුත් වූයේ ඔහුගේ බ්‍රොස් පරපුරේ අවසන් පුරුක මේ වනවිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින බවට ‘සිළුමිණ‘ට අනාවරණය වීමත් සමඟය. ඔහු සොයා සිළුමිණ මහනුවරට ගිය ගමනේ මතක සටහනයි මේ.

මාර්කෝ ටොකික් නොඑසේ නම් මාර්කෝ බ්‍රොස් ටිටෝ මේ කවරාකාරයෙන් හඳුන්වනු ලැබුව ද මාෂල් ටිටෝගේ මුණුබුරා ලෙස ආමන්ත්‍රණය කිරීම ඒ සියල්ලට ම වඩා වටිනා බව වරින් වර වෙනස්වන දේශගුණික රටාවකට හුරු වූ මහනුවර එක්තරා ප්‍රදේශයකදී ඔහු හමුවීමත්, කතාබහක නිරත වීමත් මේ ලියුම්කරුට ගෙන දුන්නේ අප්‍රමාණ වූ සතුටකි.

‘සීයා මහ පුදුම මිනිහෙක්. එයා කිවුවොත් කිවුවාමයි. කොසොවෝ හා මෙටොහිජා විනාශකාරී භූ කම්පනයෙන් පස්සේ සීයා පොරොන්දු වෙලා තියෙනවා එක හුස්මට ආපහු ඒ පළාත් ගොඩනඟනවා කියලා. ඒ කිවුව විදිහටම අවුරුද්දක් ඇතුළත ඒවා නැවත තිබුණු තත්ත්වයටම ගොඩනැඟුවා‘ එසේ කියමින් මාර්කෝ ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක් විය.

මාෂල් ටිටෝ ගැන මෙරට තරුණ පරපුර අතර නම් වැඩි මතකයක් තිබෙන්නට නොහැකිය. එහෙත් ලෝක දේශපාලන ඉතිහාසය හදාරන්නකුට ඔහුගේ දේශපාලන ජීවිතයේ වපසරිය විමතිය දනවනසුලු එකක් බවට සිතෙනු ඇත. මේ මිනිසා දෙවැනි ලෝක මහා යුද්ධයෙන් එහෙම පිටින්ම විනාශ වුණු යුගෝස්ලෝවියාව අලුත් රාජ්‍යයක් බවට පත් කිරීමට සිදු කළ මෙහෙයුම අදටත් ලෝක දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇත්තේ එබැවිනි. කොමියුනිස්ට් පාලනයක් හා ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, ඔහුගේ අවසන් ඉලක්කය වූයේ සමාජවාදය හා ධනවාදය වශයෙන් බෙදී ගිය කඳවුරු දෙකක අතරමැදියකු ලෙස කටයුතු කරමින් ගෝලීය සාමය උදෙසා තිරසර ප්‍රතිපත්ති මාලාවක් බිහි කිරීමටය.

‘දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ සීයා යුගෝස්ලෝවියාවේ ජන ජීවිතය ආපහු ගොඩනඟන්න හැම ක්ෂේත්‍රයක්ම දියුණු කළා. දිවා රෑ නොබලා ඒකට වෙහෙස වුණු බව අපේ වැඩිහිටි පරම්පරාව නිතර නිතර කතා වුණා. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් රට විනාශ වෙලයි තිබුණේ. ජර්මනියේ හිට්ලර්, ඉතාලියේ මුසෝලිනි වගේම ඇන්ටෝ පවෙලික් උස්ටාස්, සර්බියාවේ හමුදාපති ජෙනරාල් ඩ්‍රාසා යුගෝස්ලෝවියාවට කළ විනාශය අතිවිශාල එකක් වුණා.‘

ටිටෝ යුගෝස්ලෝවියාව ගොඩනැඟුවේ විවිධ ජාතීන්ගෙන් සමන්විත පළාත් රැසක ජනතාව එකට එකතු කිරීමේ මෙහෙයුමකිනි. විවිධ ජන වර්ගවලට අයිති කොටස් පදිංචිව සිටි පළාත් එක්සත්ව තබා ගැනීමට ඔහු අපූරු ක්‍රමවේද අනුගමනය කර තිබූ බව මුණුබුරාට තවමත් මතකය. ඔහු කියන්නේ සීයාගේ දේශපාලන දැක්ම කොමියුනිස්ට්වාදී වුවත් එහි ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිලක්ෂණ රැසක් ඇතුළත්ව තිබූ බවය.

‘සීයාට අවශ්‍ය වුණේ යුගෝස්ලෝවියාව ආපහු බිඳ වැටීමට නොහැකි ආකාරයෙන් ගොඩ නඟන්නයි. ඔහු 1971 දී සමාජවාදී ෆෙඩරල් යුගෝස්ලෝවියා සමූහාණ්ඩුව ගොඩනැඟුවේ ඒ ආකාරයෙනුයි. ඒ වෙද්දී බටහිර බලවේග සීයා ගැන ලොකු බයකින් හා අවධානයකින් පසුවුණු බව පසුකාලීනව මම කියවලා තියෙනවා. ඔහු ප්‍රතිපත්තිගරුක මිනිසෙක් වගේම එයාගේ මතවාදය නොබියව ප්‍රකාශ කිරීමේ හැකියාවෙනුත් ඉදිරියෙන් හිටපු කෙනෙක්. මුල් කාලයේ රුසියාවත් එක්ක ඉතාමත් කිට්ටු ඇසුරක් තිබුණු සීයාට පසුකාලීනව ඒ ඇසුර විරසකයක් වෙන්නත් බලපෑවේ එයාගේ ඒ මතවාදය හා ප්‍රතිපත්තිය නිසාමයි.‘ මාර්කෝ එසේ කීවේය.

යුගෝස්ලෝවියාව ෆැසිසිට් පාලනයෙන් මුදා ගැනීමේ බලවත් අවශ්‍යතාවක් එවකට ටිටෝට තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහුට ඒ සඳහා සෝවියට් රුසියාවෙන් ලැබුණු සහයෝගය ඉතා අල්ප බවත් ඉතිහාසයේ දැක්වෙයි. දෙවැනි ලෝක මහා යුද්ධයේදී සෝවියට් දේශය හා එක්ව කටයුතු කළ යුගෝස්ලෝවියාව සෝවියට් හමුදාවට සිය රට භාවිත කිරීමට ද කොන්දේසි විරහිතව අවසර ලබා දී තිබුණ ද, යුද්ධයෙන් පසුවත් සෝවියට් හමුදාව යුගෝස්ලෝවියාවේ රැඳී සිටීම දෙරට අතර දේශපාලන විරසකයක් නිර්මාණය කිරීමට හේතු වී තිබිණි. එවකට සෝවියට් නායක ජෝශප් ස්ටාලිං යුගෝස්ලෝවියවේ දේශපාලනයට මැදිහත් වීම ටිටෝගේ සිත් ගත්තේ නැත. නායකයන් දෙදෙනා අතර විරසකය වර්ධනය වීමට එය ප්‍රබල සාධකයක් බවට පත්වී තිබිණි. අනිත් අතට ටිටෝ සහ ස්ටාලින්ගේ ප්‍රතිපත්ති අහසට පොළොව මෙන් විය.

‘දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ සීයා ස්ටාලින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා රුසියාවේ රජ ඔටුන්න ආපහු දෙවැනි පිලිප් රජුට බාර දෙන්න කියලා. ඒත් ස්ටාලින් ඒක ප්‍රතික්ෂේප කරලා. මොකද ඒ වෙද්දිත් නියෝග දීලයි තිබ්බේ රුසියාවේ රාජකීය පවුලේ හැම සාමාජිකයකුම ඉවරයක් කරලා රාජ වංශය සදහටම තුරන් කරන්න කියලා‘ මාර්කෝ කියන්නේ එවකට රුසියාවේ උද්ගත වී තිබූ බලපෙරළිය ගැනය.

යුගෝස්ලෝවියාව 1971 දී ෆෙඩරල් සමූහාණ්ඩුවක් වීම එවකට එහි සිටි ධනේෂ්වර පන්තියට දරාගත නොහැකි වූ බව කියැවේ. රටේ සංවර්ධනයට දායකවීමට සහ බදු පැනවීම් ධනේෂ්වර පන්තියට ටිටෝ පිළිබඳ අප්‍රසාදය මතුවීමට බලපෑවේය.

‘සීයාට තිබුණේ ස්ටාලින්ගේ වගේ දරදඬු පාලන ප්‍රතිපත්තියක් නෙවෙයි. එයා ගොඩාක් ලිබරල් වුණා. ලොකු ආගමික නිදහසකුත් ජනතාවට දුන්නා. ඒත් ඒවා වැඩි කාලයක් පැවතුණේ නෑ.‘

ටිටෝගේ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ස්ටාලින් ඇතුළු එවකට කොමියුනිස්ට් රටවල දැඩි විවේචනයට ලක් වූ බවත්, මේ හේතුවෙන්ම සීයා බටහිර රටවලට තරමක් නැඹුරු වූ බවත් මුණුබුරා සඳහන් කළේය.

‘මිලියන 20ක ජනතාව අතුරෙන් මිනිස්සු 100ක් විතර පොහොසතුන් බවට පත්වුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ කාලයේ යුගෝස්ලෝවියාවේ තිබුණේ. සීයාට අවශ්‍ය වුණේ හැමෝටම සාධාරණය කරන්නයි. මොකද ඒ වෙද්දී රටේ අධ්‍යාපනය මිල අධික වුණා. සෞඛ්‍ය තත්ත්වය ඊට අන්තයි.‘ මාර්කෝ තවදුරටත් එසේ ඉතිහාසය දිග හරින්නට වූයේය. සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය දෙකම එකට යා කිරීමට මාෂල් ටිටෝ ගෙන ගිය අරගලය එතරම් උදම් ඇනීමට තරම් සාර්ථක එකක් නොවීය. ඒ වන විටත් එරට ජාතීන් අතර විවිධ අරගල හා උණුසුම් තත්ත්වයන් නිර්මාණය වී තිබිණි.

යුගෝස්ලෝවියාවේ පළාත් රැසක ජීවත් වූ විවිධ ජන කොටස් ස්වයං පාලන ක්‍රමයක් සහ රාජ්‍යයක් උදෙසා අරගලයක නිරත වීමට පටන් ගත් අතර, ජාතීන් අතර තිබුණු අසමානතා ඒවාට බලපෑ බව මාර්කෝගේ අදහසය.

බොස්නියාව, ක්‍රොඒෂියාව, මැසිඩෝනියාව, ස්ලෝවේනියාව වගේ රටවල් බිහි වුණේ ඒ විදිහට යුගෝස්ලෝවියාවෙන් කැඩිලා ගිය පළාත්වලිනුයි.‘ ඔහු පැවැසීය.

මාෂල් ටිටෝගේ ජාත්‍යන්තර දේශපාලනය වඩාත් ජනප්‍රිය එකකි. ඔහු 70 දශකයේ ලොව ජනප්‍රියතම දේශපාලන චරිතයක් බවට පත් වූයේ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළිනි. ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, ඉන්දුනීසියාවේ අහමඩ් සුකර්නෝ, ඊජිප්තුවේ අබ්දෙල් නසාර් වැනි ජාත්‍යන්තර දේශපාලන නායකයන් ද ඉස්මතු වූයේ එම ව්‍යාපාරය තුළිනි. 1961 වසරේදී යුගෝස්ලෝවියාවේ බෙල්ග්‍රෙඩ් අගනුවරදී ටිටෝගේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ පස්වැනි සමුළුවට සත්කාරකත්වය දීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාවටය. එවකට අගමැතිවරිය ලෙස කටයුතු කරනු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි. 1976 වසරේ අගෝස්තුවේ කොළඹ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවට ද මාෂල් ටිටෝ සහභාගී විය.

‘සීයාට කසාද 7යි. ඒ හතම දික්කසාද වුණා කියලයි මම දන්නේ. සීයාගේ අන්තිම බිරිය මගේ අන්තිම මිත්තණිය මෙලොවින් සමුගත්තේ 2013 අවුරුද්දේදි. හරිම දුප්පත් විදිහට තමයි අන්තිම මිත්තණිය එයාගේ අවසන් කාලයේ ජීවත් වුණේ. මොකද සීයා එයාගේ පවුලට කිසිම දෙයක් ඉතුරු කරලා නෙවෙයි ගියේ. එයා ඒ හැම දෙයක්ම යුගෝස්ලෝවියාවේ ජනතාවට බෙදලා දීලයි තිබුණේ. සීයා ළඟ තිබුණු ගොඩාක් පෞරාණික වගේම මිල අධික වස්තු අද වෙද්දී ලෝකයේ ගොඩාක් රටවල තියෙනවා. ඒවා ඒ කාලයේ එයා තෑගි දුන්නු ඒවා. රට රටවල සංචාරයේ යනකොට සීයා ඒ වගේ තෑගි භෝග අරන් ගිහින් දීලා තියෙනවා කියලා මම අහලා තියෙනවා.‘ මාර්කෝ කීවේය.

‘සීයා මැරුණේ දැන් ස්ලෝවේනියාවට අයිති පළාතක. එයාව සනීප කරන්න රුසියාවෙන් වෛද්‍යවරු හා ඖෂධ එවුවා කියලත් ආරංචියි. ඒත් එතකොටත් පරක්කු වැඩියි.‘

වසර 1953දී යුගෝස්ලෝවියාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූ ටිටෝ 1980 මැයි මාසයේ 4 වැනිදා මෙලොවින් සමුගන්නා තුරු ජනපතිධුරයේ කටයුතු කර තිබිණි.

‘ඔහු පාදයේ ආසාදනයකින් පීඩා විඳිමින් සිටියා. ඒකට ප්‍රතිකාර ගන්නවත් සැලකිල්ලක් දක්වලා නෑ. අන්තිමේදී ඒ ආසාදනයම තමයි ඔහුට මාරාන්තික වුණේ. විෂබීජය පාදයක මාපටැඟිල්ලේ ඉඳලා මුළු පාදයටම පැතිරිලා තිබුණා. ඒ නිසා වෛද්‍යවරුන්ට සිද්ධ වුණා පාදය කපා ඉවත් කරන්න. ඒත් ඒ වෙද්දිත් විෂබීජය මුළු සිරුරටම පැතිරිලා ඉවරයි කියලයි වෛද්‍යවරු කියලා තිබ්බේ. ඔහු මෙලොවින් සමුගත්තේ රෝහලේදිමයි.‘

ස්ලෝවේනියාවේ රෝහලේදීම ඔහු මෙලොවින් සමුගත්තේ සිය 88 වැනි උපන්දිනයට දින තුනකට පෙරය.

‘මුළු යුගෝස්ලෝවියාවම නතර වුණා වගේ. සීයාව මිහිදන් කළේ එයාගේ මාපියන්ගේ සොහොන් අසලයි. ඒක එයාගේ අන්තිම කැමැත්ත වුණා.‘ මාර්කෝ එසේ කීවේය. ඒ වනවිටත් යුගෝස්ලෝවියා සමූහාණ්ඩුව බිඳ වැටෙමින් තිබිණි.

‘අපි ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඒත් අන්තිමට ඒක යුගෝස්ලෝවියාවේ මහ විනාශයක් සිද්ධ වෙන්න බලපෑවා. යුගෝස්ලෝවියාව අවුල් ජංජාලයක් වුණා. හැම දෙයක්ම විනාශ වුණා. එයාලා විනාශ කළා හැම දෙයක්ම. JAT ගුවන් සේවයේ සිට වරාය දක්වා. අවුරුද්දකට තෙල් හා ගෑස් නැව් 11ක් නිෂ්පාදනය කරන ඉහළම තත්ත්වයේ සිමෙන්ති කම්හල් 5ක් වහලා දැම්මා. හැම දෙයක්ම විනාශ කළා. දුප්පත් පවුල්වලට එයාලගේ දරුමල්ලන්ට කන්න දෙන්න බැරි ගානට වැටුණා.‘ මාර්කෝ එසේ කියන්නේ දැඩි කනගාටුවෙන් යුතුවය.

මාර්කෝගේ මව ලිල්ජානා බ්‍රොස් ය. ඇය මාෂල් ටිටෝගේ දෙවැනි බිරිය ස්ලේටා බ්‍රොස්ගේ දියණිය වේ. පියා අයිවෝ ටොකික් ය.

‘මගේ තාත්තා යුගෝස්ලෝවියාවේ සීයාගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්. එයා බෙල්ග්‍රෙඩ් අගනුවර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධිධාරියෙක්. තනිකරම කොමියුනිස්ට්වාදියෙක්. හමුදාවේ සේවය කළේ. යුගෝස්ලෝවියාව වෙනුවෙන් විශාල සේවයක් කළා සීයා එක්ක එකතු වෙලා. සීයා මැරෙනකල්ම එයාගේ ළඟින්ම හිටපු කෙනෙක්. අම්මා බෙල්ග්‍රෙඩ් නීති විද්‍යාලයේ ඉගෙන ගත්තේ.‘

වසර 1973දී යුගෝස්ලෝවියාවේ තිරගත වූ විශිෂ්ට නිර්මාණයක් වූ Battle of Sutjeska චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක වූ බව මාර්කෝ කීවේය. ‘සීයාගේ ඉහළම මට්ටමේ කාර්ය මණ්ඩලය එක්ක අම්මා ඒ චිත්‍රපටයේ රඟපෑවේ හෙදියකගේ චරිතයක්.‘

මාර්කෝ ටොකික් බ්‍රොස් ටිටෝ වෘත්තියෙන් කාර්මික ඉංජිනේරුවරයෙක් බව ඔහු කියයි. ඔහු සිය පියා මෙන්ම දේශපාලන විද්‍යා උපාධිධාරියකු වන අතර, ඉහළම මට්ටමේ ආරක්ෂක නිලධාරියකු ද වේ.

‘මම අධ්‍යාපනය ලැබුවේ විවිධ ක්ෂේත්‍ර 18ක් වගේ පුළුල් වපසරියක නිසා ඕනෑම ක්ෂේත්‍රයක අත්දැකීම් තියෙනවා. විශේෂයෙන් කාර්මික හා දේශපාලනික වශයෙන් වැඩි අත්දැකීම් තියෙනවා.‘ ඔහු කීවේය.

ටිටෝ බ්‍රොස් පරම්පරාවේ අද සිටින්නේ අතළොස්සක් පමණි. ඒ සියලුදෙනාම ලොව විවිධ රටවල විසිරී සිටින බව මාර්කෝ කීවේය.

‘මම තමයි බ්‍රොස් පරපුරේ අන්තිම මුණුබුරා. මගෙන් පස්සේ කවුරුවත් නෑ. අවුරුදු 130ක බ්‍රොස් පරපුර දැන් එහෙම පිටින්ම අභාවයට ගිහින්. ‘ඔහු කීවේය. ටොකික් පවුලේ එකම දරුවා ද ඔහුය. ටිටෝ පවුලේ තවත් මිණිබිරියන් දෙතුන් දෙනකු ලොව විවිධ රටවල වාසය කරන බව ද මාර්කෝ කීවේය.

‘මම කාලයක් සර්බියාවේ හිටියා. එහෙ ජනාධිපති ටොමිස්ලාව් නිකොලික්ගේ ආරාධනාවකට ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මම ගියේ. ඒත් අයෝජන ගැටලුවක් නිසා ඒක අවලංගු වුණාට පස්සේ දුම්රිය ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒකේ කැණීම් කටයුතු කරගෙන යද්දී පෞරාණික සොහොන් බිමක් මතු වුණා. ඒ තත්ත්වයත් එක්ක දුම්රිය ව්‍යාපෘතියත් නතර වුණා.‘ ඔහු සිනාසෙමින් එසේ පැවැසීය. පසුකාලීනව සර්බියාවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කර ඇති මාර්කෝ ලොව ඉහළම මට්ටමේ ආරක්ෂක උපදේශකයකු ලෙස පැසසුමට ලක්වූ බවත් සිහිපත් කළේය.

‘මම වැඩ කළේ සර්බියාවේ ජනාධිපතිවරයාට. උපදෙස් දීමට හෝ සහාය වීමට හෝ ඒක non - disclosure ගිවිසුමක්. ඒ ගැන කතා කරන්න මට අවසරයක් නෑ. දේශපාලන උපදේශකවරයකු ලෙස මම ලොව බලවත් පුද්ගලයන්ට වැඩ කරලා තියෙනවා. ජනාධිපතිවරණ මැතිවරණවලදී දේශපාලන පක්ෂවලට ප්‍රචාරක කටයුතුවලට මම වැඩ කරලා තියෙනවා. උපදෙස් සපයලා තියෙනවා.‘ ඔහු පැවැසීය.

මාර්කෝ මෙරටට පැමිණියේ මීට වසර කිහිපයකට පෙරය. මහනුවර ස්වභාව සෞන්දර්යයට ආදරය කිරීමට පටන් ගත් ඔහු මේ වනවිට විවාහ වී සිටින්නේ ජාත්‍යන්තර කීර්තියට පත් ඉංජිනේරුවරියක වන රංගිතා හේරත් සමඟය.

‘මම නුවරට කැමැතියි. මගේ රටටත් වඩා හොඳ දේශගුණයක් මෙහේ තියෙන්නේ.‘


Comments