ගලෙන්බිඳුණුවැව අහිංසකයන්ගේ කෝටි 200කට විද්ද බස්නායක නිලමේගේ කෙරුවාව | සිළුමිණ

ගලෙන්බිඳුණුවැව අහිංසකයන්ගේ කෝටි 200කට විද්ද බස්නායක නිලමේගේ කෙරුවාව

ශ්‍රී ලංකාවේ යම් යම් භාණ්ඩ සේවා සහ ක්‍රියාකාරකම්වලට නම් පට බැඳෙන්නේ හරි අපූරුවටය. අත් ට්‍රැක්ටරය " ලෑන්ඩ් මාස්ටරය" නමින් හැඳින්වෙයි. මුද්‍රණ පිටපත් යන්ත්‍රය හැඳින්වෙන්නේ "ඩුප්ලෝ" යන නමිනි. මේ ආකාරයටම නීත්‍යානුකූල නොවන මුදල් තැන්පතු භාර ගැනීම් හැඳින්වෙන්නේ "සක්විති" නමිනි. මෙවන් සක්විත්තන් වරින්වර වර රටේ තැන තැන මතු වෙන්නේ එම නීත්‍යානුකූල නොවන තැන්පතු භාර ගැනීමේ ආයතනවල මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන්ගේ සේසතම ඔවුන්ට අහිමි කරවමිනි.

ඉකුත් සතියේ අග භාගයේ දී මෙවන් නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතනයක් පිළිබඳව තොරතුරු සමාජගත වන්නේ වැව් බැඳි රජරට ගලෙන්බිඳුණුවැව නගරයෙනි.

ගලෙන්බිඳුණුුවැව නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක ස්ථානගත කර තිබූ මෙම මූල්‍ය ආයතනය මඟින් වැඩිම පොලියක් ගෙවන බව සඳහන් කරමින් වැව් බැඳි රජරට හුරුළු ව්‍යාපාරයේ ජනතාව ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල ජනතාවගේ මුදල් තැන්පතු භාරගෙන රුපියල් කෝටි 200 ක පමණ මුදලක් තමන්ට වංචා කර ඇති බව මෙම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ පිරිසක් ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ මෙම මූල්‍ය ආයතනය පිළිබඳ තොරතුරු මතු වෙමින් පවතී.

වසර හතරක පමණ කාලයක් තිස්සේ ගලෙන්බිඳුණුවැව නගරයේ පවත්වා ගෙන ගොස් ඇති මෙම මූල්‍ය ආයතනය ලබා දෙන ආකර්ෂණීය මාසික පොලිය නිසා ගනුදෙනුකරුවන් දහසකට වැඩි පිරිසක් මෙම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර ඇති බවත් තැන්පතු මුදල් වෙනුවට මාසිකව පොලී මුදල් ලබා ගැනීම දිගින් දිගටම සිදුව ඇති බවත් ගලෙන්බිඳුණුවැව පොලිසියේ උසස් නිලධාරියකුගෙන් ඉකුත් 12 වන දින සිළුමි⁣ණ කළ විමසුමකදී දැනගන්නට ලැබිණි.

තව දුරටත් අදහස් දැක්වූ එම උසස් පොලිස් නිලධාරියා පැවසුවේ මෙම තැන්පතුකරුවන් සමඟ කර ඇති ගනුදෙනු හුදෙක් පෞද්ගලික ගනුදෙනුවල ස්වරූපයක් ගන්නා හෙයින් එම මූල්‍ය ආයතනයේ හිමිකරුට සිවිල් නඩු පවරා තම මුදල් ලබා ගැනීමට අධිකරණය හරහා කටයුතු කරන ලෙස එම තැන්පතුකරුවන්ට උපදෙස් ලබා දුන් බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයක් නොලබා මෙම මූල්‍ය ආයතනය පවත්වා ගෙන ගොස් ඇති හෙයින් ශ්‍රී ලංකා මහ බැංකුව ද විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිලා පොලිසිය පාර්ශ්වයෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

මෙම මූල්‍ය ආයතනය තමන්ගේ මුදල් වංචා කර ඇති බව පවසමින් එහි මුදල් තැන්පත් කළ 150 ක පමණ පිරිසක් ඉකුත් 11 වන දින ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වන පරිදි ඒකරාශී වෙමින් පැය එකහමාරක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂණයට ද සහභාගී වූ රුපියල් ලක්ෂ 15 ක මුදලක් මෙම මූල්‍ය ආයතනයේ තැන්පත් කළ විශ්‍රාමික යුද හමුදා සෙබළකු වන මිලාන් කුමාර සිළුමිණට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මා මෙම මූල්‍ය ආයතනයේ රුපියල් ලක්ෂ 15 ක් තැන්පත් කළා. මට රුපියල් 75000/- මුදලක් මාසිකව පොලිය ලෙස ලැබුණා. එහෙම අවුරුද්දක් නොකඩවා මෙම පොලී ගෙවීම සිදු කරගෙන ආවා. නමුත් දැන් මාස නවයක් තිස්සේ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා මිසක් අපට පොලිය ගෙවන්නෙත් නැහැ. අප තැන්පත් කළ මුදල් ආපසු දෙන්නෙත් නැහැ.

මේ කාලය ඇතුළත කුරුණෑගල "කුල්ල" නමින් වන හෝටලයට ගනුදෙනුකරුවන් කැඳවා මෙහි හිමිකරු අදහස් පැහැදිලි කළා.

2022 සැප්තැම්බර් 09 ඉඳලා මේ වනතුරු 41 වතාවක් අපව කැඳවා මේ අදහස් පැහැදිලි කිරීම් කළා. එහෙම අදහස් පැහැදිලි කරනවා විතරයි. අපට සාධාරණයක් ඉටු වන්නේ නැහැ. මම මේ ලක්ෂ 15 තැන්පත් කළේ මගෙ වාහනයේ පොත උගසට තියලා මුදල් හොයාගෙන. මේ මුදල් තැන්පතුකරුවන්ගෙන් 80% ක්ම රත්තරන් බඩු උකසට තැබීම්, ඉඩකඩම් විකිණීම් ආදී විවිධ තමාගෙ දේපළ විකුණලා හෝ උකසට තබලා තමයි මේ ආයතනයේ මුදල් තැන්පත් කළේ.

මෙහි හිමිකරු මීට පෙර කහටගස්දිගිලියෙ මේ නමින්ම ආයතනයක් පටන් අරන් තිබුණා. මේ වගේ ආයතන සහ පුද්ගලයන් හය හත් දෙනෙක්ම මෙවැනි මුදල් තැන්පතු භාරගෙන පොලී ගෙවීම කරගෙන ගියා. ඒ අය ගෙව්වෙ 3% ක පොලියක්. මෙයා 5% ගෙවනවා කිව්වම ඒ පුද්ගලයන් සහ ආයතන ඉබේම නැතිව ගියා. ඒ අය මේවාගෙන් ඉපයූ මුදල් මේ හුරුළු ව්‍යාපාරයේමයි සංසරණය වෙන්න ඇරියේ. නමුත් මේ ආයතනය ඉපයූ මුදල්වලින් වැඩිහරියක් හුරුළු ව්‍යාපාරයෙන් පිටස්තරවයි සංසරණය වුණේ.

මෙහි හිමිකරු ගලෙන්බිඳුණුවැව අපි කවුරුත් දන්න පවුලක කෙනෙක්. උපාධිධරයෙක්. ගුරුවරයෙක්. දකුණු පළාතේ ප්‍රධාන විහාරස්ථානයක බස්නායක නිලමේ ධූරයක් පවා දරපු කෙනෙක්. එහෙම අපි දන්න අපේ ගමේ කෙනෙක් නිසා අපි බය නැතිව අපේ මුදල් තැන්පත් කළේ.

දින කිහිපයකට පෙරත් එයා අපට කතා කරලා තවත් සතියක් ඇතුළත මෙම ගනුදෙනුවල නිවැරදි පැත්ත තේරුම් කරලා දීලා අපේ මුදල් ආපසු ගෙවනවා කියලා කිව්වා. නමුත් 41 වතාවක් දෙනවා කිව්වට නොලැබුණු නිසා තමයි අපි එකතු වෙලා උද්ඝෝෂණය කළේ. නීතිය හමුවට යන්න තීරණය කළේ.

මේ ආකාරයට විශ්වාසය සහ ආකර්ෂණීය පොලිය නිසා මෙම ආයතනයේ මුදල් තැන්පත් කළ හුරුළු ව්‍යාපාරයේ බොහෝ අය අතර ළඟ නොබලා දුර බැලූ නිසා බේරුණු කිහිප දෙනෙකු ද සිටිති. ඔවුහු මෙම තැන්පතු ගැන කරන ලද විමසීමෙන් පසු නිහඬ වූවෝය.

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු වූ කේ. කේ. පී. ඊ. සමරසිංහ ද එසේ විමසා නිහඬ වූවෙකි.

මා විශ්වාස කරන්නේ රාජ්‍ය බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් පෞද්ගලික බැංකු ඇතුළු එවැනි කීර්තිනාමයක් හිමිකරගත් බැංකු සහ මූල්‍ය ආයතන විතරයි. එතනිනුත් විශේෂයෙන්ම රාජ්‍ය බැංකු විතරයි.

මම නම් මෙහෙම ආයතන කරන අයට වඩා වැරදිකරුවන් ලෙස දකින්නේ නිසි විමසීමකින් තොරව මේවායේ මුදල් තැන්පත් කරන අයයි. වැඩි තණ්හාවට ද මන්දා වැඩි පොලියක් බලාගෙන අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්ත්වයට පත්වෙන මේ වගේ ආයතනවල මුදල් තැන්පත් කරන අය මීට වඩා හිතන්න ඕන.

තවමත් ඉවසීමේ ගුණය ප්‍රගුණ කරමින් සිටින එම තැන්පත්කරුවන් තමන් මේ වෙනුවෙන් ඉවසා ඇති තරම පහත ප්‍රකාශයෙන් පසක් වේ.

" මේ මූල්‍ය ආයතනයේ හිමිකරු කහටගස්දිගිලියෙ සහ ගලෙන්බිඳුණුවැව යන නගරවල පවත්වා ගෙන ගිය තමන්ගෙ මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් බව තැන්පතුකරුවන්ට ඒත්තු ගන්වන්න එහෙම කරලා විශ්වාසය දිනා ගන්න කටයුතු කළා. රජයේ පිළිගත් නීතිඥවරියක් තම ආයතනයේ සේවය කරන බව සහ එම නීතිඥවරිය මඟින් මෙම ගනුදෙනුවලට අදාළ සියලු ලියකියවිලි නීත්‍යානුකූලව සකස් කරන බව කියන මතය සමාජගත කරන්නයි මේ වගේ දේවල් කළේ.

මේ ලියාපදිංචිවීම් පිළිබඳ ලොකු අවබෝධයක් මේ ගනුදෙනුකරුවන් අතරේ හිටපු බොහෝ දෙනෙකුට තිබුණෙ නැහැ. මේ මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ අය අතර රජයේ සේවකයන්, ගුරුවරු, විශ්‍රාමිකයන් සහ විශේයෙන්ම යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අය හිටියා.

මේ අය අතර තමන්ට ලැබුණු විශ්‍රාම පාරිතෝෂිකය එහෙම පිටින්ම මේ ආයතනයේ තැන්පත් කරපු අය පවා හිටියා.

ඒ අතර ගමේ ගොවිතැනක් බතක් කර⁣ගෙන ජීවිතේ ගැට ගහ ගත්ත අය වගේම පේමන්ට් එකේ බිස්නස් කරන අය වගේ විවිධ තරාතිරම්වල අයත් හිටියා.

2022 සැප්තැම්බර් වනතුරු නියමිත දිනයට නියමිත මුදල අපට ගෙව්වා. එහෙම ගෙවන්න ගෙවන්න තව තව අය මුදල් තැන්පත් කළා. මෙයා එයාගෙ මුදල් ආයෝජනය කරන සමාගම හැටියට අපට කිව්වෙ කොටස් වෙ‍ෙළඳපොළ හරහා ඩොලර්වලින් ගනුදෙනු කරන කෝපරේට් කියන සමාගම ගැනයි.

මේ සමාගම බිඳ වැටුණලු. ඒ සමාගම සමඟ කටයුතු කරපු මේ මූල්‍ය ආයතනයේ හිමිකරුට එම සමාගමේ තියෙන රුපියල් කෝටි 900 ක මුදලක් අයිතියි. ඒ මුදල් ඔහුගේ. දැනට ඒ මුදල අත්හිටුවා තියෙන්නේ. ඒ අත්හිටුවීම නවත්වන්න අධිකරණයට ගිහින් ඉන්නේ

ඒ නඩුවෙන් ඒ මුදල් නිදහස් කර ගත්තාම අපේ මුදල් ගෙවනවා කියලා තමයි එයා කියන්නේ. නඩු අංකත් සමඟ මේ තැන්පතුකරුවන් එකතු කරලා එයා හදලා තිබෙන වට්ස්ඇප් ගෘප් එකක සජීවීව පෙනී සිටිමින් මෙයා කිව්වා

මේ ආයතන හිමිකරු 2023 පෙබරවාරි 28 මේ මුදල් ගෙවන බව.

නමුත් ඒක එහෙම වුණේ නැහැ. එහෙම ගෙවයි කියලා හිතාගෙන මේ ගනුදෙනුකරුවන්ගෙන් වැඩි දෙනෙක් ණයට සල්ලි ගත්තා.

ඊළඟට 2023 සිංහල අවුරුදු කන්න ලස්සන අවුරුද්දක් සමරන්න මේ මුදල් දෙනවා කිව්වා. අපි නැවත ඒ මුදල් ලැබෙන බලාපොරොත්තුවෙන් නැවත ණයට ගත්තා. ඒ පාරත් ගෙව්වෙ නැහැ

ඊළඟට ජුනි 26 ලයිව් වීඩියෝ එකකින් වට්ස්ඇප් ගෘප් එකට ඇවිත් ජූලි 10 අනිවාර්යෙන් දෙනවා එහෙම නුදුන්නොත් 11 වෙනිදා උද්ඝෝෂණය කරන්න බැරි නම් ඕනෑ එකක් කරන්න කිව්වා

ජූලි 10 දුන්නෙත් නැහැ. ඊට පස්සෙ අපි මේ විරෝධතාව කළේ."

සක්විති, දඬුවම් වැනි නම්වලින් කරලියට ආ නීත්‍යානුකූල නොවන මුදල් තැන්පතු භාරගත් ඇත්තන් අතරට නොවැටී තමන් කළ කාර්යය නිවැරැදි නම් මෙම ගනුදෙනු⁣වල නිවැරැදි පැත්තක් ඇත්නම් එය සිය ගනුදෙනුකරුවන්ට පැහැදිලි කර දී මනසට ද වදයක් වූ මේ ගනුදෙනුවෙන් හිත නිදහස් කර ගන්නට තවමත් මෙම මූල්‍ය ආයතනයේ හිමිකරුට අවස්ථාව ඇති බව වැව් බැඳි රජරට ළෙන්ගතු මිනිස්කමෙන් පිරි හුරුළු ව්‍යාපාරයේ ජනතාවගේ යහපත් හැසිරීම අපට පසක් කරවයි.

lසුනිල් පොරමඬල,රජරට සංචාරයකින් පසුව

Comments