ආදරේ ඇති වෙමින් නැති වෙමින් හොයමින් යනවා | සිළුමිණ

ආදරේ ඇති වෙමින් නැති වෙමින් හොයමින් යනවා

 

අනුරාධ මල්ලවආරච්චි ගමගේ කියන්නේ වේදිකාව මතින් සිය රංග ප්‍රතිභාවන් මතුකරගත් තරුණ කඩවසම් රංගන ශිල්පියෙක්. වේදිකාවේ එකිනෙකට වෙනස් වූ චරිත තුළින් සජීවී ප්‍රේක්ෂකාගාරය අමතන අනුරාධ මේ දිනවල පුංචි තිරයේත් චරිත ද්විත්වයකින්ම ප්‍රේක්ෂකයින් ආමන්ත්‍රණය කරමින් සිටී. ඒ නිසාම මේ කතාබහ අනුරාධ මල්ලවආරච්චි සමඟ

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

සුපුරුදු විදියට වේදිකා නාට්‍යය කිහිපයක වැඩ කරනවා. රාජිත දිසානායකගේ “2019 ජූලි මාසේ දවසක්“ සහ “නැතුව බැරි මිනිහෙක්“. ඒ එක්කම ප්‍රියංකර රත්නායකගේ ඊඩිපස් නාට්‍යයේ අනුවර්තනයක් වුණු රතු වෙස් මුහුණු සහ අශෝක හඳගමගේ ඇන්ටික් කඩයක මරණයක් ඒ අතර ප්‍රධාන වශයෙන් මේ දවස්වල තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යවලින් ගත්තම මේ දවස්වල විකාශය වන ශාන් ජයරත්නගේ අක්ෂි නාට්‍යයේ සහ ජගත් මනුවර්ණගේ කොඩි ගහ යට නාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙනවා.

අක්ෂි හි ලොයිඩ් ට සහ කොඩි ගහ යට ගාමිණීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අක්ෂි හි ලොයිඩ් හි කොටස් නම් තවම විකාශය වෙන්න පටන් ගත්තා විතරයි නිසා තවම ප්‍රතිචාර ගැන කියන්න විදියක් නැහැ. නමුත් කොඩි ගහ යට ගාමිණීට ලැබෙන ප්‍රතිචාර ගැන කියනවා නම් වෙනස් විදියේ විශේෂ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. සමහර රූපගත කිරීම් වෙහෙසකාරී වුණත් ඒ වෙහෙසට යම් කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා කියන දේ ප්‍රතිචාරවලින් දැනෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. ඒ එක්කම රංගන ශිල්පියෙක් විදියටත් ඒ ලැබුණු අවස්ථාව ගැන විශේෂ ප්‍රසාදයක් තියෙනවා. ජගත් මනුවර්ණ අධ්‍යක්ෂකවරයෙක් විදියට ගත්තත් මට මෙතෙක් පුංචි තිරයේ හමුවුණ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඒ වැඩේ ඉතාම වගකීම් සහගතව කරමින් ඉන්නවා.

අනුරාධව වේදිකාවේ තරම් පුංචි තිරයේ නොදකින්නේ, වේදිකාවටද ජිවිතේ වැඩි ඉඩක් දෙන්නේ?

කාරණා කිහිපයක් තියෙනවා. එකක් වේදිකා නාට්‍යය ගත්තම මේ ගෙවුණු අවුරුදු 15ක කාලයක්ම මම හිටියේ වේදිකාව එක්ක. එතකොට වේදිකා නාට්‍යයක් කරද්දී වගකීම් සහගතව එයට සම්බන්ධ වෙන්න වෙනවා. එක නිර්මාණයකට මාස තුන හතරක දීර්ඝ කාලයක් පුහුණුවීම් තියෙනවා. ඒ වගේම අපේ ටෙලි නාට්‍යයක ෂූටින් කෙරෙන විදියක් තියෙනවා. එක දිගට දවස් 10ක් වගේ. වේදිකා නාට්‍යයක වැඩ කරන කාලයක් අතරේ ටෙලි නාට්‍යයවලට මට දින දෙන්න බැරි වෙන එක. එහෙම මඟ හැරුණ තැන් තමයි ගොඩක් තියෙන්නේ. ඒ හැර මම ටෙලි නාට්‍යය වල‍ට සම්බන්ධ වෙන්නේ නෑ කියලා එකක් නැහැ. හොඳ වැඩක් නම් මට දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් මම කරනවා.

සිනමාවට ලැබුණු අවස්ථා කොහොමද?

මට අවස්ථා දෙකකදී ලංකාවේ මහාචාර්යවරු දෙන්නෙක්ගේ චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ධර්මසේන පතිරාජයන්ගේ ස්වරූප සහ සුනිල් ආරියරත්න මහතාගේ විජයබා කොල්ලය. ස්වරූප චිත්‍රපටය මට විශේෂයි. මට තිබ්බේ එක වචනයක් කියන්න පමණයි. ඒ වචනය වෙන්නේ “ඉතින්”. ඒ චිත්‍රපටය අවසන් වෙන්නේ ඒ “ඉති” කියන වචනයෙන්. රේකෝඩින් එකේ අවුලක් වෙලා පසුව ඒ මම ඉන්න වචනය මට හඬ දුන්නේ තුසිත ලක්නාත්. ඒ චිත්‍රපටය එක්ක ගත වුණු දවස් හතර තුළ මට අවස්ථාව ලැබුණේ අපේ සිනමාවේ දැවැන්තයින් එක්ක ගත කරන්න. විමල් කුමාරද කොස්තා, ඩබ්ලිව්. ජයසිරි, ඩොනල්ඩ් කරුණාරත්න වගේ ප්‍රවීණයින්. ඒ නිසා ඒ කාලය මම නිකම් ශීඝ්‍රයෙන් කරපු උපාධියක් වගේ. අනුරාධ වෘත්තීමය රංගන ශිල්පියෙක්ද කියලා ඇහුවොත්?

මම කවදාවත් හිතලා නැහැ මම වෘත්තීමය රංගන ශිල්පියෙක් වෙනවා කියලා. හැබැයි මේ ගත වුණු කාලය දිහා ආපසු හැරිලා බැලුවම මම ඉඳලා තියෙන්නේ කලාව එක්ක විතරයි. මම තාමත් කියන්න උත්සාහ කරන්නේ නැහැ මම වෘත්තීමය රංගන ශිල්පියෙක් හෝ වෘත්තීමය නාට්‍යකරුවෙක් කියලා. මොකද ඒකට මම මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. වෘත්තීමය කලාකරුවෙක් වෙනවා කියන එක ඇතුළේ ලොකු දෙයක් තියෙනවා. කවදත් මම කරන වැඩක් වෙනුවෙන් වගකීමෙන් කරන්න උත්සාහ කරන එක තමයි මම කරලා තියෙන්නේ. එහෙම සෑහෙන කාලයක් ගත වෙලා ගිහින් තියෙනවා.

අවුරුදු 15ක්, දීර්ඝ කාලයක්... මොකද හිතෙන්නේ ආපස්සට හැරිලා බලද්දී?

මගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවම ඒ ගැන සතුටක් තියෙනවා. කලාවට මගේ ප්‍රවිෂ්ට විම ඉතා අහම්බයක්. පොඩි කාලේවත් හිතාගෙන හිටිය කෙනෙක් නෙවෙයි නළුවෙක් වෙනවා කියන එක. මම ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ කරාටත් පස්සේ පාසලෙන් අවුට් වෙලා නාට්‍යය කරන්න ගත්තේ. නාට්‍යය කිරීමත් එක්ක මට ගොඩක් දේවල් ජීවිතේට ලැබිලා තියෙනවා. මනුස්සයෙක් විදියට දේවල් දිහා දකින්න. අනිත් අය ගැන හිතන්න තව කෙනෙක් හිතන විදිය ගැන හිතන්න වගේ දේවල් මිනිස්සු දිහා හැම පැත්තෙන්ම හිතන්න මට ඉඩ ලැබුණේ නාට්‍යය එක්ක ඉන්න නිසා. සාමාන්‍ය ජීවිතේ දී අපි මඟ හරින ගොඩක් දේවල් බොහොම පහසුවෙන් මඟ හැරලා දාලා, ජීවිතේ අරමුණු කියලා හිතන් පස්සෙන් දුවන දේවල්වල එහෙම යන්නේ නැතුව නැවතිලා බලන්න, අවබෝධයෙන් ඉන්න එක හැදිලා තියෙනවා. ඒ නිසා මේ ආ ගමන ගැන සතුටුයි.

අපි කතා කළොත් ඔබේ පෞද්ගලික තොරතුරු?

මගේ ගම ගාල්ල. මගේ පාසල වුණේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය. උසස් පෙළින් පස්සේ නාට්‍යය කලාව ගැන වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ඕනේ කියලා හිතලා මම ගියා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට. නාට්‍යය වෙනුවෙන් මම කොළඹ අවට ජීවත් වෙලා තියෙනවා. නමුත් අදටත් මගේ ස්ථිර පදිංචිය ගාල්ලේ.

කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?

මුල්ම කාලේ නම් අම්මාගෙයි තාත්තාගෙයි ලොකු ප්‍රසාදයක් තිබ්බේ නැහැ, මම මේ ‍ෙත්‍රය තෝරා ගත්තට. මේක පොඩි රස්තියාදුවක් වගේ එකක් කියලා තමයි ඔවුන්ට දැනිලා තිබුණේ. පස්සේ කාලෙක මම සැලකිය යුතු ගමනක් යනවා කියලා දැණුනට පස්සේ මගේ ගැන උපේක්ෂා සහගතව ඉවසන්න විඳ දරාගන්න ඔවුන් පුරුදු වුණා. මම ආර්ථිකමය අතින් කොහෙටද මේ යන්නේ කියන එක සහ මේකත් එක්ක පැවැත්ම කොහොමද තීරණය වෙන්නේ කියන එක මගෙ දඩබ්බර හීනයක් වුණා. හැබැයි මම සහ මගේ සමීපතමයන් ඒකට හුරුවෙලා ඉන්නවා.

ඒ කියන්නේ අනුරාධ හිතුවක්කාරයෙක් ද?

හිතුවක්කාරයි කියන්නේ මම මට හිතුවක්කාරයි. මොකද මම විශ්වාස කරන මම හරියි කියලා හිතන දේ වෙනුවෙන් මම පෙනී ඉන්නවා කොන්දේසි විරහිතව. ඒ හැර තව කෙනෙක්ව අහන්නේ නැති තව කෙනෙක්ව ඉවසන්නේ නැති තැනකින් නෙවෙයි මම හිතුවක්කාර. මමත්වයෙන් හිතලා නෙවෙයි මම හිතුවක්කාර. මම විශ්වාස කරන දෙයක් වෙනුවෙන් මම පෙනී ඉන්නවා.

ආදරවන්තයෙක් ද?

ආදරය කියන එක ලොකු මාතෘකාවක්. ජිවිතේ සමහර දේවල් ගැන හිතනවා වගේම ඒ ගැනත් බරපතළ විදියටම හිතන කෙනෙක්. ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. ආදරේ ඇතිවෙමින් නැතිවෙමින් හොයමින් යනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

කවදා හෝ කරන්න ඕනේ කියලා හිතෙන නිර්මාණ තියෙනවා. වයලීනයක් වුණත් හොඳට ටියුන් කරන් හිටියට වැඩක් නැහැ හොඳ සිම්පනි එකක් හම්බුනේ නැත්නම්. ඒ නිසා අපි ඇක්ටර් කෙනෙක් විදියට ට්‍රේන් කරන දෙයක් තියෙනවනේ. මේක යොදවන්න පුළුවන් තැනක් අවකාශයක් හම්බුණාම ඒ වෙනුවෙන් කැපවෙලා වගකීම් සහගතව යෙදවෙන්න බලන් ඉන්නවා. අලුතින් සිනමාව ගැන වේදිකාව ගැන සහ ටෙලි නාට්‍යය ගැන උනන්දු තරුණ පරම්පරාවක් හැදෙනවා. නිකම් නෙවෙයි ලෝකයේ දැනුම එක්ක. ඒ නිසා මම ඉතාම ආසාවෙන් බලන් ඉන්නවා අලුත් තරුණ කොටස් එක්ක වැඩ කරන්න. මම සුබවාදීව හිතනවා ඉදිරි කාලයේ වඩා යහපත් නිර්මාණ නිර්මාණය වෙයි කියලා.

Comments