ආදරය නැත්නම් ජීවත් වෙන්නත් බෑ | Page 3 | සිළුමිණ

ආදරය නැත්නම් ජීවත් වෙන්නත් බෑ

 

නිදුකින් ඉනු මැන මට වඩා කල් ගීතය අපේ හිත්වල තවමත් අමුතුම ආකාරයේ රසයක් මවනවා. මේ වන විට කවුරුත් කතා බහ කරන ගායකයකු වන ඔහු දිමංක වෙල්ලාලගේ. රසික හදවත් රසවත් කළ “දිමංක හදිස්සියේම ප්‍රසංග වේදිකාවෙන් සමුගන්න යනවා“ කියන රාවයත් එක්ක ඒ ගැන ඇත්ත නැත්ත දැන ගැනීමේ අරමුණින් ඔහු සමඟ කළ කතා බහකි මේ.

 

කොහොමද මේ දවස්වල ජීවිතය?

මේ දවස්වල වැඩ කටයුතු ටික බොහෝම හොඳින් කරගෙන යනවා. මගේ අලුත්ම ගීතයත් රිලීස් වුණා “රුවල් බිඳිලා“ කියලා. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඒ ගීතයට. ඒ වගේම මගේ රසිකයන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබුණා වෙනස් රිද්මයේ ගීතයක් රැප් එකක් එක්ක ඕනේ කියලා. මේ දවස්වල ඒ ගීතය සහ වීඩියෝ එකේ කටයුතු සූදානම් කරගෙන යනවා. මේ සේරමත් එක්ක ටිකක් කාර්යබහුල තත්වයට පත් වෙලා ඉන්නේ.

දිමංක ඇයි මේ දවස්වල වැඩිය ප්‍රසංග වේදීකාවේ දකින්න නැත්තේ?

එහෙම එකක් නෑ,ප ්‍රසංග වේදිකාවට මම තවමත් සහභාගි වෙනවා. දැනට වසර 11කට කලින් මේ ගමන පටන් ගන්නකොට තිබුණාට වඩා වැඩි වශයෙන් මම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒකෙ කිසිම අඩුවක් වෙලා නැහැ.

 

ඔබ ගායනයෙන් සමුගන්නවා කියන කතාවක් ඇහෙනවා. ඒක ඇත්තද ?

මම කවදාවත් ගායනයෙන් සමුගන්නේ නැහැ. ඒක වුණේ මේ විදිහට. මම එක පෝස්ට් එකක් පළ කළා සංගීත ප්‍රසංග ගැන. ඒ එක්කම මට පොඩි අදහසක් තිබුණා මගේම දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඒ සියල්ලම එක්ක තමයි මම කිව්වේ ඒ අදහස. එහෙම නැතිව කා එක්කවත් අමනාපයක් නිසා කියපු දෙයක් නෙමෙයි. නමුත් ඒ කිව්ව දෙය මාර විදිහට වයිරල් වුණා. මම ඒකෙන් හිතා ගත්තා මිනිස්සු මට කොච්චර ආදරෙයි ද කියලා. හුඟක් අය මට කතා කළා. ඒ ආදරයට මම හැමදාම ගෞරව කරනවා. ඒ නිසා මම ගායනයෙන් සමුගන්නේ නෑ. දිගටම සංගීත ශිල්පියෙක් විදිහට වැඩ කරනවා.

 

ප්‍රසංග වේදිකාවේ ඔබව කලකිරීමට පත් කළ සිදුවීම?

එළිමහන් ප්‍රසංග වේදිකාව කියන්නේ ප්‍රේක්ෂකයන් විදිහට හා රසිකයන් විදිහට ඔයාලට පෙනෙන විදිහට වඩා වෙනස් විදිහකින් ඒ ගායන ශිල්පියන්ට පෙනෙන තැනක්. මම එහෙම කිව්වේ මේ හේතුව නිසා. සංගීත සංදර්ශනයකට අපි යන්නේ විනෝද වෙන්නනේ. නමුත් සමහර සංවිධායකයන් අපි ගැන බලනවා බොහොම අඩුයි. සමහර තැන්වලදී සංගීත ශිල්පීන් හරිම අනාරක්ෂිතයි. මට ඒ වගේ සිදුවීම් කීපයක්ම වෙලා තියනවා. මම කියන්නේ ශිල්පියෙක් විදිහට මට යම් තාක් දුරට ඒක පාලනය හා දරා ගන්න පුළුවන් වුණත් කාන්තා ශිල්පිනියන්ට ඒ දේවල් හරිම අපහසුයි. අඩුම තරමේ සමහර ස්ටේජ්වලට හරියට නඟින්න තැනක්වත් නෑ. සින්දු කියන අවස්ථාව එනකම් ඉන්න තැනක් නෑ. මේවා සංවිධානයේ දුර්වලතා. මම කිව්වේ මේක හැම දෙනාටම අදාළ කාරණවක් නෙමෙයි. බොහෝම සීමිත පිරිසක් ඉන්නවා මේ වගේ අක්‍රමවත්ව වැඩ කරන. ඒ නිසා මම කියන්නේ සම්බන්ධීකරණ නිලධාරින් සහ සංවිධායකවරුන්ට මේ වගේ අපහසුතාවයන් මඟ හැර ගෙන ලස්සන සංගීත ප්‍රසංගයක් කරමු කියලා. එතකොට අපි හැමෝම තෘප්තිමත් නේ. අන්න ඒ සිස්ටම් එක හැදෙනවා නම් මම ඉතාම කැමතියි.

 

දිමංක දැන් ව්‍යාපාරිකයෙක් නේද. ඒ ගැනත් විස්තර ටිකක් අපිට කියන්න.

මම මගේම කියලා d wella කියලා මගේම බ්‍රෑන්ඩ් එකකින් ටීෂර්ට් වගයක් නිර්මාණ කළා. ඇත්තටම කියන්න සතුයි. ඒකෙ පළමු තොගය මේ වෙනකොට නිමා වෙලා තියෙන්නේ. මගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙක් මේ ටී ෂර්ට් මිලදී ගත්තා. දැන් ඒකෙ දෙවැනි තොගය මේ දවස්වල සකස් වෙමින් තියනවා. ඉතිං අපි බලමු ඉදිරියෙදී තවත් ලස්සන නිර්මාණ D wella වෙතින් බලා ගන්න පුළුවන්.

 

ඔබේ පවුලේ විස්තර කිව්වොත්

මට දුවෙක් ඉන්නවා. එයාගේ වයස දැන් අවුරුදු 4යි. මගේ බිරිඳත් මගේ වැඩ කටයුතුවලට සහයෝගය දෙනවා. ඉතිං අපි හොඳින් ජීවිතය ගතකරනවා.

 

සංගීත ක්ෂේත්‍රයේ සිටිය මේ අවුරුදු 11ක කාලය තුළ ඔබ ලබා ගත් අත්දැක්ම් මොනවද ?

මගේ ජීවිතය පටන් ගන්නේ නාවික හමුදාවෙන්. මගේ පුහුණු කණ්ඩායමේ විශිෂ්ටතම නාවිකයා වෙලා තමයි මම නාවික හමුදාවෙන් විසිර යන්නේ. ඒ ලැබුණ පන්නරයත් එක්ක මම ගායකයෙක් වෙන්න තීරණය කරනවා. සංගීත ජීවිතයට ආවට පස්සේ මට ගොඩාක් අත්දැකීම් ලබන්න පුළුවන් වුණා. මම විදේශ රටවල් බොහොමයකට සංචාරය කළා. ඒ ඒ ජනකොටස්, සංස්කෘතින්, සංගීත වෙනස්කම් වගේ හැම දෙයක්ම මම දැනගත්තා. ලංකාව වටෙත් මම හැම ප්‍රදේශයකටම ගිහින් තියනවා. එක එක චරිත, මිනිසුන් හඳුනා ගන්න පුළුවන් වුණා. ආපහු හැරිලා බලනකොට මට ගොඩාක් තෘප්තියක් දැනෙනවා. නමුත් ගායකයෙක් විදිහට ගත්තාම මම තාම මං ගැන තෘප්තිමත් නෑ. සංගීතය තුළ තව හැදෑරීම් කරන්න ඕනේ. මට තාම මාව මදි.

 

සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නවකයන් ගැන ඔබේ අදහස?

සංගීතය කියන්නේ ගහක් නම් මේ ප්‍රවීණයන් තමයි ඒ ශක්තිමත් ගහ නිර්මාණය කළේ. අපි අද දළු දාලා හැදෙන්නේ මේ ප්‍රවීණයන් හැදුව , පෝෂණය කළ ගහේ. පළමුවෙන්ම ඒ සියලුම දෙනාට මගේ ආදරය,ගෞරවය පුදකරනවා.

නවකයන් ගැන කිව්වොත් මමත් නියෝජනය කරන්නේ ඒ පරම්පරාව. හැබැයි මම දැක්ක ලොකුම වෙනස මේ අලුත් පරම්පරාවේ අයට තියනවා බොහෝම කලබලයක්. හික්මීම කියන එක බොහෝම අඩුයි. ප්‍රවීණයන්ට ගෞරව කිරීමක් නෑ. මුදල් මත තමයි හැමදේම තීරණය කරන්නේ. මම කියන්නේ නෑ මුදල් ඕනේ නෑ කියලා. නවක පරම්පරාව දැනට වඩා සාරධර්ම වලින් පිරුණු පාරක් දිගේ යනවා නම් මම හුඟක් කැමතියි. නැත්නම් ටික කාලයක් ගිහින් ආපසු හැරි බලනකොට. අනේ අපි මොනවද කරලා තියෙන්නේ කියලා පසුතැවෙන්න වෙයි. ඒ නිසා උඩින් පේන ෆැන්ටසිය දකින්නේ නැතිව හැම තිස්සෙම රියැලටිය දකින්න කියලාම ඉල්ලා සිටිනවා.

 

දිමන්ක තමාව දකින විදිහ කොහොමද

මිනිසුන්ට කිසිම හානියක් නොකරන, බොරුවට ඉතාම අකමැති , කෙළින් ජීවත් වෙන්න ආස මනුස්සයෙක්. ඕනෑම කෙනෙකුට මම උදව්වක් කරන්න බොහෝම කැමතියි. මම කැමතියි ඕනෑම කෙනෙකුට අත දෙන්න. මම ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් විදිහකට දැකපු සහ දකින කෙනෙක්. ඒ වගේම සරල සාමාන්‍ය ගායකයෙක්, මනුස්සයෙක්.

 

ආදරය ගැන ඔබේ අදහස.

ආදරය කියන්නේ හැමදෙනාගේම අවශ්‍යතාවයක් සහ උරුමයක්. ආදරය නැත්නම් ජීවත් වෙන්නත් බෑ. හැබැයි අපි මුලින්ම තමාටම ආදරය කරන්න ඕනේ. සංගීත ක්ෂේත්‍රය කියන්නේ ආදරය බෙදන්න පුළුවන් තැනක්. මම කැමතියි සංගීතයෙන් ආදරය මුළු ලෝකයටම කරන්න.

 

ඔබේ අනාගත සිහින මොනවාද ?

ඇත්තටම එහෙම විශේෂ සිහිනයක් නෑ. වැදගත්ම දේ මම ගායනය පැත්තෙ තව බොහෝ දෙවල් හදාරලා සමාජයට තව අලුත් යමක් දෙන්න තමයි මගේ සිහිනය. මම ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.

 

 

Comments