
ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. වත්මන් ක්‍රියා පටිපාටිය අනුව ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇත.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති වික්‍රමසිංහයන් විසින් අවධාරණය කර ඇත.
2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමටත්, විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටත්, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව කටයුතු කළ යුතු බවට, ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරු අය හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.