මහ රැජන ගිය දුම්රියෙන් තානාපතිවරු උඩරට ගිය හැටි | සිළුමිණ

මහ රැජන ගිය දුම්රියෙන් තානාපතිවරු උඩරට ගිය හැටි

මෙරට මුහුදු මට්ට­මින් උසම ස්ථානයේ ( පට්ටි­පොළ - Summit Level) දුම්රිය නවතා සේයා­රු­වක් ලබා­ගත් අව­ස්ථාව.

දිනය ජූලි මස 1 වෙනිදා සෙනසුරාදාය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන දුම්රියක් නවතා තිබුණි. මෙරටට දුම්රිය ධාවනය හඳුන්වා දුන් අවදිය සිහි වීම පිණිස විශේෂ දුම්රියක් ලෙස ධාවනය කරනු ලබන වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය (Viceroy Special) එසේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 3 වෙනි වේදිකාවේ නවතා තිබුණි. එය මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියකි. පෙරවරු 7.15 පමණ වන විට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ජපන් තානාපති මිෂුකොෂි හිදෙකි හා දකුණු අප්‍රිකානු නියෝජිතයන් ඇතුළු විදේශ දූත මණ්ඩල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය. ඔවුහු මහත් ආශාවෙන් යුක්තව වයිස්රෝයි ස්පෙෂල් දුම්රියට ගොඩ වූහ.

මෙරටට දුම්රිය සේවාව හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය යුගයේ මහ රැජන ගමන් ගත් නැරැඹුම් දුම්රියක් ලෙසින් අදත් දැවයෙන් නිමවා වර්තමානයට ගැළපෙන ලෙස වායු සමනය කරන ලද ‘වයිස්රෝයි ස්පෙෂල්‘ පෙරවරු 7.30ට කොළඹ කොටුවෙන් සිය ගමන් ආරම්භ ක‍ෙළ්ය. දුම්රියේ නියාමකවරුන් දෙදෙනා බ්‍රිතාන්‍ය යුගයේ මෙන් විශේෂිත හිස් ආවරණ දමා ගෙන සිටියහ.

‘ඇල්ල ඔඩිසි චාරිකාව‘ නමින් හැඳින්වූ මේ චාරිකාව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට 75 වසරක් සැපිරීම සනිටුහන් කරමිනි. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා වැඩිදුරටත් පිළිබිඹු කිරීම උදෙසා ද මේ සංචාරය ඉවහල් කර ගැන්මට කටයුතු යොදා තිබුණි.

එමෙන්ම මෙරටට විදේශ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමද මෙහි තවත් විශේෂ අරමුණක් විය. එම නිසා මේ විශේෂ “ඇල්ල ඔඩිසි” චාරිකාව විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

බස්නාහිර නාගරික පරිසරය පසු කරන්නටත් පෙර මුතුරාජවෙල, වේයන්ගොඩට නුදුරු අත්තනගලු ඔය හා සම්බන්ධ කෙටවල ව්‍යාපාරය පෙන්නුම් කරන ලද්දේ රජරට පළාතේ සොබා සුන්දරත්වයෙන් කොටසක් බව දුම්රියෙන් ගමන් ගත් අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් දුම්රිය බලධාරීන්ට පවසා තිබුණි.

රඹුක්කනින් පසුව උඩරට මාර්ගයේ හමුවන උමං දුම්රිය මාර්ග මෙන්ම ඈතින් පෙනෙන බතලේගල මෙන්ම උතුවන්කන්ද ඇතුළු කඳුවැටි ඉතා සුළු කාලයක් තුළ මෙරට පාරිසරික විවිධත්වය වෙනස් කර පෙන්නුම් කළ බව ජපන් තානාපතිවරයා විසින් ද අදහස් දක්වා තිබුණි. මහා මාර්ගයට වඩා බොහෝ ඉහළින් ගමන් කරන දුම්රියට කුඩා ගිනි පෙට්ටි වන් බස් රථ පහළින් පෙනීමට දැක ගැන්ම උදෙසා කඩුගන්නාවට නුදුරු ‘ලයන් නෝස්‘ හි දුම්රිය නවත්වන ලදී. එහිදී දූත පිරිසට පහළින් පෙනෙන මහා මාර්ගය හා ඈතින් පෙනෙන කඳු පන්තියේ ස්වභාව සෞන්දර්ය මනාව දැක බලා ගන්නට ඉඩ සලස්වන ලදී.

‘සිංහයාගේ නහයක් මෙන් ‘ ඇති ගල් කන්දක් යටින් දුම්රිය ගමන් කරනා නිසා එයට ‘ලයන් නෝස්‘ යන නම ඇති බව දැනගත් ඔවුහු එහි සුන්දරත්වය සේයාරුවට නැඟුවේ අවසානයේ තිබූ නැරඹුම් මැදිරියට ගොසිනි. එවැනි අත්දැකීමක් ඔවුන් මින් පෙර වෙනත් රටවලදී අත්දැක තිබුණේ නැත.

දුම්රිය පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට ළඟා වූයේ පෙරවරු 10.00ට ආසන්නයේදීය. දුම්රියෙන් බැස මඳ වේලාවක් පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ ගත කළ ඔවුහු යළිත් දුම්රියට ගොඩ වූයේ එම දුම්රිය ස්ථානය දෙපසින්ම දුම්රිය මාර්ගය විහිදී ඇති අයුරු හෙවත් පේරාදෙණිය ත්‍රිකෝණාකාර දුම්රිය ස්ථානය ගැන තොරතුරු දැන ගනිමිනි.

ඇල්ල ඔඩිසි විශේෂ දුම්රිය පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට ළඟා වන විට එහි පැමිණි සිටි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු ඉන්දීය දූත පිරිසක් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු තවත් ප්‍රභූන් රැසක් දුම්රියට ගොඩ වූහ. එතැන් සිට මේ සියලු දෙනා රට අභ්‍යන්තරයේ සශ්‍රීක හා මීදුම සහිත කඳුකර භූ දර්ශනවල සැඟවී ඇති අලංකාරත්වය අත් විඳිමින් ගමන් කළහ.

වයිස් රෝයි ස්පෙෂල් දුම්රිය ගමන වඩාත් සුන්දර වූයේ ඉන් පසුවය. එයින්ද නාවලපිටියෙන් පසුව දුම්රියේ ගමන වඩාත් සුන්දර බව හැඟී ගියේ ඈතින් පෙනෙන කඳු පන්තීන් මේ පිරිසට සුබ පතන්නට නැඟී සිටින්නාක් මෙන් දිස් වූ නිසාය. ඉඟුරු ඔය දුම්රිය ස්ථානයට ආසන්නයේ සිට දුම්රිය මාර්ගයට සමාන්තරව ගලා බසිනා හල්ග්‍රන්ඔයත් ඉන් පසුව හමුවන අලංකාර දුම්රිය බිම්ගෙවල් දෙකක් අතරින් කඩා හැලෙන ගල්බොඩ දිය ඇල්ලේ සොබා සෞන්දර්ය නැරැඹීමට ද මේ දූත පිරිසට අවස්ථාව සැලසුණේ එම ස්ථානවලදී දුම්රිය ඉතා මන්දගාමීව ධාවනය කිරීම නිසාය. එමෙන්ම ඇතැම් නැරැඹුම් ස්ථානවල දුම්රිය සුළු වේලාවක් නවත්වා දූත පිරිසට මෙරට සංචාරයන්ගේ වැදගත්කම ද පෙන්වා දෙන ලදී.

රොසැල්ල දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගය ‘ප‘ යන්න සේ විහිදී යන ආකාරය ගැනද එය තනා ඇති ආකාරය ගැන ද විදේශීය දූත පිරිස් විමසා සිටියේ එම ස්ථානයෙන් මැදිරි 10ක 12ක පමණ දුම්රියක් ගමන් කිරීමේදී එම දුම්රියේ පළමු මැදිරිය හා අවසන් මැදිරිය ආසන්නයට ළං වන බැවිනි. එම අත්දැකීම එතරම් සුන්දර බව ඔවුහු දැන ගත්හ. මැදිරි වැඩියෙන් අමුණා ඇති දුම්රියන්ට වැඩි බලයක් අවශ්‍ය හෙයින් තවත් දුම්රිය එන්ජිමක් පසුපසින් යොදා එම දුම්රිය කන්දට තල්ලු කරන අයුරුද මේ පිරිසේ විශේෂ අවධානයට යොමු විය.

මධ්‍යම පළාතේ සොබා සුන්දරත්වය මෙන්ම හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේදී ඈතින් දිස්වන සිරිපාද කන්ද ද ඔවුන්ගේ සිත් ගත් ස්ථානයක් විය. හැටන් දුම්රිය ස්ථානයෙන් පසුව හමුවන ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල අසල දුම්රිය නවත්වන ලදී. ඒ දූත පිරිසට දිය ඇල්ල මනාව දැක බලා ගැනීම පිණිසය. දුම්රියේ ගමන් ගත් සියලු තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් මෙන්ම සියලු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ද ඔවුන්ගේ ඥාතීන්ද තම ජංගම දුරකතනවලින් හා කැමරාවලින් එහි ඡායාරූප ගැනීම විශේෂිත සිදුවීමකි.

එයින් පසුව තලවකැලේ දුම්රිය ස්ථානය අසලදී දක්නට ලැබුණු ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය ද ඔවුන්ගේ පැසසුමට ලක් විය. ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වා දූත පිරිසට දුම්රියෙන් බැස ප්‍රදේශයේ අලංකාරය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී. ඒ සියලු දෙනාට තමන් හතර වටින් වට වූ කඳු පන්තියක් මැද සිටිනා බව සිතෙන්නට ඇත. ග්‍රේට්වෙස්ටර්න් වතු යායත්, කඳු වැටියත් පෙන්නුම් කරන උඩරට සොබා දහමේ සෞන්දරත්වයත් මහ දවල් හමා ආ මීදුම මුසු වූ සීතල සුළං රැලි පවා පෙන්වා දෙන ලද්දේ මෙරට සොබා සෞන්දරත්වයේ වෙනසය. දහවල් කාලයේ කොළඹ නගරයේ එළියට බසින්නට පවා නොහැකි කර්කෂ වාතාවරණයක් තිබුණද ඒ පරිසරය පැය 5කින් 6කින් පමණ සම්පූර්ණයෙන්ම වෙනස් වූ අයුරු මේ සියලු දෙනාගේ විස්මයට හේතු විය.

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයක ‘ග්‍රේට්වෙස්ටර්න්‘ වැනි නමක් තිබීම පවා ඔවුන්ට පුදුම උපදවන සුලු විය. ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් පසුව හමුවන නානුඔය දුම්රිය ස්ථානයට දහවල් 1.00ට පමණ දුම්රිය ළගා විය. එහිදී පැමිණි පිරිස පිළිගන්නා ලද්දේ නානුඔය දුම්රිය ස්ථානාධිපති ටී. ප්‍රදීපන් විසිනි. නානුඔයෙන් පළමු දිනයේ දුම්රිය ගමන නිමාවට පත් විය. එහෙත් දූත පිරිසේ ඇතැම් අයට දුම්රියෙන් තව දුරක් හෝ යාමට අවශ්‍ය විය. ඒ සංචාරය ඔවුන්ට එතරම් සුන්දරය. දූත පිරිස නුවරඑළිය දක්වා ගමන් කරන ලදී.

නුවරඑළියට පැමිණීමෙන් පසුව යටත් විජිත ඉතිහාසයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ජාතික උරුමයක් වන නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේදී විදේශිකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද පේද්‍රෝ තේ වතුයායේදී ලෝක ප්‍රකට “ සිලෝන් ටී” තේ කෝප්පයක රස බැලීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.

නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහයන් හමුවීමට ද මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි විය. එමෙන්ම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට අක්තපත්‍ර භාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 9 දෙනා විශේෂිත වශයෙන් හඳුනාගැනීම ද මෙහිදී සිදු විය. ජනාධිපති මන්දිරයේදී ඉපැරැණි දුරකතන ඇතුළු පැරැණි භාණ්ඩ රැසක් ගැනද දූත පිරිසේ අවධානය යොමු විය.

පසු දින එනම් ජූලි 2 දා පෙරවරුවේ යළිත් නානුඔය දුම්රිය ස්ථානයට පැමිණි දූත පිරිස බ්‍රිතාන්‍ය යුගයේ සිට අද දක්වාම භාවිත වන සැම‍ෆෝ දුම්රිය සංඥා පද්ධතිය ගැන අවධානය යොමු කරන ලදී. එම සංඥා පද්ධතිය තවමත් මෙරට දුම්රිය මාර්ගවල වැඩි වශයෙන් භාවිත වන බවත් එහිදී භාවිත කෙරෙන ටැබ්ලට් පද්ධතිය ද ඔවුන්ගේ අවධානයට ලක් කෙරිණි. දුරකතන නොමැතිව ආරක්ෂිත ආකාරයෙන් ශබ්ද මඟින් දුම්රිය හඳුනා ගැනීමේ ඒ ක්‍රමය ගැන ඔවුන් විශේෂයෙන්ම අවධානය යොමු කරන ලදී.

උදෑසන යළි ගමන් ආරම්භ කළ පිරිසට පළමුවෙන්ම නානුඔය දිය ඇල්ලත් පසුව ඇල්ජින් දිය ඇල්ලත් නැරඹීමට සලස්වන ලද්දේ දුම්රිය එම ස්ථානයේ ඉතා මන්දගාමීව ගමන් කරමිනි. පට්ටිපොළ දුම්රිය ස්ථානයට දුම්රිය ළඟා වී මඳ වේලාවකින් හමු වූයේ මෙරට දුම්රිය මාර්ගයේ උසම ස්ථානය වන ‘සමිට් ලෙවල්‘ (Summit Level) ය.

දුම්රිය එම ස්ථානයේ නතර කෙරිණි. දුම්රියෙන් බැස ගත් රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දුම්රිය මෙතරම් කඳු තරණයක් කරන්නේ කෙසේදැයි විමතියට පත් වූහ. ඔවුහු සියලු දෙනා දුම්රිය මාර්ගයේ සිට සේයාරූ ගත්හ. ඔවුන්ට දුම්රිය කාර්ය මණ්ඩලය සමඟ සිට සේයාරූ ගන්නට අවශ්‍ය වූහ. එයද ඉටු කරන්නට මේ අවස්ථාවට සම්බන්ධ වී සිටි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ විසින් කටයුතු කරන ලදී.

මේ දක්වා කඳු තරණයේ නිරත වූ දුම්රිය ‘සමිට් ලෙවල්‘ (Summit Level) වලින් පසුව පල්ලම් බසින්නට විය. එය ඔවුන්ට තවත් අත්දැකීමක් විය. දැඩි වෙහෙසකින් හඬ නංවමින් ආ දුම්රිය නිහඬව තිරිංග යොදමින් පල්ලම් බැසීම ගැන ඔවුන් පුදුම විය. වරෙක ඉදිරියෙන් පැමිණි උඩරට මැණිකේ දුම්රිය ඔවුන්ට පෙනුණේ අඩි සිය ගණනාවක් පහළිනි. ඔහිය දුම්රිය ස්ථානයේ සිරි නරඹමින් ගිය ඔවුන්ට ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක විශේෂත්වයක් ගත්තේය.

ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම්ගෙවල් 13ක් තිබීම ඔවුන් අත්දුටු විස්මිත අත්දැකීමක් විය. ලෝකයේ දුම්රිය ස්ථාන දෙකක් අතර බිම්ගෙවල් 13ක් ඇත්තේ මෙරට පමණක් බව ද ඔවුහු පෙන්වා දුන්හ. මේ දුම්රිය ස්ථාන දෙක අතර ඇති බිම්ගෙවල් 3ක ඇති විශේෂත්වය ගැනද ඔවුහු අවධානය යොමු කළහ. මැදිරි 8ක පමණ දුම්රියක් ගමන් කිරීමේදී එක් බිම්ගෙයක් පසු කර එය සම්පූර්ණ දුම්රියේ ගමන අවසන් වීමටත් පෙර අනෙක් බිම්ගෙය තුළින් එන්ජිම ගමන් කිරීම එම බිම්ගෙවල් තුනේ දක්කට ඇති විශේෂත්වයයි.

බණ්ඩාරවෙලට නුදුරින් ඇති තංගමලේ අභයභූමිය හා එක දිගට අඩි 30ක් පමණ උසින් වැවී ඇති ටර්පන්ටයින් ගස් දෙස දුම්රිය අසුන්වලින් නැඟී සිට මේ පිරිස වරින් වර සේයා රෑ ගත්තේ එවන් දර්ශන මින් පෙර දැක නොමැති බව පවසමිනි.

කිතල්ඇල්ල දිය ඇල්ලත් පසු කර පැමිණි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයේ නවත්වා පසුව දෙමෝදර දුම්රිය ස්ථානයට ආසන්නයේ ඇති 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලම අසල දුම්රිය නවත්වන ලදී. එහිදී සැලකිය යුතු වෙලාවක් දුම්රිය නවත්වා තබන ලදී. ඒ එකදු යකඩ කැබැල්ලක් නොමැතිව ඉදි කළ බව කියන ආරුක්කු නමයේ පාලමේ විශ්මිත බව නැරැඹීම පිණිසය. එසේම දෙමෝදරදී දුම්රියක් ආරුක්කු 9 පාලම මතින් ගමන් ගන්නා ආකරය ද ඔවුන්ට පාලම අසල සිට දැක ගත හැකි විය.

එයින් පසුව දෙමෝදර දක්වා ගිය පිරිසට දෙමෝදර දුම්රිය රේල් ගැටය ද නැරඹීමේ අවස්ථාව උදා විය. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් දෙවන දිනයේ දුම්රිය ගමන නිමාවට පත් වූ අතර දූත පිරිස යළිත් ඇල්ලට ගමන් කළේ ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබූ බස් රථවලිනි.

3 වන දිනයේ දූත පිරිසෙන් කොටසක් කොළඹ බලා පෞද්ගලික වාහනවලින් ගමන් කළ අතර සෙසු පිරිස ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රියෙන්ම යළිත් කොළඹ බලා ගමන් කළහ. හැටන් දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය මඳ වේලාවක් නතර කර තබන ලද්දේ ඔවුන්ට දුම්රිය ස්ථානය හා අවට සිරි නැරැඹීම වෙනුවෙනි.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා දන්වා ඇත්තේ මෙරට දුම්රිය ස්ථානයන්හි මල් හා අලංකාර වගාවන්ගෙන් යුක්ත වීම අගය කරනා බවකි. එමෙන්ම උඩරට දුම්රිය ස්ථානවල පිරිසිදුභාවයද අගය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක සේවාව ප්‍රවර්ධනය කිරීම පිණිස මේ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හරහා සිදු කළ හැකි සේවාව ද අපමණය. ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මෙන්ම විදේශ අමාත්‍යාංශය එක්ව විශේෂ ප්‍රවර්ධන සේවාවක් ඇති කළ යුතුය. දුම්රිය සේවාව ද දැනට වඩා සංචාරකයන් ඇද ගැනීමට ප්‍රවර්ධන සේවා ඇති කළ යුතුය.


Comments