තරුණියකට දිවි අහිමි කළ ලැගුම්හ‍ෙල් ඛේදවාචකය | සිළුමිණ

තරුණියකට දිවි අහිමි කළ ලැගුම්හ‍ෙල් ඛේදවාචකය

තම දරුවා ට සාගරය තරම්, අහස තරම් ආදරය පුදා සක්විති රජවරුන් පෙරුම් පිරූ දහසකුත් එකක් බලාපොරොත්තු කරපින්නා ගත් මවකගේ පියෙකුගේ හීන සේදී ගිය ශෝචනීය සිදුවීමක් රක්වාන පොලිස් බලප්‍රදේශයෙන් පසුගිය දා අසන්නට ලැබුණි.

 

" අයියෝ සාමී...මම වත්තෙ මැරිලා මැරිලා බැලමෙහෙවරකම් කරල ලොකු මහත් කරපු මගේ පුංචි දුවට මොකක් ද වුණේ කියල මට හිතා ගන්න බෑ. මගේ දුව මැරුව ද මැරුණද කියල දැන ගන්නකම් මට සැනසීමක් නෑ. මගේ අනිත් ළමයි කොහොමද පාරේ බැහැල යන්⁣නෙ. බලන්නකො වෙච්චි දේ. මගේ පපුව පැළෙන්න එනවා මාත්තියෝ...ඒ පසුගිය දා රක්වාන පුංචි බාරවත්ත ගිගුම් දුන්

මවකගේ විලාප හඬයි.

රක්වාන පොලිස් වසමට අයත් මාදම්පේ පනාවර පාර ලැගුම්හලක කාමරයක් තුළ තරුණියක් ගෙල වැලලා ගෙන මියගොස් ඇති බවට පස්වැනිදා හිරු උදාවෙද්දී ම ආ පුවතත් සමඟ මාදම්පේ ප්‍රදේශය රත් වී ගියේය. මෙසේ මියගොස් සිටියේ රක්වාන පුංචි බාරවත්ත පදිංචිකාරිනියක වූ ක්‍රිෂ්නන් ප්‍රදීපා නමැති විසි දෙහැවිරිදි අවිවාහක තරුණියකි. මෙම සිදුවීමත් සමඟ කතා බහට ලක් වූ ගැටලු රැසකි.

ඇය සමඟ ලැගුම්හලට පැමිණ ඇත්තේ රක්වාන ප්‍රදේශයේම විසි හතර හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

ප්‍රදීපා කැමැත්තෙන් ලැගුම්හලට ආවද? ඇය සිය දිවි හානි කර ගත්තාද? එසේත් නැත්නම් මෙය මිනී මැරුමක්ද? ඇය තනියම කාමරයේ සිටියදී ඇය සමඟ ආ තරුණයා කෑම ගේන්න කඩයට ගියාද? නැත්නම් කාමරය තුළ වෙනත් යමක් සිදු වූවාද? ගෙල වැලලා ගෙන සිටියා නම් අනු දැනුමකින් තොරව බිමට ගත්තේ ඇයි? අත්අඩංගුවට ගත් තරුණයාට පොලිසිය ඇප ලබා දෙන්නේ ඇයි? හෝටලයේ කළමනාකාරියද ඇප මත මුදා හැර තිබේ. මේවා රක්වාන ප්‍රදේශයේ පැතිර යන නිසි පිළිතුරක් නොලැබුණු ප්‍රශ්නය.

ඇත්තටම ප්‍රදීපාට මොකද වුණේ .....

මෙහි සැබෑ තත්ත්වය සොයා අපි ප්‍රදීපාගේ රක්වානේ නිවස සොයා පැමිණියෙමු.

සිය දියණිය ගේ වෙන්වීම දරා ගත නොහැකි ව වේදනාවෙන් අඩමින් සිටි මියගිය තරුණියගේ පියා රාමයියා ක්‍රිෂ්නන් (65) වේදනාවෙන් යුතුව පැවසුවේ මෙවැන්නකි.

‘මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. දූලා තුන් දෙනයි, එක පුතයි. මේ මියගිහින් තියෙන්නෙ මගේ බාලම දුව. ඇය පාසල් ගියේ රක්වාන ශාන්ත ජෝන් විද්‍යාලයට. කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඇය කොළඹ පුද්ගලික රෝහලක රසායනාගාර පුහුණුවකට ගියා. ගමේ කා එක්කත් එයා හොඳට හිටියා. මේ වෙච්චි ⁣දේ ගැන හිතා ගන්නවත් බෑ‘

මියගිය තරුණියගේ මව බාලයියා ඥානේශ්වරීය.

‘මම අද අම්මා කෙනෙක් විදිහට මේ ලෝකෙ විඳින ඉහළම වේදනාව විඳින අම්මා කෙනෙක්. අපේ ගෙදර කට්ටිය ඉද්දි තමයි දුව රක්වානට ගියේ.

අක්කගේ දුවගේ දින තිහේ උත්සවයට තෑගි දෙන්න ඇඳුම් ගන්නයි උදේ නවයට විතර රක්වාන ගියෙ. සවස 2.30 විතර කෝල් එකක් ගත්තම කිව්වා තව ටිකකින් එනව කියලා. ආවෙ නෑ.

ඉන්නෙ කොහෙද කිව්වෙ නෑ. අන්තිමට රෑ අටට විතර කහවත්ත රෝහලෙන් කතා කළා. දුව අසනීප වෙලා කහවත්ත රෝහලේ අයිසීයූ ඉන්නව කිව්වා. ඒ ගමන් දුවයි පුතයි ආවා. එයාලට මගේ දුවගේ මිනිය පෙන්නලා තියෙනවා. මොනව වෙලාද මගේ දුව බෙල්ල වැල දා ගත්තෙ. මට ලොකු අවිශ්වාසයක් ⁣තියෙනව මේ ගැන‘

ගම්වැ⁣සියෙකු වන යූ. ගාමිණි ගුණතුංග මේ පිළිබඳව පැවසුවේ මෙවන් අදහසකි.

‘අපේ ගමේ දරුවකුටයි මේ අපරාධය වෙලා තියෙන්නෙ. මේ මරණය පිළිබඳව සැකයි. ඒ වගේම ඒ තරුණයා තාම නිදැල්ලේ ඇවිදිනවා. මේ දරුවාට අසාධාරණයක් සිද්ධ වෙලා කියන එකයි අපට දැනෙන්නේ. ඒ නිසා මේ සැකකරු අත්අඩංගුවට අරගෙන පැහැදිලි පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.

තම දරුවා කුමන වරදක් කර තිබුණ ද එය වරදක් සේ දැකීමට කිසිම මවුපියකු කැමති වන්නේ නැත. ඒ නිසා ඔවුන් මෙම මරණය පිළිබඳව ද සැක මතු කරයි.

මේ සම්බන්ධයෙන් රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරි පැවසුවේ මෙවන් අදහසකි.

‘මෙම තරුණිය පසුගිය 04 දා සිය ප්‍රේමවන්තයා සමඟ ත්‍රිරෝද රථයකින් මාදම්පේ හන්දිය ආසන්නයේ පිහිටි ලැගුම්හලකට ⁣ගොස් තිබෙනවා. එහි රැඳී සිටින අතර රාත්‍රී ආහාර රැගෙන ඒමට සිය ප්‍රේමවන්තයා කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා. නැවත පැමිණ කතා කර බලද්දි කිසිම ශබ්දයක් නැති නිසා පිටුපස ජනේලයක් කඩා තරුණයා කාමරයට ඇතුළු වන විට ඇය සිය සල්වාර් පටියෙන් වැසිකිළියේ උළුවස්සේ ගෙල වැලලා ගෙන සිටි බවට අදාළ සැකකරු පොලිසියට පැවසුවා.

ගෙල වැලලා ගෙන සිටි තරුණිය බිමට ගෙන ඇඳ මත තබා මුහුණට වතුර ගසා ප්‍රතිචාරයක් නැති හෙයින් ⁣හෝටල් පාලිකාවට දන්වා ඇත්තේ ක්ලාන්ත වී ඇති බවයි. මේ අතර තරුණිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදු කෙරේ. මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රක්වාන වැඩබලන මහේස්ත්‍රාත් සරත් ඩී. විජයගුණවර්ධනගේ නියෝගය පරිදි කහවත්ත අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. ඩී. එම්. එස්. කේ. දිසානායක විසින් පවත්වා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

ලැගුම්හලේ හිමිකරු තුසිත නිර්මාල් පැවසුවේ මෙවැන්නකි.

අපි ⁣ලැඟුම්හල් හදල තියෙන්නෙ විශාල මුදලක් වියදම් කරලා.⁣ එහි කපල්වලට එන්න විතරක් නෙවෙයි. සංචාරකයන්, ඩිලිවරි යන පිරිස විවේකය ගත කිරීමට අවශ්‍ය අයට වගේ බොහෝ දෙනෙකුට සේවයක් දෙන්න. අපි අවුරුදු දහ අටට අඩු කිසිකෙනකුට කාමර පහසුකම් දෙන්නෙ නෑ. මේ දෙන්නම ඊට වඩා වයස නිසා කාමරයක් දීමේ ගැටලුවක් නෑ. ඒ අයගේ පුද්ගලික ප්‍රශ්න අහන්න අපට අයිතියකුත් නෑ. එ්ත් මෙහෙම දෙයක් වුණා ම අපේ ව්‍යාපාරයට විශාල හානියක්. ණය වෙලා මේවා හදල තියෙන්නෙ. මේවට එන හැමෝම දුර දිග හිතලා වැඩ කරනවා නම් අපිටත් ප්‍රශ්නයක් නෑ. නැත්නම් හෝටල් කර්මාන්තයටත් සෑහෙන පහරක්.

සැකකරු විවාහ වීමට සිටි පෙම්වතිය ⁣ නම් මෙසේ ලැගුම්හලකට රැගෙන ගියේ ඇයි ද යන්න සමාජයට කියා දෙන්නේ හොඳ පාඩමකි. 

Comments