ගී පද අමුණා දන සිත් සනහා පන්හිඳට පෙම්බැඳි යතිවරු | සිළුමිණ

ගී පද අමුණා දන සිත් සනහා පන්හිඳට පෙම්බැඳි යතිවරු

මෙරට ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය පෝෂණය කිරිමෙහිලා භික්ෂූන් වහන්සේලා ගේ දායකත්වය කෙසේද යන්න පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනය කරන විට මනාව අවබෝධ වේ. මෙකී සාහිත්‍ය සෙවනේ වැඩී පෝෂණය වූ සාහිත්‍යකරුවන් අතර ගී නිර්මාණ සඳහා පිවිසි යතිවරයන්ට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මෙහිදී ළමා පරපුරට මාහැඟි නිර්මාණ රැසක් දායාද කළ එස්. මහින්ද හිමියන් අපගේ මතකයට නැඟේ. උපතින් ටිබෙට් ජාතිකයකු වුව හෙළ බසටත්, කවියටත් එක සේ ඇලුම් කළ මහින්ද හිමියන් ගද්‍ය, පද්‍ය කෘති හතළිහකට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇත.“සමන් පිච්ච මල් ඉහිරුණු” උන්වහන්සේ අතින් ලියැවුණු අපූර්ව කාව්‍ය සංකල්පනාවකි.

වර්තමානයේ මේ මඟ යන යතිවරුන් අතර අපට පළමුවෙන්ම හමුවන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ය. ‘සින්දු ලියන හාමුදුරුවෝ’ ලෙස විරුදාවලි ලත් උන්වහන්සේ වයස අවුරුදු 12 දී රඹුකන සිද්ධාර්ථ නමින් වැලිව ගංගාතිලක විහාරයේදී උතුම් වූ පැවිදි දිවියට එළඹියේය. අනතුරුව වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොළොඹ පැපිලියානේ සුනේත්‍රාදේවී මහා පිරිවෙනට ඇතුළත් විය. හොඳින් ඉගෙනීම් කටයුතු කළ උන්වහන්සේ සරසවි වරම් ලබා 1974 දී කැලණිය විශ්වවිද්‍යාල‍යට ඇතුළත් විය.

ගීත සාහිත්‍යයට යොමු වූ ආකාරය ගැන උන්වහන්සේ පවසන්නේ මෙවන් අදහසකි. “මගේ හත්මුතු පරම්පරාවෙවත් කලාකාරයෙක් ඉඳලා නෑ. අපේ අත්තලා මුත්තලාට ජනකවි කීමේ හැකියාව ලැබුණෙ කටපාඩමෙන්. පුංචි සන්දියේදී අපි තුන් සරණේ, යශෝදරාවත විලාප ගහලා හයියෙන් කියවනවා. ඒ වගේම බුදු සිරිත බුද්ධ පරිනිර්වාණය ඒ විදිහට කියෙව්වා. සාහිත්‍ය කෙරේ මා තුළ එදා ඉඳන්ම ඇල්මක් තිබුණා. ඒ ඇල්ම තවදුරටත් දියුණු වෙලා ගීත ලියන මට්ටමට එන්න මට මහගම සේකරයන් බලපෑවා. මේ වගේ සුවිශේෂී කලා මාධ්‍යයක් බුදු බණ මඟක් කර ගැනීම තමයි මගේ අරමුණ වුණේ.”

රඹුකන හිමියන් විසින් ලියූ පළමු ගී පද සංකල්පනාව වූ “කල්ප කාල ගතවනතුරු” ගායනා කළේ ආචාර්ය දයාරත්න රණතුංගය. උන්වහන්සේ රචනා කළ ගීත අතර ටී. එම්. ජයරත්න ගයන “සියක් ආයු ලැබ”, කරුණාරත්න දිවුල්ගනේ ගයන “වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්”,“ළා දලු බෝපත්”, විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගයන “බුදු බණ කිව්වත් නිරන්තරේ ”, “ නුඹට හිතැති නුඹ හිත නැති”, “මේ ඉර හඳ යට තනිවී”, “බණ කියන රටක්” “හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්”, විශාරද මාලිනී බුලත්සිංහල ගයන “හිමි සණරාමර ලෝක සිවංකර”, “සෙනෙහස පුදා අම්මාවරුන් වගේ”, සංස්කෘත බසිනුත් ලියා ගුණදාස කපුගේ ගයන “සද්ධර්ම මකරන්ද පද රශ්මි ජාලා”, “මිරිවැඩි සඟලක්”, ආදී සුවිශේෂී ගීත රාශියක් රඹුකන හිමියන් අතින් ලියැවි තිබේ. මේ ගීත අතර ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයෙන් හැඩ වූ ටී.එම්. ජයරත්නයන් ගයන “අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ” ගීතය රඹුකන හිමියන් අතින් ලියැවුණු විශිෂ්ටතම වූ ගී නිර්මාණයකි. 1988 දී ‘සඳකඩ පහණ’ චිත්‍රපටය සඳහා උන්වහන්සේ විසින් රචනා කළ “පෙර සංසාරේ” ගීතය සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

මීළඟට අපට හමුවන්නේ දේශාභිමානී ගීතයෙන් සුවහසක් ශ්‍රාවක සිත් ඇද බැඳ තබා ගන්නට සිය පන්හිඳ මෙහෙය වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ය. උන්වහන්සේගේ පළමු නිර්මාණ එකතුව ‘බල සෙනඟට සමර ගී’ නමින් එළි දැක්වුණු අතර, ‘කසාවතින් රන් පන්හිඳ’ නම් වූ නිර්මාණ ඇතුළත් දෙවැනි සංයුක්ත තැටිය 2008 වසරේ එළිදැක්විය. තම නිර්මාණ කාර්ය පිළිබඳව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කර සිටියේ “මම කුඩා කාලේ ඉඳලම, මේ රටට, ජාතියට ආදරෙයි. ඒ උදෙසා මම ගීත රචනා කළා. වැඩිපුරම ලීවේ ජාතිකාභිමානී ගීත මෙන්ම රණ ගීත, බුදු ගුණ ගීත, මවු ගුණ ගීත. මේ මිනිස්සුන්ව හැඩ ගස්වන්න ගීතයට ලොකු බලපෑමක් කළ හැකියි. අදත් අපි ඉන්නේ ජාතික උවදුරක. නමුත් ඒ පිළිබඳව නිර්මාණකරුවන් අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නැති බවයි.”

ගුණවංශ හිමියන් විසින් රචිත ගීත එකතුව තුළ නීලා වික්‍රමසිංහ ගයන “ගිනි අවිය අත දරා”, වික්ටර් රත්නායක ගයන “අපට එපා බිම් අඟලක්වත්”, ටී.එම්. ජයරත්න ඇතුළු පිරිස ගයන “මිනිසුනේ කන් දී අසව්”, මාලනී බුලත්සිංහල ගයන,“උපන්න මවුබිම රකින්න”, “දඹකොළ පටුනේ”, “මියැදුණොත් ඔබ රණබිමේ”, අමරසිරි ගයන “සරණයි සරණයි , විජේසුන්දර වේරගොඩ ගයන “රන් අසිපත”, නිහාල් වෙල්ගම ගයන “මේ සිංහ භූමියේ”, විජේසුන්දර වේරගොඩ ගයන “මේ බුද්ධ පූජිත”, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කර කේමදාස පදනමේ ශිල්පීන් ගයන “දුරුවේවා දුක්”, නෙලූ අධිකාරී ගයන “ලොව නිදන යාමයෙ”, අසංක ප්‍රියමන්ත පීරිස් ගයන “මිනිසකු වී” ආදී ගීතත් “පිනි මල් හිනැහෙන”, “රිදී හැන්ද මුව”, “පෙරදා වැඩසිටි”, “පේදුරුතුඩුවෙන්”, “නිල් තුරුලතා වදුලින්” ආදී ගීත උන්වහන්සේ ලියූ සියයකට අධික ගීත අතර ජනාදරයට පත්ව තිබේ.

අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද සිංහල ගීත සාහිත්‍යයට අපූරු ගීත බොහෝමයක් දායාද කොට ඇති යතිරුවණකි.

1968 වසරේ වයස අවුරුදු 14ක දරුවකුව පල්ලේගම හේමරතන නමින් පැවිදි බිමට ඇතුළු වූ උන්වහන්සේ මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර මහා විහාර පිරිවෙනෙනි. පසුව 1971 දී මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ 1975 දී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබීය.

1969 වසරේ සිට කවි මඟට පිවිසි හේමරතන හිමියන් ගීත රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ 1979 වසරේ දීය. 1988 දී ‘පහන නිවී දොළොස්මහේ’ නමින් තම පළමු ගීත සංග්‍රහය එළිදැක් වූ උන්වහන්සේ 2004 අගෝස්තු මස 03 වැනි දින “සඳ එළිය” නම් වූ ප්‍රථම කැසට් පටය සමඟ සංයුක්ත තැටිය සහ ‘අතීත සිහිනයක්’ ගී පද සංග්‍රහය නිකුත් කළේය. පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් විසින් ගයන “බෝධියෙන් වට බෝ පතක් සේ”, විශාරද ගුණදාස කපුගේ ගායනා කරන “තියා අතීතය මා ළඟ” ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කර එච්. ආර්. ජෝතිපාල විසින් ගයන “පෙම් පිළිසඳරේ”, කරුණාරත්න දිවුල්ගනේ ගයන “ අතීතය සිහිනයක් පමණයි”,... වැනි ගීත ශ්‍රාවක සිත් හි සදාතනිකව රැඳී තිබේ. 2009 වසරේ දී ‘සීතල ගඟුල වගේ’ ගීත සංග්‍රහයක් නිකුත් කළ හේමරතන හිමියන් එම වර්ෂයේ හොඳම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමිකම් කියුවේය.

මහින්දාගමනය චිත්‍රපටය ලියූ ‘සංසාරේ මහා බරපොදි’ ගීතයට 2011 වසරේ හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දර්ශනශූරී පාතේගම ඤාණිස්සර හිමියන්ද අපට සිටින සාහිතකාමී පඬිරුවනකි. 14 වැනි වියේදී එනම් 1980 වසරේදී ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේනේගම ශ්‍රී ඥානරතන නායක හමුදුරුවන් යටතේ ජබුරේගොඩ ශ්‍රී නාගාරාම පුරාණ විහාරයේදී පාතේගම ඤාණිස්සර නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. “ඒ කාලේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ගීත ලියන බව ප්‍රචාරය වී තිබුණා. ඒනිසා භික්ෂුවක විසින් සින්දු ලිව්වට කමක් නැහැ කියන නිගමනයට මං ආවා.” උන්වහන්සේ පවසයි.

1993 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ඤාණිස්සර හිමියන් 1997 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබා ගත්තේය. ‘බුදුසමය සහ අපරාධ විද්‍යාව’ ඒ සඳහා කළ උපාධි නිබන්ධනය 2016 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය. ගීත සාහිත්‍යයට යොමු වීම පිළිබඳ ඤාණිස්සර හිමියන් පවසන්නේ මෙවන් අදහසකි. “ නිර්මාණ රසඥතාව මට ලැබුණේ 1986 උසස් පෙළ අධ්‍යයන කටයුතු කරන කාලයේදී. ඒකාලේ අපට සිංහල භාෂාව ඉගැන්වූයේ කෝ. ආනන්ද හිමියන්. ඉන් ලැබුුණු පන්නරය නිසා තමයි මම සාහිත්‍යකරණයට යොමු වුණේ. මගේ මුල්ම ගීතය 1989 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ ප්‍රචාරය වූ ළමා ගීයක් “අත්තික්කා මල් පිපෙන උදෑසන - තුත්තිරි කිරි බත ඉදෙන තුරා”. මවු ගුණ ගීයක් වූ මෙම ගීතය සංගීතවත් කළේ විශාරද සුජාතා අත්තනායක. කාන්ති ගුණලතා එය ගායනා කළා. ඊට පස්සේ 1990දී පමණ මා ලියූ ගීතයක් කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කළා. ඒ “රන් කරල් පැහී ඇල් පවණෙ සැලේ”මෙම ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධනයි. ඤාණිස්සර හිමියන් ලියූ අනෙක් ගීත අතර අසංක ප්‍රියමන්ත පීරිස් ගයන,“වතුසුදු මල් ගහ ළඟට වෙලා” අසංක සහ චම්පා කල්හාරි ගයන “ඔබ ළඟ නැවතී රැඳුණු කාලයට”ආදී රසවත් මෙන්ම අර්ථ පූර්ණ ගීත 150ට වැඩි සංඛ්‍යාවක් උන්වහන්සේ අතින් මෙරට ගීත සාහිත්‍යට දායාද කර තිබේ. උන්වහසේ අතින් රචනා වී ඇති කෘති සංඛ්‍යාව ද පනහකට අධිකය.

වේයන්ගොඩ කටුවස්ගොඩ අරියනන්දනාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපතිව වැඩවසන පූජ්‍ය මහගම සීලානන්ද හිමියන් ද අප අතර සිටින ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කළ යතිරුවනකි. ශ්‍රී අරියනන්දනාරාම පුරාණ විහාරයේදී 1977 වසරේ පැවිදි දිවියට ඇතුළත් වන සීලානන්ද හිමියන් 1985 වසරේදී මහණ උපසම්පදාව ලැබීය. 1984 වසරේදී උන්වහන්සේ ලියූ පළමු ගීතය “ ගොම්මන් අඳුරේ” බන්දුල විජේවීර විසින් සංගීතවත් කර ගායනා කළ අතර එය ජාතික ගුවන් විදුලියේ ‘මියැසිය’ වැඩසටහන මඟින් ප්‍රචාරය විය. 1985 වසරේදී විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් සීලාන්ද හිමියන් දෙවන පෙළ සාමාර්ථ්‍යයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධිය නිම කළ අතර අනතුරුව ශාස්ත්‍රපති උපාධිය ද නිම කළේය. මේ කාලයේදී උන්වහන්සේ රචනා කළ ටී.එම්. ජයරත්න විසින් ගයන “ බාල ළමා සිත වැලි කෙළියේ” ගීතය ජාතික ගුවන් විදුලියේ ප්‍රචාරය විය. 1989 දී “සින්දු බින්දු මල්” නමින් ළමා ගීත සංග්‍රහයක් පළ කළ සීලානන්ද හිමියන් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ‘භක්ති පූජා’, ‘ධම්මපද ගී’ සහ සරල ගී වැසටහන් සඳහා සිය නිර්මාණශීලී දායකත්වය ලබා දුන්නේය. 2007 වසරේදී ළමා ගීත 16 ඇතුළත් ගීත ඇල්බමයක් “පියුමක ලස්සන” නමින් නිකුත් වූ අතර එය සංගීතවත් කොට තිබුණේ නවරත්න ගමගේය.

මීළඟට සිළුමිණට සම්මුඛ වූයේ පූජ්‍ය කැටවල බුද්ධසිරි හිමියන්ය. උන්වහන්සේ මේ වන විට බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් කටයුතු කරයි. කැටවල බුද්ධසිරි හිමියන් පැවිදි දිවියට ඇතුළත් වන්නේ 1984 වසරේ උඩුවර පුරාණ විහාරස්ථානයේදීය. පිරිවෙන් අධ්‍යාපන සඳහා මහනුවර නුගවෙල ධර්මාලෝක පිරිවෙනට ඇතුළත් වන අතර වැඩි දුර අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් විය. 1993 වසරේදී මල්වතු මහා විහාරයේදී පැවිදි උපසම්පදාව ලබා ගන්නා බුද්ධසිරි හිමියන් 1994 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල විශේෂවේදී උපාධිය හිමිකර ගන්නේය. විශ්වවිද්‍යාල ජීවිතය බුද්ධසිරි හිමියන්ගේ නිර්මාණ දිවියේ ප්‍රදීපාගාරය බඳු විය. උන්වහන්සේ විසින් රචනා කළ පළමු කාව්‍ය සංග්‍රහය ‘වැලිමළුවේ හිඳ’ 1996 පළ වන්නේය. ඉන් පසුව ‘සත්‍යවාදිනී’, ‘කණ්ඩුල කුලප්පු’ (කෙටි කතා), ‘කොඳ මලක සුවඳ’, ‘සඳ එළිය ගලා’ (කාව්‍ය), ‘සසර ඉම’මේ වන විට කාව්‍ය ගීත කෙටිකතා පොත් 13ක් එළිදක්වා තිබේ. සිය ගීත නිර්මාණ පිළිබඳ සිළුමිණ සමඟ අදහස් දක්වමන් බුද්ධසිරි හිමියන් පවසා සිටියේ “ මගේ ජනප්‍රියම ගීතය අශෝක කෝවිලගේ සංගීතවත් කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන “කසාවත ගත දැවටී” කියන ගීතය. එය ‘මවයි පියයි කසාවතයි’ කියන ගීත ඇල්බමය සඳහා ලියූවක් බව” උන්වහන්සේ පවසයි.

රජරට ගීත සාහිත්‍යයේ දෙවන පරපුර නියොජනය කරන පූජ්‍ය වත්තේවැව ධම්මානන්ද හිමියන් 1979 වසරේ පදවි ශ්‍රී පුර රජමහා විහාරයේදී උතුම් වූ පැවිදි දිවියට ඇතුළත් වන්නේය. අනතුරුව 1981 වසරේ වවුනියාව මඬුකන්ද දළදා විහාරයේ ශ්‍රී ධම්මරතන පිරිවෙනට ඇතුළත් වන ධම්මානන්ද හිමියන් 1985 දී මූලික පිරිවෙන් විභාගය සමත් වූ එහි පළමු ශිෂ්‍ය හිමිනම බවට පත් විය. ධම්මානන්ද හිමියන් විසින් ලියූ පළමු ගීත දෙක 1989 වසරේදී රජරට ගුවන් විදුලියේ ළමා වැඩසටහනකදී ප්‍රචාරය විය. ඒ “ කලාමැදිරියෝ කලාමැදිරියෝ” සහ “සමන් මලක් වී ඔබ පාමුල” යන ගීත දෙකයි. 1994 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ධම්මානන්ද හිමියන් ‘නළමුදු සුවඳ’ සරසවි කලා උලෙළ සඳහා ලියූ “සලෙස පහසින් කිලිටි වූ ඈ” ගීතය අවසාන වටයට තේරිණි. එය ගීය ගායනා කළේ ඉමාන් පෙරේරාය. අනතුරුව 1997 වසරේ ළමාගීත සංග්‍රහයක් ‘එක යායක මල්’ නමින් පළ කෙරුණු අතර ‘කෙකටිය මල් මාලය’, ‘ඇවිත්කියම් ඇවිත්කියම්’, ‘කුරුලු පාළුව’ හා ‘ලී පතක් සොයා’ ගීත සංග්‍රහ උන්වහන්සේ අතින් රචනා විය. 1997දී ‘සිරස තුන්පත් රෑන’ නමින් පැවති ගීත රචනා තරගයට ඉදිරිපත් කළ “බැමිණිතියා මහාසාය” ගීතය සඳහා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි වූයේ ද ධම්මානන්ද හිමියන්ටය. එම ගීතය වික්ටර් රත්නායකගේ සංගීතයට ආචාර්ය සනත් නන්දසිරි විසින් ගායනා කළ අතර පසුව කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයනා කළේය.

මීට අමතරව ගීත රචනා කරන යතිවරුන් අතර කෝන්වැවේ ආරියරතන හිමියන්ද ළමා පරපුර වෙනුවෙන් විශේෂිත වූ ගීත රාශියක් රචනා කළ යතිරුවනකි. ගීත පද රචනා ඇතුළත් කෘති දෙකක් පළ කර ඇති උන්වහන්සේ ගී පද රචනා ඇතුළත් සංයුක්ත තැටියක් ද නිකුත් කර තිබේ. ඒ වගේම මීගහවෙල සුමනශාන්ත හිමියන් ද බෞද්ධ ගීත රැසක රචනා කර ඇත. විශේෂයෙන් උන්වහන්සේ පැවිදි වීමට පෙර ගිහි කාලයේ සරත් මුණසිංහ නමින් ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබේ. සිංහල ගීත රචනයට යොමු වූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතුර පූජ්‍ය කිරඹ සුමංගල හිමි, ගොඩමුන්නේ පඤසීහ හිමි, රහතන්ගම නාගිත හිමි, රූපහ සුමනජෝති හිමි සහ කවි කිර්ති හිමි යන හිමිවරුන්ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

Comments