
දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළ බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි. විවිධ පාර්ශ්ව විසින් මෙම දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා පිළිබඳව සැක, බිය ඇති වන විවිධ මත හා පුවත් සමාජගත කරමින් තිබූ පසුබිමක කොටස් වෙළෙදපොළ ගනුදෙනු හි මෙවැනි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ මෙරට ආර්ථිකය පිළිබඳව වූ සුබදායී බලාපොරොත්තු යළිත් වතාවක් දැල්වෙමින් තිබේ.
ඒ අනුව දින 05ක දීර්ඝ බැංකු නිවාඩුවකින් පසු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද යළි ඇරඹුණු ජූලි 04 වැනි දින ගනුදෙනු ආරම්භ වී මුල් හෝරාව තුළ දී ඒකක 431.64ක දැවැන්ත ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයට අනුව වාර්තා වී තිබුණි. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 4.57%ක ඉහළ යාමකි.
මේ අතර S&P SL20 දර්ශකය 6.10%ක සුවිශේෂී ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ මුල් ගනුදෙනු පැය තුළ දී ඒකක 165.54කින් ඉහළ ගිය බව ද කොටස් වෙළෙදපොළ වාර්තා අතර සටහන් විය. මෙහිදී කැපී පෙනුණු තවත් වැදගත් සිදුවීමක් වූයේ මුල් ගනුදෙනු පැය තුළ දී රු. බිලියන 1.74ක ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී තිබීමයි.
මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩිම දායකත්වය බැංකු සමාගම්වලින් ලැබී තිබුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB සහ NDB යන බැංකු හි කොටස් මිල ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක් විය. දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟම කොටස් වෙළෙඳපොළ හි සිදු වුණු මෙම වර්ධනීය වෙනස්කම් පිළිබඳව කොළඹ කොටස් වෙළෙදපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායකගෙන් අප අදහස් විමසූ අතර එම අදහස් දැක්වීමට එක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පැවති අවිනිශ්චිතභාව දුරු වීම මෙම සුබදායී ප්‍රවණතාවට බලපෑ ප්‍රධානතම හේතුව වූ බවයි.
"පසුගිය කාලය තුළ පොලී අනුපාත තිබුණේ ඉහළ අගයකයි. ඒත් දැන් එම පොලී අනුපාත සැලකිය යුතු ලෙස පහළ දමා තිබෙනවා. එම පසුබිම තුළ බොහෝ ආයෝජකයන් තම ස්ථාවර තැන්පතු ආයෝජන ලෙස කොටස් වෙළෙඳපොළ වෙත හරවන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එය කොටස් වෙළෙදපොළ ගනුදෙනු හි සාර්ථකත්වයට බෙහෙවින්ම හේතු වී තිබෙනවා. ඒ වගේම උද්ධමනය අඩු වීම යන කාරණාවත් මේ වර්ධනයට හේතුවක් ලෙස පෙන්වා දීමට පුළුවන්."
වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙදපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සඳහන් කළේ පොලී අනුපාත අඩු තත්ත්වයක දී කොටස් වෙෙළඳපොළ ක්‍රියාශීලි බව තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බවයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ තාත්වික ක්‍රියාමාර්ග නිසි පරිදි සිදු වෙද්දී ඉදිරි කාලය තුළ සමාගම්වල ඉපැයීම් තවදුරටත් ඉහළ යනු ඇතැයිද ඔහු පැවසීය.
"මේ වන විට බැංකු හා මූල්‍ය ආයතනවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම යම් ක්ෂේත්‍රයක් දියුණු වෙනකොට ඒ ක්ෂේත්‍රයට අදාළ ආයතන, සමාගම් හි කොටස්වල මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට සංචාරක ක්ෂේත්‍රය පෙන්වා දෙන්න පුළුවන්."
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ද මෙම අදහස් දැක්වීමට සහභාගි වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ ආර්ථික අර්බුදය තීව්‍ර වීමත් සමඟ මෙරට බැංකු පද්ධතිය යම් පසුබෑමකට ලක්ව තිබුණ නමුත් අවාසිදායක තත්ත්වයක් ඇති නොවී ණය ප්‍රතිව්‍යුහගත වැඩපිළිෙවළ ධනාත්මක අයුරින් ක්‍රියාත්මක වීම නිසා කොටස් වෙළෙ ඳපොළ මෙම වර්ධනය සිදු වූ බවයි.
"අාර්ථික අර්බුදයක් ඇති වූ රටක් ලෙස වුණත් මේ වන විට අපි ක්‍රමානුකූලව ප්‍රගතියක් අත්කර ගනිමින් සිටිනවා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක වීමට නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සාර්ථක ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දුන් චීනයට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුද දුෂ්කරතා, අභියෝග මැද වුණත් ප්‍රගතියක් අත් කර ගෙන තිබෙනවා. මේ කටයුතු කොයිතරම් දුෂ්කර වුවත් අපි තව බොහෝ දුර හෙමින් යා යුතුව තියෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගේම දේශීය ආයෝජකයන් තුළ විශ්වාසය ඇති කර ගනිමින් තමයි අපි මේ ගමන යා යුත්තේ." "මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඉතාම ප්‍රවේශමෙන් ඉදිරියට ගෙන යා යුතු දිගු කාලීන වැඩපිළිවෙළක්. ආර්ථික අර්බුදයක් ඇති වූ රටක් ලෙස ඉතාම ඉක්මනින් ප්‍රගතියක් කරා ළඟා වීම අපහසුයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් වැටුණු වළෙන් ගොඩ එන්න ඕනෙ. වාහනයක් පල්ලමට වැටුණහම එකපාර උඩට ගන්න බෑ. ඒ වගේ තමයි මේ ආර්ථිකයත්."
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරන පරිදි ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වූ නිසා ඉදිරියේදී මෙරට ආර්ථිකය තවදුරටත් ශුභවාදී දිශාවක් වෙත හරවා ගෙන ඉදිරියට යාම අපහසු නොවේ.
ක්‍රමානුකූලව වැටුණු වළෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා සියලුම පාර්ශවයන් ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වේ. දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟ කොටස් වෙළෙඳපොළ තුළ ඇති වූ සාධනීය වෙනස්කම් මඟින් පිළිඹිඹු වන්යේද මෙකී යථාර්ථයයි.