
මහ බඹු පදවිය
මහ බඹු පදවිය හිස් වී ඇති බව පළවිය බඹලොව ගැසට් පතේ
මනුලොව අයට ද අයදුම් කළ හැක අවැසි සුදුසුකම් පහත ඇතේ
බී.ඒ. පට්ටම තිබුණට මට තව හොඳ රැකියාවක් ලැබුණේ නැතේ
එබැවිනි තනතුර අයැදුම් කෙරුවේ සැක, බිය, චකිතය නැතුව හිතේ
හොරකම මැරකම පිළිබඳ හැකිකම අයදුම් කරුහට තිබිය යුතුයි
ගිනි අවි දැලි පිහි පරිහරණය ගැන දෑතට හුරුකම තිබිය යුතුයි
වාසිය ඇති තැන දුටු විට එතැනට පනින්න දස්කම තිබිය යුතුයි
ගජබින්නාලංකාරය හොඳ හැටි කට පාඩම් වී තිබිය යුතුයි
අජිත් ජෝතිය කරසිංහ
මතකය සුවඳයි
පෝය දවසෙ හඳ එළියේ ඔබ ආ හැට මතකයි
ගං දෑලේ දිය නාගෙන ඔබ ගිය හැටි මතකයි
මන්දහාස සුවඳ අරන් ඔබ ආ හැටි මතකයි
කඩුල්ල පැන පැලට යද්දි ඔබ ගිය හැටි මතකයි
නියර දිගේ පලා නෙළන් ඔබ ආ හැටි මතකයි
හද කුටියට සිනා අරන් ඔබ ගිය හැටි මතකයි
බංගලි වළලු දෑතෙ දමා ඔබ ආ හැටි මතකයි
ආල කරලියේ රඟ දුන් ඔබ ගිය හැටි මතකයි
කේ. ජී. සංඝදාස
මල් ගොමුවේ
හිමිදිරි උදයේ - මේ මල් උයනේ
සුළඟට ලෙලෙනා මල් ගොමුවේ
මල් මත මල් පිපි - සුන්දර දසුනකි
කවුරුද මල් ලෝකය තැනුවේ
මල් මත මල් නැත - සමනල තටු ඇත
ඒකයි සුන්දර බව දුටුවේ
මල් වැනි දරුවන් - මල් නෙලනා හැටි
සමනලයන් නොවෙදෝ දුටුවේ
උබයරත්න වනසිංහ
අදින් පසු
කුඩා සන්දියේ පටන්
දුකේදිත් සැපේදිත්
පිටු නොපා ළඟින් සිටි
දයාබර යෙහෙළිය...
සමුගනිමි ඔබෙන් මා
අවසන් වරට
මිතුදමේ හාදුවකින්
දුක සතුට සංකලන...
උදාවෙන හෙට දිනෙක
ඔබ දකින්නට එමිය
මා අතින් පිළියෙල කළ
හීල් දානය ද රැගෙන...
මාලතී රූපිකා පුංචිහේවා
සොයුරු වියෝව
සිතකට තුරුලු වී නිවමින් අමා ගිනී
ගතවුණ හැම දවස අප ළඟ රැඳී වුනී
නෙත වැනි අපේ හද දිනු සොයුරාණනී
හිතවත් ඔබේ වියොවින් අපි වුණා තනී
දඹරන් බඳුන බිඳ හද රන් මිනි පායේ
දෙපයින් නොවේ ඔබ යළි නිවසට ආවේ
අප වෙන් කළත් නියමය ලෙස දිය දායේ
කඳුළින් යුතුව සමරමි අද මෙන් ඊයේ
කඳුළක් නෙතඟ හැම දවසක රැඳීයන්
වියොවක් මෙවන් මතු සසරෙදි නොවීයන්
එළියක් දෙමින් සොහොනට සඳ ඇදීයන්
දහසක් කුසුම් නුඹ වෙනුවෙන් පිපීයන්
ගුණසීලි වීරසිංහ - අංගන්ගොඩ, පයාගල